සා පෙළෙන් සියල්ලන් සමත් වී රුවන්පුරයම බැබළ වූ රත්නපුර සීවලි මධ්‍ය විදුහල | සිළුමිණ

සා පෙළෙන් සියල්ලන් සමත් වී රුවන්පුරයම බැබළ වූ රත්නපුර සීවලි මධ්‍ය විදුහල

- කොවිඩ් නිසා අතපසු වූ පාසල් වැඩ ආවරණයට උදේ සිට නේවාසික කඳවුරු 
- උසස් පෙළ ප්‍රතිඵල අතිනුත් ඉහළම දක්ෂතා
- ස්මාර්ට් පන්ති කාමර හරහා අධ්‍යාපන කටයුතු නව තාක්ෂණයෙන් 
- වාර විභාග අඩු ලකුණු ගත් දරුවන්ට ප්‍රති පෝෂණ වැඩ සටහන්
- ආර්ථික දුෂ්කරතාවලින් පීඩිත සාමාන්‍ය පෙළ දරුවාට නි‍වෙසක්

‘දිවි මඟ සුබ ලකුණු දකිමින්, මිණි දෙරණේ බැබළෙන සිළුමිණක් බඳු වූ රත්නපුර සීවලි මධ්‍ය විදුහල නැවත වතාවක් ලක් දෙරණේ බැබළුණේ මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙනි. පාසලක් විසින් සාධනය කර ගත යුතු ඵලදායි අධ්‍යාපන අවස්ථා මනාව හඳුනා ගනිමින්, අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි සිසු පරපුරක් එදත් අදත් දායද කළ රත්නපුර හිදැල්ලන සීවලි මධ්‍ය විදුහල වූ කලී මිශ්‍ර පාසල් අතරින් ඉහළ තලයේ වැඩඹෙන පාසලකි. සිසුන් අධ්‍යාපනිකව සාක්ෂාත් කරවීම පමණක් නොව විෂය සමාගාමි කටයුතු වලින් හා විෂය බාහිර කටයුතුවලින්ද ඉහළ සාධනිය මං සලකුණු පෙන්වූ මේ පාසල සිය 113 වැනි ගමන් මඟ පසු කළේ මේ වසරේය. 

රත්නපුර සීවලි විදුහල් අභිමානය තුළ රටට බිහි කළ විද්‍යාර්ථීහු අපමණය. උගතුන් ව්‍යවසායකයන් රට පුරා විසිර ඇත. 1909 රත්නපුර ගඟබඬ පාරේ නි‍ෙවසක දරුවන් 15 දෙනකුගෙන් ඇරඹි Sivali school නමින් මේ දක්වා පැමිණි ගමනේදි ඔවුන්ට විඳින්ට සිදු වූ අත්දැකීම් මිහිරි මෙන්ම අමිහිරි ද විය. අද පමණක් නොව එදා ද විභාග ප්‍රතිඵල වලින් ඉහළ දස්කම් දැක්වීමට සමත්වීම හේතුවෙන් මේ කුඩා පාසල 1935 වසරේදි A ශ්‍රේණියේ පාසලක් බවට පත් වූ අතර එතැන් සිට සීවලි පාසල සීවලි විදුහල නම් විය. සීවලිය මධ්‍ය විදුහලක් බවට පත්වූයේ 1943 දීය.

සීවලි විදුහලේ ආරම්භක මුල් ගුරු පුරුක වූයේ සෙනෙවිරත්නයන්ය. ෆ්‍රැන්සිස් පෙරේරා එහි දෙවැනි මුල් ගුරු පුරුක විය. එදා සිට අද දක්වා මනා නායකත්වයෙන් අභිමානවත් පියවර තබන සීවලි විදුහල අද නවීන තාක්ෂණයෙන් පිරිපුන් පන්ති කාමර සහිත පාසලකි. වැලි පිල්ලේන්, ගල් ලැල්ලේන් අනතුරුව කළු ලෑල්ලේන් සිසු දරුවන්ට අකුරු කියා දෙන්නට අද සියලු පන්ති කාමර සුහුරු ස්මාර්ට් පන්ති කාමර බවට පත් වී ඇත. සීවලියේ සියලු ගුරුවරු අද සිසුන්ට පාඩම් කියා දෙන්නේ ස්මාර්ට් බෝඩ් හරහාය.

