
- ඝාතනයට උපයෝගී කරගත් පොල්ලක් සොයා ගනී
- බිරියට 76 යි සැමියාට 90යි
- දෙදෙනා අතර කාලයක පටන් ආරවුල් තිබිලා
අඹු සැමියන් අතර ඇතිවන ආරවුල් හේතුවෙන් සැමියා සිය බිරිය ඝාතනය කළ සිදුවීම් පසුගිය කාලය තුළ මාධ්‍යයෙන් ඇසීමට සහ දැකීමට ලැබිණි. මීට අමතරව විවිධ හේතුන් මත බිරිය විසින් සැමියා ඝාතනය කිරීමේ සිදුවීම් ද බහුලව වාර්තා විය. ඊට ඇතැම් අඹුසැමියන් අතර පවතින අනවබෝධය ප්‍රධානම හේතුවයි. මේ ඝාතනවලට මීට අමතරව අනියම් සබඳතා ද පවුල් ආරවුල්වලට තවත් හේතුවකි. කාලයක සිට සැමියා සහ බිරිය අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සැමියා සිය බිරියට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් ගණේමුල්ල පොලිස් වසමෙන් පසුගියදා වාර්තා විය.
ගණේමුල්ල, පහළ යාගොඩ පදිංචි සිවු දරු මවක වන හැත්තෑ හය හැවිරිදි හෙට්ටිආරච්චිගේ ඇලස්ටින් මාතාව මෙසේ ඝාතනය කැරිණි. මේ ඝාතනයට සම්බන්ධ සැකකාර අනූ හැවිරිදි සැමියා, බිරිය, පුතා, ලේලිය සහ මුනුපුරන් තිදෙනෙකු සමඟ එම නිෙවසේ වාසය කර තිබේ. එම නිවසේ වාසය කරන ඇලස්ටින් මාතාවගේ පුතා රාගම ශීක්ෂණ රෝහලේ පෞද්ගලික ආයතනයක් මඟින් යෙදවූ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන අයෙකි. ඔහුගේ බිරිය නිට්ටඹුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් ලෙස සේවය කරන්නීය.
මේ ඝාතනය දා සැමියා සහ බිරිය උදෑසන සිය රැකියා ස්ථානවලට පිටව ගොස් තිබේ. එම නිෙවසේ සිටි ඔවුන්ගේ දරුවන්ද ප්‍රදේශයේ ආසන්න නිෙවසකට ගොස් ඇත. ඇලස්ටින් මාතාව සහ සැමියා කාලයක සිට දිගින් දිගටම බහින්බස්වී පවුල් ආරවුල් ඇති කරගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසති. ඇලස්ටින් මාතාවගේ සැමියා ශ්‍රවණ ආබාධයකින් පෙළෙන අයෙකි. එදිනද සුපුරුදු පරිදි මේ අඹුසැමියන් අතර බහින්බස් වීමක් ඇති වී පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් පසුව සැමියා නිෙවසින් පිටතට පැමිණ පොල්ලක් ගෙන බිරියගේ හිසට පහර දී ඇය ඝාතනය කර ඇති බවට සැක කරේ. ඇලස්ටින් මාතාවගේ හිසෙන් ගැලු ලේ ඇගේ ඇඳුම්වල සහ ඇඳ රෙදිවල තැවරී තිබී පොලිස් විමර්ශනවලදී සොයා ගැනිණි.
ඇලස්ටින් මාතාවගේ පුතා සහ ලේලිය සවස සිය සේවය නිම කිරීමෙන් අනතුරුව නිෙවසට පැමිණ ඇති අතර ඇලස්ටින් මාතාව නිෙවසේ ලේ විලක් මත වැටී සිටි අයුරු ඔවුන් දැක ඇත. එහිදී එම ස්ථානයට පැමිණි ඇලෙස්ටින් මාතාවගේ සැමියා තම බිරියට පොල්ලකින් ගැසූ බව පවසා තිබේ. පසුව ඇලස්ටින් මාතාවගේ ලේලිය නැන්දනිය අසලට ගොස් පරීක්ෂා කිරීමේදී නැන්දනිය ඇඳේ ලේ ගලන තුවාල සහිතව මිය ගොස් ඇති බව දැක අසල්වැසි ඥාති සහෝදරියගේ නිෙවසට ගොස් මේ බව දැනුම්දී ඇය සමඟ ගණේමුල්ල පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් කර තිබේ.
ඉන් පසුව පොලිස් නිලධාරීන් විසින් පැමිණිලිකාරියගේ ප්‍රකාශය මත විමර්ශනය අදාළ ඝාතනය සිදුවූ ස්ථානය අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙසට නම් කර එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රඳවා තිබේ.
පසුව මෙම සිද්ධිය සම්බන්ධව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණතිලක එම ස්ථානයට පැමිණ එම ස්ථානය සහ සිරුර පරීක්ෂා කර බලා මෙම සිද්ධිය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබේ. පසුව මියගිය කාන්තාවගේ සිරුර ගම්පහ මූලික රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.
ගම්පහ මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඇලෙස්ටින් මාතාවගේ හිසට සිදු වූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බවය. පසුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර අනූ හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා සහ බිරිය අතර කාලයක සිට ආරවුල් ඇති වී ඇති බවය. මෙම සිද්ධිය වූ දින සුපුරුදු පරිදි පුතා සහ ලේලිව නිෙවසින් පළවා හරින ලෙස බිරිය විසින් තමාට පැවසීම නිසා ආරවුල ඇති වූ බවත් එම සිද්ධිය මේ ඝාතනයට මුල් වූ බවත් සැකකරු පොලිසියට පවසා ඇත.
සැකකරු මෙම ඝාතනය සඳහා යොදාගත් පොල්ල පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මියගිය කාන්තාවගේ ලේ තැවරුණු ඇඳුම් ඇතුළු භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස නම් කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කළේය. සැකකාර සැමියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කැරිණි.
ගණේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දේවප්‍රියගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනුෂා කවිරාජ, ගම්පහ සොකෝ නිලධාරීන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.
මහර සමූහ