
“ජ්‍යොතිෂයේ සඳහන් වන රවි සඳු කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු කියන ග්‍රහයෝ හත්දෙනා ම අපිට දකින්න පුළුවන්. ඒත් රාහු කේතු දෙදෙනා එහෙම පේන්නේ නෑ. නක්ෂත්ර විද්‍යාව අනුව රාහු කේතු කියා ග්‍රහයෝ දෙන්නෙක් නෑ.
නමුත් කේන්දරයට රාහු කේතු එකතු කර ගන්නවා විතරක් නෙවෙයි රාහු කාලය කියා දේකුත් හදාගෙන තියෙනවා. මෙවැනි මිත්‍යා මත සහ අභව්‍ය දේවල් නිසා ජ්‍යොතිෂය කියන්නේ සම්පූර්ණ බොරුවක් බව 100 % ක් ඔප්පු වෙනවා. ජ්‍යොතිෂය මෝඩයන්ගේ අන්ධ විශ්වාසයක්. දැන්වත් මේ මිථ්‍යාව අවසන් කළ යුතුයි.“
මේ ප්රශ්නය අවුරුදු සියයක් නෙවෙයි ශතවර්ෂ ගණනාවක් පැරණි ' කතන්දරයක් ' . ජ්‍යොතිෂයට පහර ගහන්න උත්සාහ කළ බොහෝ දෙනෙක් ඔය කතාව තර්කයක් හැටියට ගෙනාවා. එංගලන්තයේ හිටියා විවියන් ඊ රොබ්සන් කියලා බොහෝම උන්නතිකාමී BSc විද්‍යාවේදී උපාධිධාරීයෙක්.
ජ්‍යොතිෂය මිථ්‍යාවක් බව ඔප්පු කරනතුරු මෙයාට නින්ද ගියේ නෑ. එයා මොකද කෙළේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න පටන් ගත්තා. එතනදී ඔහු හිතුවේ ජ්‍යොතිෂය ඇතුළෙන් ම දුර්වල තැන් හොයා ගෙන ඒවා නැවත ජ්‍යොතිෂයට ම එරෙහිව යොදා ගන්න පුළුවන් ය කියලයි. හොඳ ශාස්ත්රවන්තයෙක් නේ ද ? යමක් බොරුවක් බව කියන්න කලින් ඒ දෙය පරීක්ෂා කිරීම ආදර්ශමත් බුද්ධිමතෙකුගේ සාර ලක්ෂණයක්.
මේ අපේ රටේ ඉන්න කිසිම දෙයක් හරියට නො දන්න බක පණ්ඩිත බාග උගතුන්ට වඩා අර එංගලන්තයේ සුද්දා කොයි තරම් වටිනවද ? අපේ රටේ සමහරක් දොස්තරලාට තියෙනවා මාර ලෙඩක්. මේ ගොල්ලෝ නො දන්න දෙයක් නෑ. ඉතිහාසය භූගෝලය දේශපාලනය අර්ථ ශාස්ත්‍රය විතරක් නෙවෙයි ජ්‍යොතිෂයත් දන්නවා. කොටින් ම කියනවා නම් ' දොස්තරකම ' හැරෙන්න අනිත් ඕන දේකට විශාරද ! . අන්න ඒ ගොල්ලෝ කෙළින් ම කියනවා ජ්‍යොතිෂය මිථ්‍යාවක් කියලා. හැබැයි ජ්‍යොතිෂයේ ' අ ' යන්නවත් දන්නේ නෑ.
මාර විද්යාත්මකයි නේ !. නමුත් අර එංගලන්තයේ BSc උපාධිය ගත්ත මෝඩ ගොඩේ සුද්දා ඔන්න ජ්‍යොතිෂය ඉගෙන ගන්න ගියා කිව්වනේ. අන්තිමට මේ මනුස්සයට තේරුණා ජ්‍යොතිෂය කියන්නේ වෙන ම දැනුම් පද්ධතියක් මිස තමන් ඉගෙන ගත්ත විද්‍යාවට ගෝචරවන දෙයක් නෙවෙයි කියලා. තව විදිහකට කිව්වොත් MBBS උපාධි පාඨමාලාවට අජටාකාශ විද්‍යාව උගන්වන්නේ නෑ නේ. අන්න ඒ වගේ තමා. කොහොම නමුත් අන්තිමට මේ රොබ්සන් කියන සුද්දා 1922 සිට 1942 දක්වා ජ්‍යොතිෂය ගැන පොත් පහක් ලිව්වා.
