පෙම්වතියගේ සිරුර කැලේ දමා කට්ටි පැන්න පෙම්වතා | සිළුමිණ

පෙම්වතියගේ සිරුර කැලේ දමා කට්ටි පැන්න පෙම්වතා

 

පෙම්වතා සහ මිතුරා පොලිසියට පසුව බාර වෙයි

'වට්ස් ඇප්' පණිවිඩයක් යවා පෙම්වතිය එල්ලිලා

වේයන්ගොඩ දංවිලාන ප්‍රදේශයේ යුවළක් ඉකුත් 18 වැනිදා හිරු බැස යද්දී වේයන්ගොඩ පොලිසියට පැමිණියේ තමන්ගේ නි‌ෙවසක නවාතැන් ගෙන සිටි තරුණියක අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් කරන්නටය. දින 16 ක සිට මේ තරුණිය තම නිවසේ නවාතැන් ගෙන සිටි බවත් ඉරිදා දහවල් සිට ඇය ආගිය අතක් නැති බවත් මේ යුවළ පොලිසියට කීහ. මේ දෙන්නාගේ හැසිරීමේ අමුත්තක් දුටු පොලිස් නිලධාරීන් අදාළ යුවළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. වීරසිංහ වෙත යොමු කළහ.

ස්ථානාධිපතිවරයාගේ ප්‍රශ්න කිරීම හමුවේ මේ යුවළ අනාවරණය කළේ අමුතු කතාවකි.

“ඒ ළමයා බඳින්න පිරිමි ළමයෙකුත් ගෙදරට එනවා යනවා. දැන් ටිකකට කලිනුත් ඒ ළමයා ආවා. ගෑනු ළමයා ඉන්න බෝඩිං ගෙදර වහලා තිබුණා. අපි කිව්වා ඒ ගෑනු ළමයා අපි දැක්කේ නැහැ... ඔයා එක්ක ගිහින් කියලා අපි හිතාගෙන හිටියේ කියලා. ඒ එක්කම පිරිමි ළමයා කලබලෙන් වගේ ගෙයි වහලෙට නැඟලා ගෙට බැස්සා. ටිකකින් එයා ඒ ගෑනු ළමයාට කබායක් වගේ එකක් පොරවාගෙන උස්සගෙන ඇවිත් එයා එක්ක ආපු කෙනාත් එක්ක මෝටර් සයිකලේ නැඟිලා එයාව අරන් ගියා“ යැයි කීවෝය.

මේ හෙළිදරව්වත් සමඟ පොලිස් නිලධාරීන් පත්වූයේ මහත් අකරතැබ්බයකටය. පැමිණිල්ල කරන්නට ආ යුවළ රඳවා තබාගෙන ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේ ඒ නිසාය. එහෙත් අලුත් යමක් ඔවුන්ගෙන් හෙළි කරගන්නට පොලිස් නිලධරයනට හැකි වූයේ නැත.

පැයක් හමාරක් කාලය ගත වෙද්දී තරුණියගේ පෙම්වතා පොලිසිය හමුවේ පෙනී සිටියේය. සිය පෙම්වතිය බාල්කයේ ගෙල වැලලාගෙන සිටි බවත් ඇය ඉන් ගලවාගෙන මිතුරා සමඟ යතුරුපැදියෙහි තබාගෙන රැගෙන ගියේ ඇය රෝහල්ගත කිරීමට බවද ඔහු කීය. අතරමඟදී යතුරුපැදියේ ඉන්ධන නොමැති වීම නිසා ඇය අතරමඟ කැලයක දමා ඉන්ධන සොයා ගිය බවත් පෙම්වතා පොලිසියට පැවසීමත් සමඟ මේ කතාව හතරබීරි කතාවක් බවට පත්වූයේය. පොලිස් නිලධරයන් මේ තරුණයා රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන්නට ගන්නේ ඉන් අනතුරුවය. ඒ මේ තරුණියට සිදු වූ දේ සොයා ගැනීම සඳහාය.

අනතුරුව සිදුකළ විමර්ශනවලදී තරුණියගේ මළසිරුර දමා ගොස් ඇති ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව කැලෑබද ප්‍රදේශ සියල්ල සෝදිසි කිරීමෙන් අනතුරුව තරුණියගේ මළසිරුර සොයා ගන්නා ලදි. තරුණිය නි‌ෙවසෙන් රැගෙන වතුපිටිවල මූලික රෝහල වෙත ගමන් කරමින් සිටියදී යතුරුපැදියෙහි ඉන්ධන නොමැති වීම නිසා මෙම පාළු කැලෑබද ඉඩමෙහි තරුණියගේ මළ සිරුර දමා ඉන්ධන සොයා නිට්ටඹුව ප්‍රදේශයට යතුරුපැදියෙන් ගමන් කළ බවත් පෙම්වතා පොලිසිය හමුවේ කරුණු හෙළි කළේය.

නමුත් ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව සිය මිතුරා නැවතත් පෙම්වතියගේ සිරුර රැගෙන යාමට බියක් දැක්වීම හේතුවෙන් ඔහු නැවත තමා සමඟ නොපැමිණි බවත් ඒ අනුව තමා මෙසේ පොලිස් ස්ථානය වෙත පැමිණි බවත් පෙම්වතා පොලිස් නිලධාරීන්ට පැවැසුවේ පොලිස් නිලධාරින් මේ සිද්ධිය තුෂ්නිම්භූතව අසා සිටියදීය.

