මත්ද්‍රව්‍ය වෙනුවෙන් මිතුරා පාවා දුන් සතුරා | සිළුමිණ

මත්ද්‍රව්‍ය වෙනුවෙන් මිතුරා පාවා දුන් සතුරා

තියුණු ආයුධවලින් කපා කොටා මුඛයට වෙඩි තබා කඩුවෙල වැලිපිල්ලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබූ අයකු පොලිසිය විසින් රෝහල්ගත කරන්නේ පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 24 වැනිදාය. ඒ වන විටත් එම පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. තමාට පහර දුන් අය පිළිබඳ තුවාලකරුට කිසිවක් හෙළි කිරීමට නොහැකි වීම නිසා මේ පිළිබඳ විමර්ශන සිදු කරන පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තරමක් මන්දෝත්සාහී වුවද පරීක්ෂණ දිගටම සිදු කරන්නේ කුමන හෝ තොරතුරක් සොයා ගැනීම සඳහාය.

මේ අපරාධය පිළිබඳ යම් තොරතුරක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ට පසුගියදා හැකිවිය. එම නිලධාරීන් සිදු කළ පරීක්ෂණවලින් කඩුවෙල නාගහමුල්ලවත්ත හන්දිය අසලදී සැකකරුවකු දෙසැම්බර් 30 වැනිදා අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙලෙස අත්අඩංගුවට ගන්නේ කොළොන්නාව නාගහමුල්ල පාර ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි 'කට් ඉෂාර' නමැත්තෙකි. අත්අඩංගුවට ගත් 'කට් ඉෂාර' නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමෙන් මේ අපරාධයේ සුලමුල හෙළි කර ගැනීමට හැකි විය.

ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින 'වැල්ලේ සුරංග' සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජූඩ් ප්‍රියන්ත යන දෙදෙනාගේ ගෝලයකු ලෙස හැඳින්වෙන 'මාදින්නාගොඩ කෝසල' නමැත්තකුට සිය අනියම් බිරියගේ මුල්ලේරියාවේ පිහිටි නිවෙසේදී කිසියම් පිරිසක් පැමිණ පහරදී පිහියෙන් ඇන තුවාල සිදු කරන්නේ පසුගිය දෙසැම්බර් 7 වැනිදාය. 'මාදින්නාගොඩ කෝසල' මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් පසුගිය කාලයේ රට පුරා වෙඩි තැබීම්ද රාශියක් සිදු විය.

තමන්ට පහර දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න කෝසල විසින් සොයා බලන්නේ තම ජීවිතයට අනතුරක් ඇති බවට පැහැදිලි වීමෙනි. කෙසේ හෝ තම අනියම් බිරියගේද සහායෙන් තමන්ට පහර දුන් පුද්ගලයන්ගේ ඡායාරූප එකතු කරමින් ඔවුන්ට 'රිටර්න්' එකක් දීම කෝසලගේ එකම අරමුණ විය. ඊට ඕනෑ තරම් මුදල් වියදම් කිරීමටද කෝසල පසුබට නොවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔහුගේ අතමිට සරු නිසාය. කෝසලට තමන්ටම කියා 'ක්ලබ් එකක්' ලෙසින් සෑදූ සුඛෝපභෝගී නිවෙසක් තිබෙන අතර මිතුරන් සමඟ අයිස් පානය කිරීමට මෙන්ම විනෝද වීමට එම නිවෙස භාවිත කරන බවට අනාවරණය වී තිබේ. කෝසල තමාට පහර දුන් පුද්ගලයන් සොයමින් සිටියදී 'අංජු' නමැත්තකුගේ ඡායාරූපයක් කෝසලට ලැබෙන අතර, ඔහු තම ගෝලබාලයන් යොදවමින් 'අංජු' පිළිබඳ සොයා බලන්නේ ඉන් අනතුරුවය. එහිදී අංජු නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් 'කට් ඉෂාරගේ' හිතවතකු බවට කෝසල දැනගන්නේ ඉන් පසුවය. එහිදී 'කට් ඉෂාරට' කෝසල පවසන්නේ අංජු තමන් ළඟට ගෙනත් දෙන ලෙසටය. 'කට් ඉෂාර' ඊට හේතුව කෝසලගෙන් විමසුවද කෝසල ඔහුට පවසන්නේ 'පොඩි ගනුදෙනුවකට' කියාය. එම කොන්ත්‍රාත්තුවට කෝසල යම්කිසි මුදලක්ද 'කට් ඉෂාර' අත තබන අතර මුදල් අගහිඟකමින් සිටි ඔහුට එය ලොකු මුදලක් විය. ඉන්පසු 'කට් ඉෂාර' අංජුව කෝසල ළඟට රැගෙන යෑමට සැලසුමක් සකස් කරන්නේ ඉන් පසුවය.

"මචං අයිස් ටිකක් තියෙනවා. යමුද ගහන්න....." ඒ කට් ඉෂාරගෙන් 'අංජු'ට අහම්බෙන් ලැබෙන ආරාධනාවකි.

