සියලු සේසත සමඟ පොළොව යටට ගිය සුදු මහත්තයා | සිළුමිණ

සියලු සේසත සමඟ පොළොව යටට ගිය සුදු මහත්තයා

අත්වැල්තොට සුදු මහත්තයාගේ සල්ලි කතාව ඇත්තක් වුණත් සේප්පු කතා බොරු

මේ කතා පුවතට කොතැනින් ආරම්භයක් සපයන්නටදැයි මම මොහොතක් කල්පනා කළෙමි. ගංවතුරේ ඛේදවාචකයත් සමඟ අසන්නට ලැබුණු මේ කතා පුවත කාලයාගේ ඇවෑමෙන් මතකයෙන් ගිලිහී යා හැකි වුවද ඒ හරහා කියාපාන ගැඹුරු සමාජ යථාර්තයට විරාමයක් දෙන්නට අපට නොහැකිය. ජීවිතය යනු මේ ආකාර යැයි සිතින් බොහෝ දේ මවා ගන්නට මම උත්සාහ කළේ තවමත් මා සිත මේ සියල්ලෙන් චංචල වී ඇති නිසාය. එහෙත් බුදු දහම අගයන අප ජීවත් වන මෙවන් සමාජයක බුදු දහමේ ගැඹුරු යථාර්තයන් මේ ආකාරයෙන් දෑස් පනා පිට දිස්වීම එක් අතකට පුදුම සහගතය. මුදල් පසුපස හඹා යන අප ජීවිත අවසානයේ පස් යට වැළලෙන්නේ ය යන සත්‍යය මෙමඟින් ද මනාව ඔප්පු වී ඇත්තේය.

නායයෑම් නිසා දැඩි ලෙස හානියට පත්වූ ප්‍රදේශ අතරින් බදුරලිය අත්වැල්තොට ගම්මානය ද එකකි. එම ගම්මානයෙන් වාර්තා වූ ' සල්ලි සේප්පුව පිටින් නාය ගිය කතාව 'ඔස්සේ තොරතුරු සොයා අපි පසුගියදා අත්වැල්තොට ගම්මානයට ගියෙමු.

ඔහු ගමේ කොයි කා අතරත් නමක් රඳන්නේ අත්වැල්තොට ගමේ සුදු මහත්තයා වශයෙනි. සුදු මහත්තයා අවිවාහකයකු වූ අතර සුඛෝපභෝගී ජීවතයක් ගත ක‍ළේය. ඔහුගේ තනිනොතනියට සිටියේ ඔහු මෙන්ම අවිවාහක ජීවිතයක් ගත කළ වැඩිමහල් සොහොයුරියයි. අත්වැල්තොට පාලමට පෙර පිහිටි අත්වැල්තොට පන්සලට යාබද ඉඩමේ සුවිසල් නිවෙස මෙන්ම ඒ ආසන්නයේ වූ ඔහු සතු තට්ටු තුනේ සුවිසල් කඩකාමර වෙන්වූයේ සුදු මහත්තයා නොහොත් සිසිර කුමාර සමරසිංහ ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙනි.

වාහන වෙන්දේසි කටයුතුවල වැඩි වශයෙන් නියැළී සිටි සුදු මහත්තයා අත මුදල් යහමින් ගැවසෙන බව ගැමියන්ට නොරහසක් විය. වාහන වෙන්දේසිය පමණක් නොව මහා පරිමානයෙන් රබර් කරමාන්තය, සිල්ලර බඩු වෙළදාම, කුළුබඩු වෙළදාම මෙන්ම මුදල් පොළියට දීම් වැනි කටයුතුවල නියැළි සුදු මහත්තයා ගැන ගමේ ඇත්තන් තවත් කරුණක්ද දැන සිටියේ ය. ඒ විශාල වශයෙන් මුදල් හදල් ඇති ගමේ පොහොසතකු වන සුදු මහත්තයා කිසි දිනක සිය මුදල් බැංකු ගත නොකළ බවය. ගමේ ඇත්තන්ගේ විශ්වාසය වී තිබුණේ මේ මුදල් ඔහු සිය නිවෙසේම සේප්පුවක තබා තිබූ බවය.

