![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/25/6.jpg?itok=TbptoiGt)
දකුණුලක සිදුවන සංවිධානාත්මක ජාවාරම්වලට වැලිගම, මිදිගම, මිරිස්ස, ඉබ්බාවල ආදී ගම්මාන මේ වන විට නම් දරා ඇත්තේය. ඉකුත් වසර කිහිපයේදීම වටිනා ජීවිත රැසක් මේ ප්‍රදේශවලදී තුවක්කු උණ්ඩවලට බිලි ගන්නේ අමානුෂික ලෙසය. නව වසරක උදාවේ තවමත් ගෙවී ඇත්තේ දින කිහිපයකි. මිදිගම, පාතේගම ගම්මානයට තවත් දිනක් උදා වූයේය. ඒ ඉකුත් 11 වැනිදා ය. රාත්‍රිය උදාවෙත්ම පරිසරයේ නිහැඬියාව කාටත් නොදනෙන්නට ඇත. දවසේ කටයුතු නිම වී ඇතැමෙකු නිවෙස්වලට පැමිණ තිබිණි. 'පාතේගම' පොල් මණ්ඩලය ආසන්නයේ මනුෂ්‍ය ජීවිතයක් බිලි ගන්නට මරුවා බලා සිටින තැනක් යැයි ගම්වැසියන්ට නොසිතෙන්නට ඇත. මිදිගම, වෑකඩ, රූප්ප ප්‍රදේශයේ පදිංචි එම්. ඩබ්ලිව්. මධුර ලක්ෂිතට හෙවත් හිච්චි මල්ලිට මේ ඉසව්වට එන ලෙස දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඒ මොහොතේය. ඒ කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුට රුපියල් 5000 ක මුදලක් ලබා දෙන්නටය.
මුදල් ලබා ගැනීමට තවත් දෙදෙනෙකු සමඟ ත්‍රීරෝද රථයෙන් පොල් මණ්ඩලය අසලට මධුර ළඟා වූයේය. ගත වූයේ තත්පර කිහිපයකි. මුදල් ලබා ගැනීමට පැමිණෙනවාත් සමඟම සැඟවී සිටි පිරිසක් තියුණු ආයුධවලින් මධුරට පහර දුන්නේ ඔහු විලාප දෙද්දීය. මධුරට සිදු වූයේ ජීවිතය බේරා ගන්නට දිව යාමයි. ඔහු සමඟ පැමිණි දෙදෙනාද ත්‍රීරෝද රථයෙන් වේගයෙන් පලා ගියෝය. මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සිටි මධුරගේ විලාප හඬ ඈතට ඇසිණි. මරණ බියෙන් ආසන්න නිවෙසකට පැමිණි මධුර වතුර වීදුරුවක් ඉල්ලාගෙන බිව්වේය. 'අනේ මාව බේරගන්න' යැයි ඔහු නිවැසියන් හමුවේ බැගෑපත් වුයේ බරපතළ තුවාල සහිතව සිටියදීය.
එම නිවැසියන්ටද කරකියා ගත හැකි දෙයක් නොවීය. නිවැසියන්ට සිදු වූයේ ඔහු නිවෙසේ කාමරයකට දමා බේරා ගැනීමටයි. අවසානයේ හැම කෙනෙකුම තම පණ කෙන්ද රැකගන්නට නොකරන දෙයක් නැත්තේය. මධුර ද ඒ හැම දෙයක්ම කළේය. එසේම පාතාලයන් තමා සොයා නැවත එනු ඇතැයි මධුරට ඉවෙන් මෙන් දැනෙන්නට ඇත. ඔහු වහාම එම නිවෙසේ කාමරයට ගොස් දොර වසා ගත්තේය. මේ වන විටත් ඔහුගේ සිරුර පුරා ලේ ගලා යමින් තිබුණි. 'මරුවා' ඔහු ආසන්නයේය. තියුණු ආයුධ රැගත් මධුරට කොටන ලද සන්නද්ධ කල්ලිය එම නිවෙසටද කඩා වැදුණේ ඒ අතරය. ඔවුහු නිවැසියන්ටද මරණ තර්ජන එල්ල කළහ. වසා දමා තිබු දොරට පහර දී කඩා දමන ලදී. කල්ලිය මධුර කපා කොටා දැම්මේ ඒ අතරය. දරුණු තුවාල සහිතව සිටි මධුර අවසන් හුස්ම ද හෙළන්නේ එම නිවෙස ඇතුළේදීය.