ඒ සියල්ල ම අති විශිෂ්ට ග්රන්ථ හැටියට ලෝකය පුරා සම්භාවනාවට පත්වුණා. අදටත් ඒවා බටහිර ලෝකයේ විද්වතුන් අතර ගෞරවයට ලක් වෙනවා. අන්න ඒ නිසා අපිට මෙහෙම කියන්න පුළුවන් ඔබ ජ්‍යොතිෂය ගැන කතා කරනවා නම් ඒක ඉගෙන ගෙන රොබ්සන් කෙනෙක් වගේ කතා කරන්න. එසේ නැතිව මොකුත් ම නො දැන ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි කියන්නේ නම් ඔබ ගොබ්සන් කෙනෙකු වීම ද වැළැක්විය නො හැකිය.
දැන් ඔබේ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙන්න පුළුවන්. රාහු සහ කේතු ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ ජායා ග්‍රහයන් හැටියට යි. පෘථිවිය සහ චන්ද්‍රයා ගමන් කරන කක්ෂ දෙක දෙපොළක දී එකිනෙකට කැපෙනවා තව විදිහකට කීවොත් සඳු පෘථිවිය වටා ගමන් කරත්දී පෘථිවි කක්ෂය කැපී යන ස්ථාන දෙක රාහු සහ කේතු යනුවෙන් නම් කරනවා.
මේවා ගණිතමය ස්ථාන හැටියට ගත්තත් වරදක් නෑ. බටහිර ජ්‍යොතිෂයේදී මේ රාහු සහ කේතු North Node and South Node හෝ ඩ්‍රැගන්ස් හෙඩ් සහ ඩ්‍රැගන්ස් ටේල් යනුවෙන් හැඳින්වෙනවා. මේ විශේෂ ස්ථාන දෙක විසින් පෘථිවියට සහ එහි ජීවින්ට ඇති කරන බලපෑම අති විශාලයි. මේක වටහා ගන්න පොඩි නිදසුනක් දෙන්නම්.
බෙංගාල බොක්කේ ඇතිවන අවපීඩන තත්ත්වයකට අපේ රටවල්වල කාලගුණය උඩු යටිකුරු කරන්න පුළුවන් බව ඔබ දන්නවා. අන්න ඒ වගේ දස දහස් ගුණයක බලපෑමක් ඇති කරන්න රාහුට සහ කේතුට පුළුවන්. විශේෂයෙන්ම මිනිස් මනසට ක්ෂණික බලපෑම් ඇති කිරීමට රාහුට විශේෂ හැකියාවක් තියෙනවා. වෙලාවකට ඒක විෂ වායු ප්‍රහාරයක් වගේ ඉතා විනාශකාරී ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්.
ජ්‍යොතිෂය මිථ්‍යාවක් යැයි කියන ඔබ වෛද්‍ය ශිෂ්‍යයකු බව සඳහන් කර තිබුණා . නිකං ම නිකං පණ්ඩිතමානීව ජ්‍යොතිෂය බොරුවක් බව නොකියන ඔබ ඒ සඳහා රාහු සහ කේතු නිදසුනකට ගැනීම නම් ඉතා හොඳයි. මොකද ඔබ ජ්‍යොතිෂය පිළිබඳව කිසියම් සොයා බැලීමක් වත් සිදු කිරීමෙන් පසුව ඔබේ තර්කය සාධාරණ ලෙස ඉදිරිපත් කරන බව එයින් පැහැදිලි වෙනවා.
ඒ ගැන අපේ ගෞරවය පිරිනමන්න කැමතියි. ඒ එක්ක ම ඔබ ඉගෙන ගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් ජ්‍යොතිෂය ගැන කියා තිබෙන්නේ කුමක් දැයි කරුණාකර සොයා බලන්න. එය දැන සිටියේ නම් ඔබ මෙවැනි තර්කයක් ඉදිරිපත් නොකරන බව අපට විශ්වාසය. හිපොක්‍රටිස්ගේ ඒ කියමන සොයා ගෙන ඔබ විසින් ම හිස් තැන සම්පූර්ණ කර ගත්තොත් හොඳයි නේ ද ?