ගී ලොව නිවී ගිය මල් වෙඩිල්ල -නිහාල් නෙල්සන් | සිළුමිණ

ගී ලොව නිවී ගිය මල් වෙඩිල්ල -නිහාල් නෙල්සන්

නිහාල් නෙල්සන් නමින් රටක් හඳුනන අපූරු ගායන ශිල්පියා මෙලොව එළිය දුටුවේ 1946 ජනවාරි 09 දාය. මොරටු පුරවරයේ වෙළෙඳ ව්‍යාපාරිකයක වූ ජී. ඩී. හෙන්ද්‍රික් සහ ඉංග්‍රීසි ගුරුවරියකු වූ හේමා වීරවර්ධන යුවළගේ එකම දරුවා වූයේ නිහාල් නෙල්සන්ය. රෝමානු කතෝලික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු ශිෂ්‍යත්ව විභාගය සමත් වී මොරටු විද්‍යාලයට ඇතුළත්ව සිය අධ්‍යාපනය නිම කළේ මොරටු විද්‍යාලයෙන් ගායන ලොවට බිහි වූ තරු ද්විත්වයෙන් එකක් වෙමිනි. ඒ අනෙක් තරුව වන්නේ දිවංගත පණ්ඩිත් අමරදේවයන්ය.

 

ඒ එකල ප්‍රකට ගුවන්විදුලි නිවේදකයකු වු කරුණාරත්න අබේසේකරයන්ගේ හඬින් 1963 මාර්තු 31 වැනිදා දහවල් 12.20ට. ‘කිසිදා බිමට නොවැටෙන මල් වෙඩිල්ල‘ ලෙසින් ගුවන්විදුලිය ඔස්සේ මුළු රටක් හඳුනාගත් නිහාල් නෙල්සන් ගැයූ අපූරු ගීතය මෙරට රසිකයන් බොහෝ ආදරයෙන් වැලඳ ගත්තේය.

“මට මේක හිතා ගන්නත් අමාරුයි. මම පහුවෙනිදා මුළු දවසම රේඩියෝව ළඟින් හෙල්ලුනේ නෑ. ගෙදර අයටත්, යාළුවෝ, නෑයින්ටත් කිවුවා. දිනය 1963 මාර්තු 31. වේලාව දහවල් 12.20යි. කරු අයියාගේ කට හඬ එදා හරිම ප්‍රාණවත්.”

සිය පළමු ගීතය ගුවන්විදුලියේ ප්‍රචාරය වූ අවස්ථාව ගැන නිහාල් ජීවත්ව සිටියදී පැවැසුවේ එලෙසිනි.

පන්සිල් ගෙන සිය දවස ඇරඹීමට පුරුදුව සිටි ඔහුට මත්පැන් හා දුම්වැටිය සතුරන් බඳු විය. පාලි, සංස්කෘත භාෂා මෙන්ම ලඝු ලේඛනයේ දක්ෂතා සපුරා ගත්තේ වැල්ලවත්ත පොලිටෙක්නික් විද්‍යාලයෙනි. පන්තිය, පාසල මෙන්ම ගමේ වේදිකාව කුඩා නෙල්සන්ට ගායනයේ තෝතැන්නක් විය. 1962 වසර ඔහු දිවියට වසන්තය ගෙන ආ වසරක් විය. ඒ සිංහල අලුත් අවුරුදු උලෙළක දී ඔහුගේ දස්කම් දුටු අයකුගේ උදවුවෙන් මොරටුව ලක්ෂපතියේ මංගල උත්සවයකට සහභාගී වීමට අවස්ථාව ලැබීමෙනි. එහිදී හඳුනාගත් ලංකාවේ දක්ෂතම ක්ලැරනට් වාදකයා වූ ඒ.ජේ. කරීම් මාස්ටර් නිහාල් නෙල්සන් නමැති මොරටු මැණික ඔපමට්ටම් කොට දිස්නයක් දී සංගීත ලොවට දායාද නොකළේ නම් අද අපට ලියන්නට මෙවන් කතාවක් ඉතිරිව නොතිබෙන්නට ද ඉඩ තිබිණි. ඔහුගේම පද වැලට ඔහුම යෙදූ තනුවකට ගැයූ ‘ලස්සනට’ පිපුණු වන මල් ගල්‘ ගීතය ඔහුට ජය මඟ හෙළි කළේ ය. ඒ මීට වසර 60 කටත් පෙරය. නමුදු මේ ගීය අද ද බෙහෙවින් ජනප්‍රිය ය. හෙළයේ මහා සිනමාකරුවන් වූ එඩී ජයමාන්න සහ රුක්මණී දේවිය වෙතින් එදා ඔහු ලද ආශීර්වාදය තම දිවියේ අමරණීයම සිහිවටනය බව ද ඔහු වරෙක පවසා තිබිණි.