මේ කතා පුවතේ ඛේදනීය සිදුවිම් පෙළ ආරම්භ වන්නේ පසුගිය 24 වැනිදා ගැලූ මහා ගංවතුරත් නාය යෑමත් සමඟය. සුදු මහතාගේ සිල්ලර කඩයේ යාබද කඩයේ වූ කුමුදුණි මල්කාන්තිට මේ සිදුවීම තවමත් හොඳහැටි මතකය.

“අපි ඥාතීන්. මේ අයියගේ කඩේට අල්ලපු කඩේ මගේ. එදා රෑ 9.30 ට විතර අයියගේ කඩේ පැත්තෙන් සද්දයක් ආවා. මම අයියලගේ ගෙදරට ගිහින් අයියත් එක්කරගෙන ආයෙත් කඩේ ගාවට ආවා සද්දය මොකක්ද කියලා බලන්න. ඇවිල්ලා අයියා කඩේ ඇරලා බැලුවහම මුකුත්ම නැහැ. පස්සේ අයියා එයාගේ ගෙදරට ගියා. රෑ 11.45 වෙනකොට මේ පාලමට උඩින් වතුර දැම්මා. මේ වෙලාවේ සුදු මහත්තයාගේ නංගියි එයාගේ මහත්තයයි ආවා වතුර වැඩි නිසා සුදු මහත්තයාලව උඩහ ගෙදරට එක්කගෙන යන්න. ඒත් ඒ දෙන්නාට සුදු මහත්තයා කියලා තියෙනවා, ඔයාලා යන්න අපි දෙන්නා ඉන්නම්.

තව ටිකකින් එළිවෙනවනේ කියලා. ඒත් පාන්දර 5.20 වෙනකොට පිටිපස්සේ කන්ද ඇවිත් මේ දෙන්නවයි , සුදු මහත්තයා ජීවිත කාලෙම හරි හම්බ කරපු සියලුම දේ විනාශ කරගෙන ගිහින් කුඩු පට්ටම් වෙලා ගඟට වැටුණා. මිනී දෙක හොයා ගත්තේ දින හත අටක් පහුවෙලා. ඒත් හැම තැනම සුදු මහත්තයාගේ සේප්පුවක් තියෙනවා කියනවා. මේ සේරම බොරු කතා. සුදු මහත්තයාගේ මිනිය හොයද්දි සමහර අයට සල්ලි මිටි අහුවෙලා තියෙනවා කියලා ආරංචි වුණා. සමහර විට එ්ක ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒත් සේප්පුවේ කතා බොරු”

සුදු මහත්තයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතහොත් අපූරු මිනිසෙකු බව අප දැන ගත්තේ ඔහුගේ වගතුග සොයා යන ගමනේදි ය. ඔහු ඇති සැටියෙන් මුදල් හම්බ කර ඇත්තේය. නාය යන මොහොත වන විට ඔහු සතුව සුපිරි මට්ටමේ වාහන හත අටක් තිබී ඇත. මිය යන්නට දින දෙක තුනකට පෙර නොහා වර්ගයේ ලක්ෂ 35 කට වෑන් රථයක්ද මිීදි ගෙන ඇති බව පවසන්නේ ඔහුගේම වැඩිමහල් සහෝදරයා වන ගාමිණි සමරසිංහය.

“මගේ මල්ලි මැරෙන කොට සල්ලි තිබුණා. සමහර විට නිතරම එයාගේ සාක්කුවේ ලක්ෂ 5-6 ක් තිබුණා. මොරලෝ ට්‍රක් දෙකක්, වැනට් වෑන් එකක්, මිට්සුබිසී ජීප් එකක්, ත්‍රීවීලර්, මෝටර් බයිසිකල් කිහිපයත් රබර් රොටි පුරවාගත් ලොරි කිහිපයක් තිබුණා. එයාට තිබුණු වාහන මොනවද කියලා අපිවත් දන්නේ නැහැ. එයා කවමදාවත් සල්ලි බැංකුවේ දැම්මා කියා අපි අහලා නැහැ. එකම බැංකුවක ස්ථාවර ගිණුමක් දාලා තියෙනවලු. ලක්ෂ තිහක් තිස් පහක් විතර. අනිත් සියලුම සල්ලි තිබිලා තියෙන්නේ ගේ ඇතුළේ.

