මූත්‍රාශය, ගුදමාර්ගය සහ වකුගඩු ආශ්‍රිත දරුණු රෝග නිට්ටාවට සුව කරන වෙදැදුරු | සිළුමිණ

මූත්‍රාශය, ගුදමාර්ගය සහ වකුගඩු ආශ්‍රිත දරුණු රෝග නිට්ටාවට සුව කරන වෙදැදුරු

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක

මෙවර ඉසිවර අරණින් ඔබ වෙත සමීප කරන්නේ, ලොවට සැත්කම් හඳුන්වා දුන් මහා සුශ්‍රැතාචාර්යතුමාගේ මඟ යමින් පෙර අපර දෙදිග දිග්විජය කොට පර්යේෂණාත්මක හා විශ්ලේෂණාත්මක දැනුමෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් පිරිපුන්ව ඉන්දියාවේ ජාතික ‘සුශ්‍රැතරත්න’ සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මානවලින් පිදුම්ලත් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක ය. හෙතෙම ආහාර මාර්ගය, මූත්‍රාශය, වකුගඩු හා ගුදමාර්ගය ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කරයි. මේ වනවිට ඔසුකි රෝහලේ විශේෂඥ උපදේශක වෛද්‍යවරයා ලෙස කටයුතු කරන හෙතෙම පුරා වසර විසි නවයක් ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය අංශයේ උපදේශක වෛද්‍යවරයා මෙන්ම ශල්‍ය වෛද්‍ය සායනයේ නිර්මාතෘවරයාය. හෙතෙම මෙරට මෙන්ම විදේශ රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් දහස් ගණනකට න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දී ඇත. ශල්‍ය ශාලරී දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, පශ්චාද් උපාධි අංශයේ අතිරේක අධ්‍යක්ෂ, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසක, පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්ම ආයුර්වේද අංශයේ අංශ ප්‍රධානී තනතුරේ ද කටයුතු කර ඇති හෙතෙම අපේ කාලයේ ඉසිවරයෙකි.

ලියනපතිරන්නැහෙලාගේ අභයසිරි කරුණාතිලක, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල විල්හැර ග්‍රාමයේදී, විදුහල්පතිවරයෙක් වූ ලියනපතිරන්නැහෙලාගේ කිරිබණ්ඩා සහ වෙන්ඩකෝන් මුදියන්සේලාගේ සුමනා වෙන්ඩකෝන්ට දාව, වර්ෂ 1957 ජූලි මස 28 වැනිදා මෙලොව එළිය දුටුවේය. පවුලේ වැඩිමලා වූ කරුණාතිලකට බාල නැඟණියන් තිදෙනකු හා එක් සහෝදරයකු විය. හෙතෙම මුලකුරු කියැවූයේ නි‍ෙවසට යාබද ඉඩමෙහි වූ කුලි/දොඩම්පොත රජයේ විද්‍යාලයෙනි. මෙම විදුහල ඔහුගේ කිරි අම්මා විසින් පිරිනැමූ ඉඩමක ඉදි කළ පාසලක් වූ අතර එහි විදුහල්පතිවරයා වූයේ කරුණාතිලකගේ පියාය. පාසලේ හත්වැනි ශ්‍රේණිය දක්වා අකුරු කළ හෙතෙම ඒ දක්වා සෑම පන්තියකම පන්තියේ පළමු වැනියා විය. ඊට හේතු වූයේ පියාගේ දැඩි ශික්ෂණය හා විනය ක්‍රියාමාර්ගය. එසේම එහි ගුරුවරු ද ඔහුට බෙහෙවින් ළෙන්ගතු විය. එකල(1970) හත්වැනි ශ්‍රේණියේදී පැවති (වත්මන් පහේ ශිෂ්‍යත්වය බඳු) ජාතික නවෝදය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ කරුණාතිලක දොම්පොත පාසලට සමුදී කුරුණෑගල මලියදේව පිරිමි පාසලට ඇතුළත් විය. මාස නවයක් පමණ එහි අකුරු කළ කරුණාතිලක කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. අට වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා එහි අකුරු කළ හෙතෙම ජීවවිද්‍යා අංශයෙන් සරසවි වරම් ලබා 1979දී කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද ආයතනයට ඇතුළත් විය.