රත්නපුර සීවලි විදුහලේ වත්මන් පෙර ගමන්කරු විදුහල්පති නීල් ධම්මික වතුකාරවත්තය. කමල් ආරියසිංහ ඊට පෙර සීවලියේ සාර්ථකත්වය කරා ගෙන ගිය හිටපු විදුහල්පතිවරයාය. වත්මන් සීවලියේ ජයග්‍රහණ පිටුපස අතීත විදුහල්පතිවරු, අතීත ගුරුවරු සේම වත්මන් විදුහල්පති ඇතුළු ගුරු පරපුර ද සිටිති. 2021 සාමාන්‍ය පෙළ විභාගයට රත්නපුර සීවලි විදුහලෙන් සිසුන් 272 ක් පෙනි සිටියහ. 6-13 ඇතුළත් ශිෂ්‍යත්ව සමත් දරුවන්ගේ පාසලක් වුව ද, මේ සියලු සිසුහු ශිෂ්‍යත්ව විභාගයෙන්ම සීවලි මධ්‍ය විදුහලට පැමිණියෝ නොවෙති. එයින් ශිෂ්‍යත්වධාරීහු වන්නේ සිසුහු 190 ක් පමණි. තවත් සිසුහු 40 කට වැඩි පිරිසක් සහෝදර, ආදි සිසු හා කාර්ය මණ්ඩල පදනමින් පැමිණියෝ වෙති. 10 දෙනෙක් ක්‍රීඩා හපන්කම් දැක්වූ ක්‍රිඩා පාසලින් පැමිණියෝ වෙති. සෙසු පිරිස අතරමැදි ශ්‍රේණි සිසුහු වෙති. නමුත් විවිධ අවස්ථාවලදි විවිධ හපන්කම් දැක්වූ සිසුහු වුව ද මේ සියලු දෙනා එකම ගමනක් කරා ගෙන යෑමට හා ඉහළ සාමාර්ථයක් වාර්තා කිරීමට සීවලි විදුහලට හැකිවීම මෙදා ලද සුවිශාල ජයග්‍රහණයකි. මෙවර සාමාන්‍ය පෙළ කඩඉමට මුහුණ දුන් 272 ක් වන සිසුහු සියලු දෙනාම සමත්වීම ඒ ජයග්‍රහණයයි. සිසුහු 86 දෙනෙක් A 9 ජයග්‍රහණද, සිසුහු 64 දෙනෙක් A 8 ජයග්‍රහණ ද, සිසුහු 40 ක් A 7 ජයග්‍රහණ ද මෙදා වාර්තා කළහ. මේ සිසුහු පොතට පමණක් සීමා වූවෝ නොවූ අතර ඔවුහු සීවලි විදුහලට ජාතික තලයේ, අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ අත්කර දුන්නෝ වෙති. සමස්ත ලංකා ජයග්‍රහණ, ඉංග්‍රීසි භාෂා, කථික, විවාද මෙන්ම විවිධ ක්‍රීඩා ඉසවු නියෝජනය කරමින් ඔවුහු පාසලට කීර්තියක් අත්කර දුන් පිරිසක් වීම සුවිශේෂි කරුණකි.

