දන්තීය දත්ත සාක්ෂියෙන් හෙළි වූ අබිරහස | සිළුමිණ

දන්තීය දත්ත සාක්ෂියෙන් හෙළි වූ අබිරහස

- පෙම්වතියගේ හුටපටය අවසන් වුයේ මිතුරන් විසින් සරත් වළ පල්ලට
- කුණු වූ සිරුර සොයා ගත්තේ වළ දමා තිබියදී මොට ආයුධයකින් හිසට ගැසීම නිසා
- මරණය සිදු වූ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වෙයි

රත් විසිහතර හැවිරිදි වියේ පසුවූ ගැටවරයෙකි. ඔහු තම මවුපියන් සමඟ අකුරැස්ස ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයක පදිංචිව සිටියේය. සරත් තේ කර්මාන්ත ශාලාවක දවසේ පඩියට රැකියාව කළේය. මහලු වියේ පසු වූ මවුපියන් ජීවත් කිරීම සඳහා සරත් දැඩි අරගලයක නිරතව සිටියේය. තේ කර්මාන්ත ශලාවෙන් ඔහුට ලැබුණු සොච්චම් වැටුප ඒ සඳහා කිසිසෙත් ප්‍රමාණවත් නොවීය. 

සරත් එතරම් අධ්‍යාපනයක් ලබා තිබුණේ ද නැත. මෝඩපහේ තරුණයකු වූ ඔහු බුලත්විට සැපීමටද පුරුදුව සිටියේය. ඉඳහිට දුම්පානය ද කළේය. එක් දිනක රාත්‍රියේ සරත් මළගෙදරක යන බව මවුපියන්ට පවසා පිටත්ව ගියේය. පුතු එන තෙක් මව්පියන් බලා සිටියද ඔහු යළි නි‌ෙවසට නොපැමිණියේය. මේ නිසා මහලු වියේ පසුවූ සරත්ගේ මව්පියන් පුතු ගැන සොයන්නට වූහ. සරත් ඇසුරු කළ මිතුරන්ගෙන්ද ඔහු ගැන විමසා බැලූහ. එහෙත් සරත් ගැන කිසිම තොරතුරක් නොවීය. දින කිහිපයක් ගතවුවද සරත් යළි සිය නි‌ෙවසට නොපැමිණි නිසා සරත්ගේ පියා පොලිසියට ගොස් තම පුතුගේ අතුරුදන් වීම ගැන පැමිණිල්ලක් කළේය. සරත්ගේ මව සාස්තරකරුවෙකු හමුවී සාස්තරයක් ඇසුවාය.

“බය වෙන්න කාරියක් නැහැ. පුතා ජීවතුන් අතර ඉන්නවා. පුතා කවුරුහරි හිරකරගෙන තමයි ඉන්නේ. ටික දවසකින් පුතා ගෙදරට එවි...“ ශාස්ත්‍රකරු එසේ කීවේය. ශාස්ත්‍රකරු කී දේ සරත්ගේ මව්පියෝද විශ්වාස කළෝය. මාස කීපයක් ගත වුවද සරත් යළි නි‌ෙවසට පැමිණියේ නැත. පොලිසිය ද සරත්ගේ අතුරුදන් වීම ගැන පරික්ෂණ ආරම්භකොට තිබුණේය. මේ අතරතුරේ තරුණයකුගේ මළසිරුරක් තේ වත්තක වළ දමා ඇති බවට පොලිසයට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබුණි. පොලිසිය අදාළ ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කළේය. මෙවැනි මළ සිරුරක් ගොඩගැනීම කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ ඇති විධිවිධානයන්ට අනුවය. මේ සඳහා පළාතේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ලබාගත යුතුය. මළ සිරුරක් ගොඩ ගැනීම කළ යුත්තේ අධිකරණ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය ද යටතේය.

මක්නිසාද යත් මළ සිරුරක් ගොඩගැනීමේදී භාවිතයට ගන්නා උදලු, අලවංගු ආදිය නුපුහුණු කම්කරුවන් විසින් අපරීක්ෂාකාරි ලෙස භාවිත කළහොත් මළසිරුරට හානි විය හැකිය. මේ නිසා ඇතැම් විට මළසිරුරේ අස්ථි කැඩී බිඳීමටද ලක්විය හැක. එසේ වුවහොත් එම බිඳීම් මරණයට පෙර හෝ මරණයෙන් පසුව සිදු වූ ඒවාදැයි වෙන්කර ගැනීම අසීරු වේ.