එකල පාරම්පරික සර්වාංග වෛද්‍යවරයකු වූ විලහැර වෙද මහතා ලෙස ප්‍රකටව සිටියේ කරුණාතිලකගේ කිරි අත්තාය. ගෙදරට රෝගීන් එනයන හැටි, ප්‍රතිකාර ලබා සුව වන අයුරු හා බෙහෙත් වර්ග සකස් කරන ආකාරය හෙතෙම දැක තිබුණ ද ඒ කෙරෙහි එතරම් ආසාවක් ඔහු තුළ නොවුණි. එහෙත් අහඹුව අනිවාර්ය වන්නාක් මෙන් ඔහුගේ මඟ වැටී තිබුණේ වෛද්‍ය වෘත්තිකයකු වීමටය. ඒ වන විට විශ්වවිද්‍යාල මට්ටමට ආයුර්වේද අධ්‍යාපනය නොතිබුණු අතර එය පැවතියේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේය. නමුත් දෛවය නිසාදෝ ආයුර්වේදය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ආයුර්වේද අධ්‍යයන ඒකකයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ විය. ඊට එක් වූ පළමු සිසු පිරිසට කරුණාතිලක මෙන්ම පසුව ඔහුගේ ආදරණීය බිරිය වෛද්‍ය දයානි සිරිවර්ධන ද එක් විය. වසර පහක අධ්‍යයන කාලසීමාවෙන් පසු උපාධිය ලබා 1984 දී ඉන් පිටවූ කරුණාතිලක අවසාන විභාගයේදී දෙවැනි වූයේ දයානි සිරිවර්ධනට පමණකි.

මෙම ඉහළ සාමාර්ථ්‍යයත් සමඟ ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ප්‍රදර්ශක තනතුරට හෙතෙම තෝරා ගත්තේය. එහිදී විද්‍යාර්ථීන්ට ශරීර රචනා විෂය ඉගැන්වීම ඔහුගේ කාර්යය විය. කාය නිදර්ශක දක්වමින් ශරීරය නිර්මාණය වී ඇති ආකාරය විද්‍යාර්ථීන් මහත් ආශාවෙන් ඔහුගෙන් උගත්තේය. මෙම කටයුත්තේ නිරත වෙමින් මාස නවයක් ගතවන තැන සහකාර කථිකාචාර්ය තනතුරක් සඳහා විශ්වවිද්‍යාලය තුළ පුරප්පාඩුවක් ඇති විය. හේ ඊට ඉල්ලුම් කළේය. ඔහු ඒ සඳහා තෝරා ගැනිණි. මෙම තනතුරේ කටයුතු කරමින් සිටින අතරවාරයේ ඉන්දීය රජය මඟින් ලබා දෙන සංස්කෘතික හුවමාරු ශිෂ්‍යත්ව ක්‍රමය හරහා ඉන්දියානු ආයුර්වේද ශිෂ්‍යත්වයක් ලැබුණේය. ඒ වනවිට ලංකා ආයුර්වේදයේ ශල්‍ය වෛද්‍ය අංශය පිළිබඳ දැනුමක් ඇති වෛද්‍යවරයකු ලංකාවේ නොසිටියේය. මෙනිසා ලංකාවේ මේ අංශය ආරම්භ කිරීම සඳහා කෙනකු පුහුණු කිරීම අවශ්‍ය බව අධ්‍යක්ෂවරු හා ආචාර්යවරු තේරුම් ගත්හ. ඒ සඳහා ඒ අය තෝරා ගත්තේ ඒ වන විට සහාය කථිකාචාර්යවරයකු ලෙස කාය විවච්ඡේදනය පිළිබඳව උගන්වමින් සිටි කරුණාතිලකය. 1988 හෙතෙම බරණැස හින්දු විශ්වවිද්‍යාලය බලා පිටත්ව ගියේය.