ඒ වන විට රාත්‍රී 8 පසුවී තිබුණි. ක්‍රමයෙන් කාලය ගෙවී ගියේය. අවට නිවෙස් හිමියෝ සිය නිවෙස්වලින් එළියට පැමිණියෝය. ඔවුන් 'කෝලහලය ඇසුණු' නිෙවස ආසන්නයට පැමිණියහ. එහි ඉදිරිපස දොර කැඩී එල්ලෙමින් තිබුණි. නිවෙසේ සාලය ආසන්නයේම ලේ විලක් මත තරුණයෙකු වැටී සිටියේය. ඔහු එම නිවෙසේ අයෙකු නොවන බව පැමිණි පිරිසට අවබෝධ වන්නට වැඩි කාලයක් ගත නොවීය. මිය ගොස් ඇත්තේ මිදිගම 'තේ වත්තට' ආසන්නව පදිංචි මධුර ලක්ෂිත බව ප්‍රදේශවාසීන් හඳුනා ගන්නේ ඉන් අනතුරුවය.
කාටත් වඩා තමන්ගේ පුතු වටින්නේ මවකට බව යළි යළිත් අමුතුවෙන් කිව යුතු නොවේ. මධුරගේ මවටද එසේමය. ඔහුගේ මව ආර්.පී. ශ්‍යාමලී සිය පුතුගේ වියෝව දරා ගත නොහැකි සොවින් කෑ ගසමින් මෙම නිෙවසට පැමිණියාය. ඇයට දෙවියන් ඉදිරියේ කන්නලව් කිරීම හැර කළ හැකි අන් දෙයක් නොවීය. හැඬු කඳුළෙන් ඇය විලාප දුන්නේ පුතුගේ දේහය බදාගෙනය.
"හැන්දෑවේ පුතාට කෝල් එකක් ආවා. රුපියල් පන්දාහක් අරගන්න කොළඹ එන්න කියලා. ඒක ගන්න යමු කියල 'පාළු වත්තෙ අයියටත්' කතා කළා. එයාට එන්න බැරිය කිව්වා. ඊට පස්සේ තමයි අනිත් දෙන්නත් එක්ක ත්‍රීවිල් එකේ නැගලා ගියේ. ඔය රුපියල් පන්දාහක් ගන්න ගිහිල්ල තමයි මහත්තයෝ මගේ පුතාට මේ සිද්ධිය වුණේ. මම කොහොමද මේවා මේ විදියට ඉවසන්නේ.“ ඇය බොහෝ දෙනෙකුට දොස් තැබුවාය. තමන්ගේ පුත්‍රයා බේරා ගන්නට කිසිවකු කටයුතු නොකළ බවටද චෝදනා නැඟුවාය.
මිදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධන ඇතුළු කණ්ඩායමක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද සමඟ ඝාතකයන් සොයා ප්‍රදේශය පුරා මෙහෙයුමක් දියත් කරන ලදී. මැදියම් රැය ඉක්ම වන තෙක්ම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, එහි ප්‍රතිඵලයක් දකින්නට නොලැබුණි.
මේ වන විට ලැබුණු තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. මධුරට විරුද්ධව කිසියම් පුද්ගලයෙකු මිදිගම පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මිදිගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද මෙම සිද්ධිය වු දිනම මධුරගේ නිවසට ගොස් ඇත්තේය. එහෙත් ඒ අවස්ථාවේ මධුර ලක්ෂිත නිවෙසේ නොසිටි බව පොලිසිය කියයි. ඔහුට ද පෙර වැරදි කිහිපයක්ද ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මධුර ලක්ෂිත කාය ශක්තියෙන් හෙබි දේහධාරී අයෙකි. ආයුධ නොතිබෙන්නට මධුරට පුද්ගලයන් දෙතුන් දෙනකු හෝ සමඟ පොර බදන්නට පමණක් නොව ඉන් ජය ගන්නටද හැකියාව ඇත්තේය. එහෙත් කවර ජවයක් පැවතුණද මරණයෙන් බේරීමේ හැකියාව ඔහුට ද ලැබුණේ නැත. මෙම ඝාතනය සිදු වන අවස්ථාවේ මධුර ලක්ෂිතගේ පියා සිය රැකියාව සඳහා පිටත්ව ගොස් තිබිණි. ඔහු ධීවරයෙකි. වැඩිමල් සහෝදරයා ද ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබු අතර ඔහු පසු දිනම නිවෙසට පැමිණ සිටිනු දක්නට ලැබුණි.
මේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගියදා මහරගමදී ටීනා නමැති කාන්තාව අත්අඩංගුවට ගත්තේ හෙරොයින්ද සමඟිනි. ටීනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි රටට පලා ගොස් සිටින වැලිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ අනියම් බිරියකි. එසේම ටීනා මධුර සමඟද අනියම් සබඳතාවක් පවත්වා ඇතැයි සැල වේ. එම සම්බන්ධය මධුරගේ ඝාතනයට හේතු වන්නට ඇති බවට විමර්ශන නිලධාරින්ගේ සැකයයි. මේ අතර මෙකී ඝාතනයට සහාය දුන් පාතේගම, ලෙනාඩ් වත්තේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඉකුත් 20 වැනිදා අත්අඩංගුවට ගැනිණි.
දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්නගේ සහ මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී නිශාන්තගේ අධීක්ෂණයෙන් මිදිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධනගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.