
කුඩා දරුවන්ට සිය මවුපිය ආදරය සහ රැකවරණය නොලැබීම නිසා ඔවුන් සමාජයේ විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී අනාගතය විනාශ කරගන්නා අයුරු මාධ්‍ය මඟින් අසන්නට සහ දකින්නට ලැබේ. මවුපියන් සිය විවාහවලින් දික්කසාද වී වෙනත් විවාහ සිදු කර ගැනීම නිසාවෙන් හුදෙකලා වන දරුවන් මෙසේ සමාජයේ විවිධ අපචාර ක්‍රියා සිදු කිරීමට පෙලඹීම කනගාටුදායකය.
සොරකම් 29 ක් සිදු කර සැඟව සිටි වයස අවුරුදු දහයක පිරිමි ළමයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට ජාඇළ පොලිසියට හැකි වූයේ පසුගිය දිනෙකය.
ජාඇළ, ඒකල, විශාඛාවත්ත ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි ළමයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගැනිණි. ජාඇළ, ඒකල ප්‍රදේශයේ පදිංචි මාළු වෙෙළඳාමේ නිරත පුද්ගලයකු තමන් ළඟ තිබූ රුපියල් නව දහස් හත්සියයක මුදලක් කිසිවකු සොරා ගැනීම ගැන ජාඇළ පොලිසියට කළ පැමිණිල්ල විමර්ශන කර මෙම සැකකාර පිරිමි ළමයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
මුදල් සොරකම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමයාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී මේ ළමයා ප්‍රදේශයේ සොරකම් 29ක් සිදු කර ඇති බව හෙළි විය.
එම සොරකම් අතර නිවාසවලට ඇතුළු වී ජංගම දුරකතන, යතුරුපැදිවල අමතර කොටස්, ත්‍රිරෝද රථවල අමතර කොටස් පැහැර ගැනීම ඇතුළු රුපියල් 300 සිට රුපියල් 1000 දක්වා විවිධ මුදල් සොරකම් කිරීම සහ පැහැර ගැනීමේ සිද්ධීන් 29ක් සිදු කර ඇති බවට හෙළි වී තිබේ. සැකකාර ළමයා මුල් කාලයේ මව සමඟ එකට වාසය කරද්දී පාසලේ 4 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති බව එහිදී හෙළි විය.
එහිදී ජාඇළ පොලිසියේ විමර්ශන නිලධාරීන් පිරිසකට ලැබුණ පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකාර ළමයාගේ මව මේ ළමයා සහ ඔහුගේ පියා අත්හැර ගොස් අනතුරුව මේ ළමයා සිය පියාගේ භාරයට පත් වී ඇති බවයි.
ළමයාගේ පියා විවිධ ප්‍රදේශවල පොල් කැඩීම ඇතුළු කුලී වැඩවල නිරත වීමට උදේ වරුවේ නිෙවසින් පිටව යන අතර නැවත සවස් කාලයේ නිෙවසට පැමිණෙයි.
ඒ අතර කාලයේ තනිවම වෙසෙන ළමයා ප්‍රදේශයේ සිටින පුද්ගලයන් සමඟ ආශ්‍රයට යොමු වී ඇති බව හෙළි විය. එම නිසා ළමයා දහවල් කාලයේ හුදෙකලාව වාසය කරන අවස්ථාවල සොරකම්වල නිරතව සිට ඇති බවත් ඔහු මෙලෙස සොරකම් කරන මුදල්වලින් මිතුරන් සමඟ හෝටල්වලට ගොස් ආහාරපාන ගෙන ඇති බවටත් අනාවරණය වී තිබේ.
මේ ප්‍රදේශයේ පදිංචි වැඩිහිටි කාන්තාවන් මෙම ළමයාගෙන් ණයට මුදල් ලබාගෙන ඇති බව හෙළි වී ඇත. සමහර කාන්තාවන් ළමයා රවටා ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය විය.