හෙතෙම මහත් කැපවීමෙන් අධ්‍යයන කටයුතුවල නිරත වූ අතර වසර තුනක අධ්‍යයන කාලයකින් පසු ආයුර්වේද ශල්‍ය විද්‍යා පිළිබඳ පශ්චාද් උපාධිය (වර්තමානයේ එම්. ඩී. එම්. එස්) හිමි කර ගත්තේය. අනතුරුව ගුජරාට ආයුර්වේද විශ්වවිද්‍යාලයෙන් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. ඒ අනුව ලංකාවේ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධියත්, ආචාර්ය උපාධියක් ලැබූ එකම වෛද්‍යවරයා බවට පත් වන්නේ වෛද්‍ය කරුණාතිලකය. 1991දී පමණ හෙතෙම ලංකාවට පැමිණ බොරැල්ල ආයුර්වේද මහ රෝහලේ ආයුර්වේද ශල්‍ය අංශය පිහිටුවා ප්‍රතිකාර කරමින් ඉදිරියට ගෙන ගියේය. පසුව මේ ආකාරයට ශාලාඛ්‍ය (උගුර, කන, නාසය, මුඛය, ඇස්) අංශයට ද වෛද්‍යවරුන් ඉන්දියාවේ විශ්වවිද්‍යාල වෙත යැවීමට කටයුතු කළ අතර, ආයුර්වේද ශාලාඛ්‍ය වෛද්‍ය අංශයක්ද පිහිටුවනු ලැබීය. මේ අනුව ආයුර්වේද ශල්‍ය අංශය ඉතා කෙටි කාලෙකින් මහත් දියුණුවට පත් විය. විශාල රෝගීන් සංඛ්‍යාවක් ද ප්‍රතිකාර ගෙන සුවපත් විය. නවසිය අසූ ගණන්වල අවසානය වන තෙක්ම ජනතාවගේ වැඩි නැඹුරුවක් තිබුණේ බටහිර වෙදකමට නොව ආයුර්වේද වෙදකමටය.

“ආයුර්වේදය ස්වාභාවික මෙන්ම අතුරු ආබාධවලින් තොරව නීරෝගිව ඉන්න පුළුවන් හරි වටින වෛද්‍ය ක්‍රමයක්. ඒ කාලේ මෙය බොහෝම දියුණු තත්ත්වයකට පත්ව තිබුණා. ඊට හේතුව වුණේ ඒ ආයතනවලට පත් වූ උසස් නිලධාරීන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් හා කැපවීමක් වගවීමක් පැවතීමයි. එදා දේශපාලන පත්වීම් තිබුණේ නැහැ. උගත් සුදුසුකම් ඇති අය ඒ ඒ තනතුරුවලට පත් වුණා. උදාහරණ ලෙස එවක ආයුර්වේද ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මහතන්තිල මහත්තයා ගත්තොත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. එතුමා අපිව හැදුවා; ඒත් එයාට වෛද්‍ය දැනුමක් නැහැ; ඒත් හොඳ දැක්මක් තිබුණා. ඔහුට ලෝකය ගැන දැනුමක් තිබුණා; අපේ විනය හැදුවා. අපිව මේ තත්ත්වයට මෙහෙයුවේ ඒවගේ අය. ඒ වගේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා; එයා බටහිර වෛද්‍ය විද්‍යාව හදාරපු කෙනෙක්. එයා අපේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. එතුමට ආයුර්වේදය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම මහාචාර්ය ජයන්ත වැලිහිඳ; එයා බටහිර වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපතිව කටයුතු කළ අයෙක්. ඒ වුණත් එතුමාට හොඳ අවබෝධයක් මේ පිළිබඳව තිබුණා. එනිසා ඔවුන් නිවැරැදි තීන්දු තීරණ ගත්තා. ඒ අය දක්ෂතා ඇති අය හඳුනා ගෙන ඒ අයට ඉදිරියට ගන්න කටයුතු කළා. නමුත් අද තත්ත්වය වෙනස්; කිසිදු පර්යේෂණයක් නොකර වැඩ නොකර ආචාර්ය උපාධියක් ගන්න එක හරිම ලේසියි.