මේ අතර පෙම්වතාගේ මීතුරාවූ යතුරුපැදියේ පැදිකරු ද නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාර වී මේ සිද්ධිය ගැන තොරතුරු හෙළි කරනු ලැබ තිබිණි. ඔහු පවසා ඇත්තේ අදාළ තරුණිය යතුරුපැදියේ දමාගෙන රැගෙන යන අතරමඟ සිය මිතුරා (පෙම්වතා) තරුණිය මිය ගොස් ඇති බවට පැවසූ බවත් එහිදී තමා දැඩි භීතියට පත් වූ බවත්ය. එනිසා තමන් මළ සිරුරක් ගෙන යාමට කැමැති නොවීම නිසා සිරුර එසේ කැළෑවක දමා ගිය බවයි.

ඉරිදා (18) රාත්‍රී 7.24 ට පමණ නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක මෙම මළ සිරුර දමා ගොස් ඇති බව ඒ ආසන්නයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී හෙළිවිය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ගයත්‍රි නැමැති 21 හැවිරිදි තරුණියකි. ඇගේ පෙම්වතා නිට්ටඹුව හුබුටියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක අයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

දෙදෙනා අතර කිසියම් අරාවුලක් පැවතී ඇති අතර නිතර පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් අවසානයේ තරුණිය පෙම්වතාගේ ඇමතුම්වලට පිළිතුරු නොදී කාලය ගත කර ඇති බවත් හෙළි වීය. තරුණිය ගෙල වැලලා ගැනීමට පෙර ඇඳ ඇතිරිල්ල බාල්කයේ එල්ලා සිය ජංගම දුරකතනයෙන් එහි ඡායාරූපයක් ගෙන සටහනක් ද සමඟින් සිය පෙම්වතාට 'වට්ස් අප්' මාර්ගයෙන් යොමු කර තිබූ අයුරු දෙදෙනාගේ ජංගම දුරකතන පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

අදාළ 'වට්ස් අප්' පණිවිඩය ලැබීමෙන් අනතුරුව පෙම්වතා පෙම්වතිය පදිංචිව සිටි කුලී නිවස වෙත ගොස් ඇත. එහිදී නි‌ෙවස වසා තිබූ බැවින් එම නි‌ෙවසේ යාබද කොටසක පදිංචි නිවෙස් හිමියන්ගෙන් සිය පෙම්වතිය පිළිබඳ කරුණු විමසා සිටියත් තරුණිය නි‌ෙවසේ සිටිනවා ද නැද්ද යන්නවත් තමන් නොදන්නා බව ඔහුට පවසා ඇත. එම අවස්ථාවේ කලබලයට පත් පෙම්වතා වහා නිවස පිටුපසට දිව ගොස් වහලයට නැග උළුකැට කීපයක් ඉවත් කර පෙම්වතියගේ කාමරයට ඇතුළු වී ඇති බවත් එහිදී පෙම්වතිය ගෙල වැලලා ගෙන සිටිනු දැකීමෙන් අනතුරුව ගෙල වැලලාගෙන සිටි ඇඳ ඇතිරිල්ල ගලවා ඉවත්කර තරුණියට කබායක් ද පොරවා ඇය උස්සාගෙන ගොස් ඔහු සමඟ පැමිණි සිය මිතුරාගේ යතුරුපැදියෙහි දමාගෙන රෝහල් ගත කිරීමට යන බව නිවැසියන්ට පවසා ඉන් පිටත්ව ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. පසුව ඔවුන් අතුරු මාර්ග ඔස්සේ ගමන් කර නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක කැලෑබදව අදාළ තරුණියගේ මළසිරුර දමා පෙම්වතා සිය මිතුරා සමඟ එම ස්ථානයෙන් යතුරුපැදියෙන් පිටත්ව ගොස් ඇති අතර එම දර්ශන අසල නි‌ෙවසක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශනවල පටිගත වී ඇත. මියගිය තරුණිය පදිංචිව සිටි කුලී නි‌ෙවසෙහි හිමිකාර යුවළ වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ ඒ අතරතුරදීය.

තරුණිය ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවට ඇගේ දෙමාපියන් අකමැති වීම නිසා මීට වසරකට පමණ පෙර ඇය නි‌ෙවසෙන් පිටත්ව ගොස් වෙනත් ප්‍රදේශයක කුලී නි‌ෙවසක පදිංචි වී ඇඟලුම් රැකියාවක නිරතවී සිට ඇත. අනතුරුව ඇය මීට දින 16 කට පමණ පෙර වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයේ කුලී නි‌ෙවසට පැමිණ ඇති අතර පෙම්වතා ද නිරන්තරයෙන් ඇය හමුවීමට එම නි‌ෙවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

කලකට ඉහත දී අදාළ තරුණියගේ පියා දියණියගේ මෙම පෙම්වතාට පහර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද පැවති බවත් පොලිසියට දැන ගන්නට ලැබී ඇත. තරුණියගේ මළ සිරුර දමා තිබූ ස්ථානයේ සහ ගෙල වැලලාගත් නි‌ෙවසේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ස්ථානීය පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගේ පරීක්ෂණ කටයුතු රාත්‍රියේදීම සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය 19 උදේ වතුපිටිවල මූලික රෝහලේදී පැවැත්වීනි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතාගේ වාර්තාවෙන් කියවුණේ තරුණිය මරණයට පත්ව ඇත්තේ ගෙල වැලලා ගැනීම නිසා බවය. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. වීරසිංහගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්විණි.

Comments