ළමයා සිදු කළ සොරකම් 29ක් සම්බන්ධව මේ වන තෙක් පොලිසියට පැමිණිලි ලැබී නොමැති අතර ළමයා 30 වැනි වරට සිදු කළ සොරකම මාළු වෙළෙඳමේ යෙදී සිටි අයකුගෙන් රුපියල් 9700ක මුදලක් සොරා ගැනීමයි. පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ එම සොරකම ගැන පමණි.
මේ ළමයාගේ පියාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන්ට මේ ළමයා රැක බලා ගත නොහැකි බවය. තමන්ගේ කලින් විවාහයේ බිරිය අකුරැස්ස ප්‍රදේශයේ වෙනත් පුද්ගලයකු සමඟ විවාහයක් සිදු කරගෙන එහි වාසය කරන අතර එම නිෙවසට ළමයා බාර දීමට කටයුතු කළ බවද ඔහු පවසා තිබේ. එහිදී ළමයාගේ මවගේ දෙවන විවාහයේ සැමියා මේ ළමයා අකුරැස්ස ප්‍රදේශයේ විහාරස්ථානයකට බාරදී ඇති බවකි. නමුත් එම විහාරයේ වාසය කරන ස්වාමීන් වහන්සේට ළමයා රැක බලා ගත නොහැකි බවට පවසා නැවත ළමයාගේ පියාට බාරදී තිබේ.
පසුව ළමයා නැවත තම පියා භාරයට පත්වන අතර එහිදී ඔහු දිවා කාලයේ ප්‍රදේශය පුරා ඇවිදිමින් නිවාසවලට ජනෙල් දොරවලින් ඇතුළු වී මෙසේ සොරකම් සිදු කර ඇති බව හෙළි විය. ළමයා සුදුසු භාරකාරිත්වයකට පත් කිරීම පිළිබඳව දරුවාගේ පියා කැමැත්තක් දක්වන බව විමර්ශන නිලධාරීහු සඳහන් කළහ. ළමයා දිනපතා උදේ සිට සවස් වන තෙක් ප්‍රදේශයේ ඇවිදිමින් කාලය ගත කරන බවට ප්‍රදේශවාසින් පවසන බව විමර්ශනවලදී හෙළි විය.
මේ ළමයා පදිංචි නිෙවස අවට ප්‍රදේශයේ වාසය කරන පිරිමින් සහ කාන්තාවෝ රැසක් ඒකල කර්මාන්තපුරයේ සේවය කරති. මේ වන විට ළමයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ළමයාගේ මව සහ පියා වෙන්වීම නිසා සිය පාසල් ගමන නතර කිරීමට ඔහුට සිදුවී ඇති බවය. ළමයා නැවත පාසල් යාමට දැඩි කැමැත්තක් දක්වන බවත් පාසල් ගමන ආරම්භ කිරීමට උදවු කරන ලෙසට ළමයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. පොලිසිය මේ ළමයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමන් දිවා කාලයේ නිෙවසේ තනියම සිටින නිසා පාළුව සහ තනිකම මකා ගැනීමට සොරකම් සිදු කළ බවය.
ළමයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය විසින් නියෝග කළේය.
ළමයාගේ පාසල් ගමන වසරක පමණ කාලයක සිට ඇනහිට ඇති බවද එහිදී හෙළි විය. ළමයාට වයස අවුරුදු 10ක් නිසා ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කිරීමට නොහැකි බව පොලිස් නිලධාරිවරයෙක් සඳහන් කළේය. මේ වන විට මේ ළමයාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පාසලක් සොයා ඊට මේ ළමයා ඇතුළත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව පොලිසිය පැවසීය.
ජාඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.කේ. රත්නායකගේ උපදෙස් මත එහි උසාවි අංශයේ පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි, කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පරීක්ෂිකා උත්පලා රූපසිංහ යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.