ඉන්දියාවට ගොස් රූපලාවණ්‍ය සහතික ගන්න අයත් අද චර්ම රෝග පංචකර්ම වැනි ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් වෛද්‍යවරයකුට එහෙම සහතික අරගෙන මේ වැඩේ කරන්න බැහැ. මුලින්ම ඔහු, ඇය ඒ පිළිබඳ නිවැරැදි න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පුහුණුවක් ලැබිය යුතුයි. මම වසර හයක් ශල්‍ය අංශයමයි ඉගෙන ගත්තේ. අද පුරා විද්‍යාව, ශාක විද්‍යාව ඉගෙන ගත්ත අයත් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කරලා ප්‍රතිකාර ලබා දෙනවා. මේකෙන් වෙන්නේ මේ වටිනා කියන ශාස්ත්‍රය හෑල්ලුවට ලක් වීමයි. අද සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන එක අංශයක් තමයි හෙල්ත් ටුවරිසම්. ඒ අය සෞඛ්‍ය සේවා බලාපොරොත්තුවෙන් තමයි විවිධ රටවල සංචාරය කරන්නේ. ඒ අය මේ වෛද්‍ය ක්‍රම ගැන හරිම දැනුම්වත්. ඒවගේ එන අයට බොරු කළොත් ඔවුන් ආයි මෙහේ එන්නේ නැහැ. අපට ඩොලර් උපයන්න තියෙන හොඳ උල්පතක් තමයි ඇතැම් අය විසින් වසා දමමින් ඉන්නේ. මේ සඳහා රජය මැදිහත් වෙලා දැඩි පියවර ගන්න ඕනෑ. එහෙම වුණොත් ලංකාවේ හෙල්ත් ටුවරිසම් හොඳ තත්ත්වයකට ගෙන එන්න පුළුවන්. නැත්තම් තියෙන ටිකත් නැත්තටම නැතිව යාවි.”

“ආයුර්වේද ශල්‍යකර්ම කිවුවම හුඟ දෙනෙක්ට වැටහීමක් නැහැ. ඔවුන් හිතන්නේ ඉංග්‍රීසියෙන් සර්ජරි කියලා ගන්න අදහසමයි. ඒ නිසා මේකත් ඒවගේ කපන කොටන එකක් කියලා ඔවුන් හිතනවා. නමුත් ආයුර්වේදයේ ශල්‍ය කියන්නේ ඊට හුඟාක් එහා ගිය වෛද්‍ය ක්‍රමයක්. සුශ්‍රැත සංහිතාවේ සඳහන් වන ආකාරයට ශල්‍ය කියන්නේ යන්ත්‍ර කර්ම, ශෂ්ත්‍ර කර්ම, ක්ෂාර කර්ම, අග්නි කර්ම, රක්ත මොක්ෂණ කර්ම සහ ව්‍රණරෝපණය. ආයුර්වේද වෛද්‍යවරයකුට ශල්‍යකර්ම සඳහා තිබෙන උපකරණ වර්ග දෙකකට බෙදෙනවා. ඒ යන්ත්‍ර සහ ශෂ්ත්‍ර. යන්ත්‍ර කියන්නේ මොට උපකරණ අඬුව, අල්ලන ඒවා, ගුද මාර්ගය පරීක්ෂා කරන උපකරණ, ගුද මාර්ගය හරහා ප්‍රතිකාර කරන උපකරණ... ආදී බොහෝ උපකරණ තිබෙනවා. අද මේ නවීන වෛද්‍ය උපකරණ කියන්නේ මේ උපකරණවලටම තමයි. වෙනසකට තියෙන්නේ ඒවා නූතන තාක්ෂණයෙන් නිපදවා තිබීම පමණයි. ඒක තාක්ෂණය මිසක් ප්‍රතිකාර ක්‍රමයක් නෙමෙයි.

ශෂ්ත්‍ර කියන්නේ සැත්කමට යොදා ගන්න උපකරණවලට. ඒ කතුර, පිහිය, මහන කටුව වගේ. මෙවැනි උපකරණ 121ක් ගැන සුශ්‍රැත සංහිතාවේ සඳහන් වෙනවා. යන්ත්‍රවලින් සිදු කරන ප්‍රධාන කාර්යයක් වන්නේ බෙහෙත් ඖෂධ ශරීරයට ලබා දීමයි. උදාහරණයක් ලෙස මල මාර්ගයෙන් අහාර මාර්ගය හරහා ශරීරයට ඖෂධ ලබා දීම කියන එක ගත්තොත් මෙය බොහෝ රෝහල්වලට ඉතාම විශිෂ්ට ලෙස ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිකාර ක්‍රමයක්. එය හඳුන්වන්නේ වස්ති යන්ත්‍රය ලෙසයි. මෙමඟින් බෙහෙත් ශරීරය ඇතුළට රැගෙන ගිහින් තැන්පත් කර විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත හැකියි.