නැතිනම් එයාගේ වාහන අස්සේ. ඒත් සල්ලි ‍සේප්පුවක් තිබුණා කියනවා. ඒ කතාව බොරු. මල්ලිගේ මිනිය හොයද්දි අත්වැල්තොට ගමේ කරුණ කැළ ගොඩාක් මහන්සි වුණා. ඒ වගේම මල්ලිගේ මිනිය හොයද්දි සමහරුන්ට සල්ලි මිටි තිබිලා හම්බ වුණා කියලා කියනවා. ඒක ඇත්තක් වෙන්න පුළුවන්. සමහරු කියනවා සල්ලි සේප්පුව තිබිලා අපිට දුන්නා කියලා. ඒත් මේ කතා බොරු. මිනිය හොයන්න ගිය සමහරුන්ට සල්ලි හමුවෙලා තියෙනවා. ඒ වගේම මල්ලිගේ කෝටිගණන් රබර් ෂීට් වතුරේ ගහගෙන ගිහින් තියෙනවා. ඒවා අරගෙන සමහරු විකුණගෙන සල්ලි හොයා ගත්තා කියලා අපිටම කිව්වා. අද මල්ලිගේ කෝටි ගණනක දේපළ වගේම කෝටි ගණනක වාහන සේරම කුඩු පට්ටම් වෙලා වතුරේ.”සුදු මහත්තයාගේ තවත් සහෝදරයෙක් අප හා පැවසීය.

සුදු මහත්තයාගේ දේපළ නාය ගිය බිම අද එකම පස් ගොඩකි. ඉතිරිව ඇත්තේ සුන්බුන් පමණි. එහෙත් තවමත් මේවා දැක ගැනීමට පැමිණෙන්නෝ බොහෝය. බොහෝ දෙනා මේ බිම පිරික්සන්නේ යමක් සොයන්නාක් වැනි හැගීමකිනි. ඔහුට එක් සේප්පුවක් නොව සේප්පු දෙකක් තිබූ බව තවත් අය පවසති. තවත් අය පවසන්නේ ඔහුගේ සියලු මුදල් හදල් එක් සේප්පුවක තිබූ බවකි.

තවත් අයෙකු පවසන්නේ නාය ගිය බිමෙන් ඉල්ලම් මතුවන්නාක් මෙන් යම් යම් අයට මුදල් මිටි මිටි හමු වූ බවකි. තවත් සමහරුන් පවසන්නේ මේ මුදල් පවුලේ ඥාතීන්ටම ආපසු ලබා දුන් බවකි. තවත් ආරංචියක් පවසන්නේ සල්ලි සේප්පුව හමුවී එය බදුරලිය පොලීසියට බාරදුන් බවකි. එහෙත් මේ සියල්ල කනින් කොනින් වාර්තා වන්නක් මිස සැබෑ තොරතුරු නොවේ.

සුදු මහතාගේ දේහය සොයා ගන්නා අවස්ථාවේ ඔහු පැළද සිටි රන් මාලය මෙන්ම අත් පළඳනාවද එලෙසම තිබුණේ ය. නමුත් මේ සල්ලි සේප්පුවේ කතා ඔහුගේ ඥාතීන් තරයේම ප්‍රතික්ෂේප කරන්නකි. සිය සොහොයුරාට ඇති තරමට මුදල් තිබුණත් එවා කොහේ ඇත්දැයි කියන්නට මේ පවුලේ ඥාතීහූ නොදනිති.