මෙකී මළ සිරුර ගොඩගැනීම සිදු වූයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී යූ.සී.පී. පෙරේරාගේ අධීක්ෂණය යටතේය. සාමාන්‍යයෙන් මළ සිරුරක් ගොඩගැනීම කළ යුත්තේ ඉතා සූක්ෂ්ම ආකාරයෙනි. මෙහිදී පුරාවිද්‍යා කැණීම් කටයුතුවලදී අනුගමනය කරනු ලබන සූක්ෂම පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. එවැනි ක්‍රම අනුගමනය කළ හැක්කේ කැණීම් කටයුතු කිරීම සඳහා දැනුම හා පළපුරුද්ද ඇති විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකුට පමණි.

ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරාගේ අධීක්ෂණය යටතේ මළ සිරුර ගොඩගැනුණි. හඳුනා ගැනීමට නොහැකි තරමට මළ සිරුර නරක් වී තිබුණි. කුණු වීම නිසා සිරුරේ සෑම ස්ථානයකම අපිචර්මය ගැලවී තිබුණේය. දැඩි ලෙස දුර්වර්ණ වූ කමිසයක් සහ කොට කලිසමක් මියගිය පුද්ගලයා ඇඳ සිටි බව දැකගත හැකි විය. මෙම සිරුර සරත්ගේ බවට පොලිසියද සැක කළේය. මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබීය. මළ සිරුර හොඳින් සෝදා පිරිසිදු කරනු ලැබීය. මළ සිරුරේ තිබූ ඇඳුම්ද සෝදා පිරිසිදු කරනු ලැබීය. අළු පැහැති වර්ණයෙන් යුත් කමිසයේ පිටුපස ඉරුම් සලකුණක් තිබෙනු අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් මළ සිරුර බාහිරව පරීක්ෂා කරන ලදි. මළ සිරුරේ පිට ප්‍රදේශයේ වම්පසට වන්නට ඇනුම් තුවාලයක් දක්නට ලැබුණි. එය අධිකරණ වෛද්‍යවරයාගේ දැඩි නිරීක්ෂණයට ලක් විය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් කමිසයේ ඉරුම් සලකුණත් මළ සිරුරේ පිට ප්‍රදේශයේ තිබූ ඇනුම් තුවාලයත් සංසන්දනය කළේය. එය එකිනෙකට ගැළපුණි. එහෙත් එම ඇනුම් තුවාලය මාරාන්තික තුවාලයක් නොවීය. ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා මියගිය පුද්ගලයාගේ හිස්කබල පරීක්ෂා කළේය. හිස්කබල දැඩි ලෙස භග්න වී තිබුණි (කැඩීබිඳී) මොළයට දැඩි ලෙස තුවාල වී තිබුණි. මොළයට මේ අයුරින් තුවාල වීමට ඉඩ ඇත්තේ උස් තැනකින් වැටි හිස්කබල තුවාල වීමෙනි. නැතහොත් මොට ආයුධයකින් පහර දීම නිසා බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

හිස්කබලේ තිබූ තුවාල සහ හිස්කබල භග්නය වී ඇති ආකාරය අනුව මේ පුද්ගලයාගේ මරණය සිදු වී ඇත්තේ ඔහුගේ පිටුපසින් සිට හිසේ පැත්තට මොට ආයුධයකින් පහර දීමෙන් බවට අධිකරණ වෛද්‍යවරයාගේ මතය විය. තදබල පහරක් හිසට ගැසීමෙන් මොළයට දැඩි ලෙස හානි වන්නේය. එමෙන්ම මියගිය පුද්ගලයා සරත්මද කියා හඳුනාගත යුතුය. මක්නිසාද යත් මිනීමරුම් නඩුවකදී මියගිය තැනැත්තා හඳුනාගත් බව සාධාරණ සැකයකින් තොරව අධිකරණයේ දී ඔප්පු කළ යුතුය. මියගිය තැනැත්තාට සාධාරණය ඉටු වන්නේ එසේ වුවහොත් පමණි. සරත්ගේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරාවිත් තිබුණේය. යටි හනුවේ තිබූ දත්වල බුලත් කහටද දක්නට විය. දැඩි ලෙස නරක්වූ සහ දැඩි ලෙස පිලිස්සි ගිය මළ සිරුරුවල අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා දත් ඉතා වැදගත් වන්නේය.

“උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දත් සමපාත නොවන අවස්ථා තියෙනවා. දත්වල පිහිටීම වෙනස් වෙන්න පුළුවන්. සමහරක් අයගේ දත්වල විශේෂිත ලක්ෂණ තියෙන්න පුළුවන්. ඇතැමුන් කෘත්‍රීම දත් දමනවා. දත් පිරවීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය ඒවායේ සංකේත විකෘති වූ දත් පරීක්ෂාව ආදාළ තොරතුරුවලින් මියගිය අයගේ අනන්‍යතාව තහවුරු කරගන්න පුළුවන්“යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා කීවේය. තම පුතුගේ උඩු ඇන්දේ දත් ඉදිරියට නේරාවිත් තිබූ බව සරත්ගේ මව අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ ප්‍රකාශ කළාය. සරත් බුලත්විට සපන අයෙකු බව මෙම ලිපියේ මුලදී සඳහන් කළෙමි. සරත්ගේ යටි හනුවේ තිබූ දත්වල බුලත් කහටද දක්නට විය.

සරත්ගේ මව ප්‍රකාශ කළ තොරතුරු මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ තොරතුරු අනුව මළ සිරුර සරත්ගේම බවට හඳුනා ගැනිණි. අධිකරණ වෛද්‍යවරයා එය අධිකරණය වෙත වාර්තා කළේය. අධික ලෙස කුණු වී ගිය මළ සිරුරක් හඳුනා ගැනීම සඳහා 'දන්තීය දත්ත' උපකාරී වන බව මේ තුළින් මනාව පැහැදිලි වන්නේය. සරත්ගේ ඉදිරියට නේරාවිත් තිබූ උඩු ඇන්දේ දත් නිසා ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි විය. සරත්ගේ අබිරහස් ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.

සරත් තමන් සමඟ තේ කම්හලේ වැඩ කළ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. “අනේ සරත් ඔය බුලත්විට කෑම නතර කරන්න... ඔයාට තේ පැක්ටරියේ අය කියන්නේ 'බුලත් හපයා' කියලා... මටත් විහිළු කරනවා“යැයි සරත්ගේ ප්‍රේමවන්තිය කීවාය. එහෙත් සරත් බුලත්විට සැපීම නතර කළේ නැත. මේ අතරේ සරත්ගේ පෙම්වතිය සමඟ ඔහුගේ මිතුරෙකුද සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබුණි. මේ ගැන සරත්ට ද ටික දිනකින් දැනගන්නට ලැබුණි. සරත් මේ ගැන තම පෙම්වතියන්ගෙන්ද ඇසුවේය.

“ඔයාට පිස්සුද... මම ආදරය කරන්නේ ඔයාට විතරයි...“ යැයි පෙම්වතිය කීවාය.

සරත් පෙම්වතියගේ කීම විශ්වාස කළේය. සරත් මළගෙදර ගියේ මිතුරන් පස්දෙනකු සමඟිනි. මළ ගෙදර සිට සරත් මිතුරන් සමඟ යළි නි‌ෙවස බලා පිටත් වූහ. ඒ වන විට වේලාව රාත්‍රී දොළහද පසුවී තිබුණි. සරත් ඇතුළු මිතුරන් මත්පැන් පානය කොට තිබුණි. සරත්ගේ 'පෙම් හුටපටය' මළ ගෙදරදී ඇදී ආවේය.

මළගෙදර ගොස් එන අතරේ සරත්ගේ මිතුරන් ඔහු ඒ අසල තිබූ තේ වත්තකට රැගෙන ගියේය. උල් ඉන්නක් අතට දී සරත්ටම කියා තේ වත්තේ වළක් කැපීය. ඉන්පසු මිතුරන් විසින් උල් ඉන්නේ මොට පැත්තෙන් සරත්ගේ හිසට පහර කිහිපයක් ගැසුවේය. ඉන් පසු ඔහු වළ තුළට ඇද දැමුවේය. තවත් අයකු විසින් සරත්ගේ පිට ප්‍රදේශයට පිහියකින් අනිනු ලැබීය.

Comments