නමුත් මේ පිළිබඳව බොහෝ දෙනා දැනුම්වත් නැහැ. මෙම ප්‍රතිකාර රජයේ සහාය ඇතිව කරන්න පුළුවන් නම් ඉතාම දියුණු මට්ටමට රැගෙන එන්න පුළුවන්. ඉන් විශාල විදේශ විනිමයක් අත්කර දෙන්න පුළුවන් වගේම ඖෂධ සඳහා යන ඩොලර් වියදම ඉතාම අවම මට්ටමකට රැගෙන එන්න පුළුවන්. ඒක අපි වගේ පුද්ගලිකව ව්‍යවසායකයකුට කරන්න අමාරු කාර්යයක්. මොකද මේවා අද ඉගෙන ගන්න අයත් අඩුයි; ඒවට තිබෙන පහසුකමුත් අඩුයි. නමුත් ඔසුකි වෛද්‍ය මධ්‍යස්ථානයේ අප යොදා ගන්න විශිෂ්ට ප්‍රතිඵල අත්කර දෙන තවත් ආයුර්වේදයේ විශේෂිත ප්‍රතිකර ක්‍රමයක් තමයි උත්තර වස්ති ප්‍රතිකාර ක්‍රමය. මෙමඟින් මූත්‍රා මාර්ගය හරහා මූත්‍රාශයට, වකුගඩුවලට, ආමාශයට වගේම මුළු ශරීරයටම ඖෂධ ලබා දිය හැකියි. මෙම උත්තර වස්ති ප්‍රතිකර ක්‍රමය මඟින් කාන්තාවන්ගේ ගර්භාශයට, ඩිම්භ කෝෂවලට සහ පැලෝපීය නාලවලට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඔසුකි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය දයානි සිරිවර්ධන මූලිකව ලබා දෙන්නේ මෙම ප්‍රතිකාරයි. මෙම ප්‍රතිකාර මඟින් ගර්භාශ රෝග වගේම දරු උපත් ප්‍රමාදය, ලිංගික රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා දී නිට්ටාවට සුවපත් කළ හැකියි. ඒ වගේම පුරුෂ පාර්ශ්වයට තිබෙන ලිංගික හා ශුකාණු සම්බන්ධයෙන් ඇතිවන රෝගී තත්ත්වයන් සඳහා අප වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් ලබා දෙන ආයුර්වේද ප්‍රතිකාර මඟින් විශිෂ්ට ප්‍රතිළුල අත්කරගත හැකියි. ”

“මෙම උත්තර වස්ති ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය මඟින් වකුගඩුවලට ප්‍රතිකාර ලබා දී වකුගඩු රෝග සුවපත් කළ හැකි නිසා වකුගඩු නරක් වූ විට වෙනත් අයකුගේ වකුගඩු බද්ධ කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා වැය වන විශාල මුදලක් ඉතිරි කරගන්න මේ ප්‍රතිකාර ක්‍රමය නිසා හැකිවෙනවා. ලංකාවේ වකුගඩු රෝගීන් හුඟ දෙනෙක් මිය යන්නේ මේ ප්‍රතිකාර රට තුළ ප්‍රමාණවත් ලෙස ලබා දීමට අවස්ථාවක් නොමැති නිසා. අනෙක් අතට මේ සඳහා කරන ප්‍රතිකාර ඉතාම කැපවීමෙන් අධ්‍යයනය කර උගත යුතු වෙනවා. එම කැප කිරීම කරන්න පුළුවන් වෛද්‍යවරු අද ඉන්නේ ඉතාම අතළොස්සයි. ඒ වගේම මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන විශේෂිත ජීවානුහරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය කාරණයක්. ඉන්දියාවේ මෙන් ආයුර්වේදයත් බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්කර රෝහල් පවත්වා ගෙන යනවා නම් අද පවතින බොහෝ ලෙඩ රෝගවලට වගේම ඖෂධ හිඟයට ඉක්මන් විසඳුමක් දිය හැකියි. නමුත් ඒ සඳහා හොඳ පරිපාලන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒවගේම බටහිර වෛද්‍ය විද්‍යාවට සමානව ආයුර්වේදයට ද එයට හිමි නිසි ගෞරවය ලබාදිය යුතු බව” වෛද්‍ය කරුණාතිලක පෙන්වා දෙයි.

ඔබට ඔසුකි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යාමට අවැසි නම් රාජගිරිය, කලපලුවාව, බුත්ගමුව පාරේ පැමිණ, මිහිඳු විහාරය අසල අංක. 117/1 දරන ස්ථානයට ගොඩවන්න.

ඡායාරූප - රංජිත් අසංක

Comments