මත්ද්‍රව්‍යවලට ලොල් වූ 'අංජුද' ඊට එකපයින් කැමැති වන අතර 'කට් ඉෂාරගේ' මෝටර් රියේ හි නැඟී රාජගිරියේ කළු අසංක නමැති අයකුද සමඟ කඩවත ප්‍රදේශයට යන්නේ ඒ අනුවය. ඒ යන අතරතුරදී සිගරට් මිලදී ගැනීමට යැයි මෝටර් රියෙන් බසිනා 'කළු අසංක' පිටුපස අසුනේ සිටි 'අංජු' ළඟට විත් පිස්තෝලයක් හිසට තබා "කට පියාගෙන දැන් යමන්" කියමින් ඔහු කෝසලගේ නිවෙසට රැගෙන එන්නේ 'අංජු' භීතියට පත්ව සිටියදීය. ඉන් අනතුරුව 'අංජු' කෝසලගේ අනියම් බිරියට පෙන්වන්නේ එදා කෝසලට පහර දීමට ඔහු පැමිණියේදැයි තහවුරු කර ගැනීමටය. එහිදී කෝසලගේ අනියම් බිරියද 'අංජු' දුටු සැණින් හඳුනා ගනිමින් ඔහු කෝසලට පහර දීමට පැමිණි බව පවසනවාත් සමඟ කෝසලගේ රතු කට්ට පැන්නේය. ඉන් අනතුරුව කෝසල මෙන්ම කළු අසංකද අතපයේ හිරි ඇරගන්නා අතර ඒ වන විටත් අංජු බිම වැටී අවසන්ය.

"උඹ පලයන්.... අපි මූව ගිහින් දාන්නම්...." ඒ විධානය කෝසලගෙනි. "බෑ බෑ කෝසල අයියෙ. මමනෙ අංජුව ගෙනාවේ. අංජුට මුකුත් වුණොත් මං තමයි ගස් යන්නේ..." 'කට් ඉෂාර' කීවේ ඉන් අනතුරුවය.

එසේ 'කට් ඉෂාර' කීවද අංජුව රැගෙන යෑමට කෝසලගෙන් අවසරයක් ලැබෙන්නේ නැත. ඉන් පසුව අංජු රැගෙන ආ කොන්ත්‍රාත්තුව අවසන් වන අතර ඊට ඔහුට කෝසලගෙන් සන්තෝසමක්ද ලැබිණි. එදින රාත්‍රියේ 'කට් ඉෂාර' කෝසලගේ ගෙදරින් පිටත්ව යන්නේ 'අංජුට' සිදු වන දේවත් නොදැනය. කෝසලගේ වෛරය තවමත් අවසන් නැත. කෝසලගේ ඊළඟ ඉලක්කය වූයේ 'අංජුව' ඉවරයක් කර දැමීමය. තම නිවෙසේදීම 'අංජුව' ඉවරයක් කිරීම අනතුරුදායක බව හොඳින්ම දන්නා කෝසල, 'කළු අසංක' සහ තවත් කිහිප දෙනකු සමඟ 'අංජුද' රැගෙන කඩුවෙල ප්‍රදේශයට යන්නේ හොර රහසේම ගේම අවසන් කර දැමීමටය. කඩුවෙල වැලිපිල්ලෑව ප්‍රදේශයට රැගෙන යන 'අංජු' ඒ වන විට සිටියේ අඩ සිහියෙනි.

එක් අයකු අංජුගේ මුඛයට පිස්තෝලය දමා වෙඩි තබන්නේ වෛරය අවසන් කිරීමටය. ඉන් අනතුරුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ අංජුව දමා මොවුන් පලා යන අතර ප්‍රදේශවාසීන් දැක ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව රෝහල්ගත කරන්නේය. ඒ පසුගිය 24 වැනිදාය. කෙසේ වෙතත් මාරයාට අංජු සමඟ සටන් කිරීමට නොහැකි වීම නිසා ඔහු තවමත් කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබන්නේය. කෝසලලාගේ ඉලක්කය තවමත් අවසන් නැත.

එහෙත් කෝසලලා 'අංජුට' වෙඩි තැබූ බව 'කට් ඉෂාර' දන්නේ පසුදාය. 'කට් ඉෂාර' පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත් වන්නේ එම ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් සිටියදීය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගන්නා අතර ඉන් අනතුරුව කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත තොරතුරු අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් කෝසල, කළු අසංක ඇතුළු ඊට අනුබල දුන් කිහිප දෙනකු මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු කඩුවෙල පොලිස් ස්ථානය මඟින් සිදු කරයි. ඒ පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම පොලිසියද සිටින්නේ දැඩි විමසිල්ලෙනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග සහ උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වී.ජී. රොහාන් කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ මෙහෙයවීමෙන් කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති නදීක සිල්වා, පොලිස් පරීක්ෂක දනුෂ් රණසිංහ ඇතුළු නිලධාරීහු වැටලීමට එක් වූහ.

Comments