“සුදු මහත්තයා හොඳට සල්ලි හම්බ කරලා තියෙනවා. මැරෙන කොට වාහන ගණනාවක් තිබිලා තියෙනවා. ඒත් ඒ සේරම අද වතුරේ. කුඩු පට්ටම් වෙලා. ඒවා දැක්කහම ජීවිතේ මොකක්ද කියලා හිතෙනවා. සුදු මහත්තයා හරියට ගමේ පාරම්පරික චරිතයක් වගේ. එදා අපේ ආච්චිලා සීයලා සල්ලි තැන් තැන්වල ගහනවා වගේ මේ පුද්ගලයාගේ සල්ලිත් තැන් තැන්වල හංගලා තිබිලා තියෙනවා.

ඒත් සේප්පුවක් තිබුණු කතා, ඒවා තිබිලා පොලිසියට බාර දුන් කතා නම් බොරු. නාය ගිය බිමෙන් සල්ලි තිබිලා සමහරුන්ට අසුවුණා කියලා නම් ආරංචියි. මිනිස්සු හෙව්වා කියලාත් ආරංචියි. අදටත් සමහරු හොයන බව අපි දන්නවා. ඒත් සුදු මහත්තයා කියන්නේ අධර්මයෙන් ජිවිත් වුණු කෙනෙක් නෙමේ. ඔහු හම්බ කරපු සල්ලි ඉතුරු කර ගත්තා. ඒත් ජිවිතය අනිත්‍ය බව පෙන්නුම් කරමින්ම එයා දේපළත් සමඟ සමුගත්තා.” යැයි බදුරලිය ප්‍රධාන පොලිස් පරීක්ෂක උඩවත්ත මහතා පැවසීය.

ජීවිතය අනිත්‍ය බව ජීවත් වන බොහෝ දෙනෙක් නොසිතති. මෙවන් දේපළක් උරුම කර ගනිමින් ජීවත් වු සුදු මහත්තයා වැන්නවුන් සදහටම වියැකී ගියේ ඇසි පිල්ලම් ගසන වේගයෙනි. එහෙත් ඒ සියලු දේ දකිමින් ඒ බිමෙන්ම මුදල් සොයා කරක් ගහන්නෝද බොහෝ ය. එහෙත් ඔවුහු ජිවිතයේ අනිත්‍ය දකිමින්ම එය මෙනෙහි නොකිරීම පුදුම සහගතය. සුදු මහත්තයාගේ යාබද ඉඩම අත්වැල්තොට ගමේ පන්සලය. එහෙත් සුදු මහතාගේ සියලු දේපළද සමඟින් ගව් ගණනක් එපිටින් තිබෙන කඳු යාය නාය ගොස් ඇත්තේ හරියටම සුදු මහතාම සොයා පැමිණියාක් මෙන් ය.

පන්සල් බිම ඉතුරු කරමින් ඒ මායිමෙන්ම සුදු මහතා සතු සියල්ල නාය ගොස් ඇත්තේ දෛවයට සරදම් කරන්නට කිසිවෙකුටවත් නොහැක්කා සේම, බුදු බණ බොරු කරන්නට කිසිවෙකුටවත් බැරුවා සේ ය. මුදලට බොහෝ දේ කළ හැකි බව මිනිසුන් සිතුවත් ඒ සියල්ල තාවකාලික බවත්, මුදලට කිසිවක් කළ නොහැකි බවත් පෙන්නුම් කරන්නට මේ චරිතයම ප්‍රමාණවත්ය. සංසාරයේ දිගු ගමන හැමෝම එකාකාර වේගයකින් දිව යන්නේ නැත. මේ පොසොන් සතියයි. ජීවිතයේ අනියත බව පසක් කර ගන්නට මෙන්ම මුදල් පසු පස හඹා යන්නන්ට ජීවිතය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දකින්නට මේ සිදුවීමම ප්‍රමාණවත් ය.

(තොරතුරු ගැනීමට සහාය දුන් බදුරලිය පී. එම්. පද්මසූරිය හා මතුගම කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන්ට අපගේ ස්තුතිය)

 සුභාෂිණී ජයරත්න
සේයාරූ- චමින්ද නිරෝෂන් 

Comments