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුහු කොවිඩ් අභියෝග හමුවේ දැඩි දුෂ්කරතා වින්ද ද, ඒ සියලු අභියෝගයන්ට අභියෝග කරමින් දරුවන්ට අහිමි වූ අධ්‍යාපන කාලය කුමන හෝ ක්‍රමයකින් දරුවන්ට සමීප කරවන්නට වත්මන් විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් ගත් පියවර ප්‍රශංසනීයය. දරුවන්ට අහිමි වූ පාසල් කාලය යළි ලබා දීමට ප්‍රතිපෝෂණ වැඩ සටහන් පැවැත්වීම, අඩු ලකුණු ලබාගත් සිසුන්ට පමණක් නොව සියලු සිසුන්ට අමතර උදෑසන කාලයක් ලබා දෙමින් විධිමත් කාල සටහනකට අනුව ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීමේ අවස්ථාව වර්ධනය කිරීම මෙන්ම නේවාසික කඳවුරු පැවැත්වීම මේ අතර ප්‍රධානය. සීවලියේ වත්මන් විදුහල්පති, කළමනාකරණ මණ්ඩලය මෙන්ම ගුරුවරුන්ගේ උපරිම දායකත්වයෙන් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැවැත්වූ නේවාසික කඳවුරු සීවලියටම අනන්‍ය වූ වැඩසටහන්ය. කොවිඩ් වකවානුවේ පවා උදෑසන සිට රාත්‍රිය දක්වා පැවැත්වූ මෙම නේවාසික කඳවුරුවලදී පාඩම් පමණක් නොව දරුවන්ගේ ව්‍යාකූල වූ මනසට අලුත් අත්දැකීමක් එක් කරන්නට සෞන්දර්යාත්මක වැඩ සටහන් එක් කරන්නට ඔවුහු අමතක කළේ නැත. සතියට දින තුනක් පැවැත්වූ මෙම නේවාසික කඳවුර ආරම්භයේ පැවැත්වෙන ශාරීරික ව්‍යායාම්වලින් අනතුරුව උදැසන 8-5 දක්වා කාලය ගත වන්නේ පාසල් කාල පරිච්ඡේදයන්ටය. රාත්‍රී 6-8 දක්වා ගිනිමැල සන්දර්ශන ඇතුළු සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්ය. ඒ සිසුහු රාත්‍රිය ගත කළේ පාසල් නේවාසිකාගාරවලය. සිසුන්ගේ සියලු වාර ඇගයීම් විදුහල්පතිතුමා අතින්ම සීවලි විදුහලේ 2800 ක් පමණ වන සියලු සිසුන්ට පිරිනැමෙන්නේ විදුහල්පතිතුමාගේ වටිනා කාලය සිසුන්ට ශක්තියක් වන බැවිනි.

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැවැත්වූ අමතර වැඩ සටහන්වලදි පාසලේ විවිධ ගුරුවරුන්ගේ විවිධ හුවමාරු කර ගන්නට සිසුන්ට අවස්ථාව ලබා දීමට පාසලේ සාමාන්‍ය පෙළ ගුරුවරුන්ට හැකි විය.

සීවලි විදුහලට වසරක් පාසා ක්‍රිඩා කුසලතා සහිත දරු පිරිසක් ඇතුළත් වන නිසා ඒ සිසුන්ගේ නියමිත විභාග කඩඉමට ගැනීම තරමක අභියෝගයක් විය. පසුගිය කාලයේ පාසලේ සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 100% ක ඉලක්කයට ගෙන ඒමේ එක් බාධාවක් වූයේද මෙයයි. නමුත් මේ සිසුන්ගේ ක්‍රීඩා කුසලතා නංවන අතරම විභාගයෙන්ද ඉහළ ප්‍රතිඵල දක්වා ගෙන ඒමට විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන් විශාල කැපවීමක් කළහ. ක්‍රීඩා පාසලේ මෙම සිසුන් නේවාසිකාගාරවල නවාතැන් ගෙන සිටින හෙයින් මාස 6 ක කාලයක් රාත්‍රී පන්ති පවත්වා ඒ සිසුන්ද අනිකුත් සිසුන් හා තරගකාරි මට්ටමකට ගෙන ඒමට හැකි විය.

වසරක් පාසා සපුරා ගත යුතු ඉලක්ක කලින්ම හඳුනාගෙන ඊට නිසි සැලසුම් යෙදීම සීවලියේ ජයග්‍රහණ පසුපස ඇති රහසයි. 2022 ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසර ලෙස වෙන් කළ සීවලිය සිය අක්කර 17 ක පාසල් බිමෙන් සුළු ඉඩක් වෙන් කළේ ඉංග්‍රිසි භාෂා පුස්තකාලයක් වෙනුවෙනි. ආදි සිසුහු, දෙමවුපියන්ගේ සහයෙන් ඉදි කළ මේ පුස්තකාලය අගනා මෙහෙවරක් ඉටු කරන්නේය. පුස්තකාලයේ පමණක් නොව මනාව සකස් වූ පන්ති කාමරයේද සිසුන්ට පොත් කියවීමට වෙන්වූ ස්ථානයක් ඇත. ‘සැනසුම‘ උපදේශන පියස රත්නපුර සීවලියේ බිහිවූයේ කොවිඩ් කාලයේ විභාග කල්යෑමෙන් ව්‍යාකූල වූ සාමාන්‍ය පෙළ සිසුන්ගේ මනස ශක්තිමක් කිරීම වෙනුවෙනි. පොතපතෙන් පමණක් නොව ශාරීරික යෝග්‍යතාව අතින්ද දරුවන්ගේ කුසලතා නැංවීමට, පෞරුෂත්වයෙන් හෙඹි දරු පරපුරක් බිහි කිරීම මෙන්ම තුලනාත්මක අධ්‍යාපනයක් කෙරෙහි සිසු දරුවන් යොමු කිරීම වෙනුවෙන් සෑම අඟහරුවාදාම උදය කාලය වෙන් වන්නේ ශාරීක යෝග්‍යතාවයටය. රත්නපුර සීවලි විදුහලේ විෂය බාහිර සංගම් 46 ක් ඇති අතර, ක්‍රීඩා 16 ක්ද ඇත. විභාගයට මුහුණ දුන්නද සෑම සිසුවෙකුටම මේ විෂය බාහිර වැඩ සටහන් කිරීම පාසල මඟින් අත්‍යවශ්‍ය කර ඇත. මෙවර ජයග්‍රහණ පසුපස හඹාගිය බොහෝ දරුවෝ පාසලේ විෂය සංගම් සාමාජිකයෝ වන අතර දක්ෂ ක්‍රීඩකයෝ ද ක්‍රීඩිකාවෝ ද වෙති.

පාසලට සාමාන්‍ය පෙළ සිසුන් ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට විදුහල්පතිවරයා කටයුතු කර ඇත. වර්තමානයේ ආර්ථික අපහසුතා දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක ඩැහැ ගැන්වීම වැළක්වීමට වත්මන් විදුහල්පතිවරයාගේ උපදේශනයෙන් ‘ උදවු අල්මාරිය‘ ක්‍රියාත්මක වන්නේ පාසලේ ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පිහිට වන්නටය. පාසල් පොත්, බෑග්, සපත්තු ගැනීමට නොහැකි දරුවන්ට ඒ හරහා පිහිට වීමෙන් ඔවුන්ගේ ඒ අඩුපාඩු සම්පූර්ණ වන්නේ නිතැතිනි. රත්නපුර සීවලි විදුහල මීට වසර කිහිපයකට පෙර පාසලේ ආර්ථික දුෂ්කරතාවෙන් පිරි දරුවන් සොයා නි‍ෙවසක් පරිත්‍යාග කරන්නේ ද එවැනි දරුවන්ට ජීවිතය ජය ගැන්මට ශක්තියක් වෙමිනි.

පසුගියදා එහි පස්වැනි නිවෙස සදා දුන්නේ මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිට ඉහළම ජයග්‍රහණයක් අත්කර දුන් කුරුවිට කන්දගොඩ දරුවකු වෙනුවෙනි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතින් පමණක් නොව උසස් පෙළ ප්‍රතිඵල අතින්ද රත්නපුර සීවලිය ඉදිරියෙන් සිටියි. විවිධ විෂයධාරාවල උසස් පෙළ මුල් සිය දෙනා අතර වැඩි පිරිසක් මේ දරුවෝය.

රත්නපුර සීවලි මධ්‍ය විදුහල ඵලදායිතා ස්වර්ණ සම්මාන හිමි වූ පාසලකි. 2017 හා 2020 වසර ස්වර්ණ සම්මාන හිමි කර ගත්තේ මේ ගමන් මඟ නිසාය. 2018 වසරේ ජනාධිපති පරිසර සම්මානය හිමි විය. රත්නපුර සීවලි විදුහල් පරිසරය විශ්ව පරිසරයකි. මනස්කාන්ත වටපිටාවකින් හෙඹි පාසල් පරිසරය සිසු මනසේ විඩාව නිවන තෝතැන්නකි. දරුවන්ට විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් පමණක් නොව විනය, පිළිවෙළ මෙන්ම ගුණ ගරුක සිසුන් බිහි කිරීමට පාසල් පරිසරයෙන් කියා දෙන්නේ අමුතු පාඩමකි. විදුහල්පති නීල් ධම්මික වතුකාරවත්ත ඇතුළු ගුරුවරුන්, ආදි සිසුන්, පාසල් සංවර්ධන සමිති මෙන්ම දෙමවුපියන් ඒ වෙනුවෙන් කැපවී ඇත්තේ රටට වැඩදායක දරුවන් පිරිසක් දායාද කිරීම වෙනුවෙනි.



සම්බන්ධීකරණය:

ධර්මප්‍රිය ලියනාරච්චි 
සේයාරු - නිශ්ශංක විජේරත්න

Comments