කරීම් මාස්ටර්ගේ මඟ පෙන්වීමෙන් හඳුනාගත් රොක්සාමි, ඇන්ටනී සාමි, මුත්තුසාමි, මොහොමඩ් සාලි සහ ස්ටැන්ලි ඕමාර් යන පංච මහා සංගීතඥයන් හඳුනාගන්නට ලැබීම, දිවයිනේ විශාලතම සංගීත ප්‍රසංගය වූ කැන්ඩි ලේක් ක්ලබ් ප්‍රසංගයේ ගීතයක් ගයන්නට ලැබීම ඔහු දිවියේ අසිරිමත්ම සිදු වීම් විය. ඔහු දිවියට වාලම්පුරියක් බඳු වූ කරීම් මාස්ටර් නිහාල් නෙල්සන් නමැති මැණිකට තව තවත් දිස්නය දුන්නේය. මහා සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ හමුවීම මෙන්ම ප්‍රවීණ ගී රචක සරත් මුණසිංහයන් ලවා ‘ලස්සනට පිපුණු’ ගීතයේ පද මාලාව අලංකාර කොට කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේ දී පටිගත වූවේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ 1963 පෙබරවාරියේ මර්වින් රුද්‍රිගු මාස්ටර්ගේ ශබ්ද පරිපාලනයෙනි. ගුවන්විදුලිය ඔස්සේ දසත සිසාරා එය විසුරුවන්නට කරුණාරත්න අබේසේකරයන්ට සිත් පහළ වූවේ ද ඒ ගීතය ඇසිමෙනි.

මෙරට කැසට් ව්‍යාපාරය ඇරඹෙන්නේ 1979 වසරේ තරංගා ලේබලයෙනි. මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත කැසට් පටයකින් ඇරඹුණු එහි සමකාලීනයා වන්නේ ද නිහාල් නෙල්සන්ය. ‘ගුණෙ අයියගේ කාමරේ’ කැසට් පටයෙන් ඇරඹී මේ වන විට ඔහු නමින් කැසට් පට 113ක් ඉහළ ආදායමින් අලෙවි වී තිබීම ඔහුගේ ජනප්‍රියත්වයට සාධක සපයන්නකි. මිය යන තුරුම ප්‍රසංග වේදිකාවේ ආරම්භක ගීතය එයම කරගැනීමට තරම් නිහාල් නිහතමානී විය.

තම ගීතය ඔස්සේ සමාජයට හොඳ පණිවිඩයක් ගෙන ඒමට ඔහු නිරතුරුවම උත්සාහ කළේය. ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ‘ ගීතය එයට හොඳම උදාහරණයයි. එය අසා ගව මස් කෑම අත්හැරි පිරිස ද බොහෝය. ඔහුගේ ගී අතරින් සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි, සොමියට වරෙන් පුතා, පත්තරවල විස්තර ගොඩ.. බොහෝ සේ ජනප්‍රිය විය. ලුවී වැන්ඩ්‍රස්ටාටන් පෙම් කුරුල්ලෝ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පිවිසි ඔහු සක්විති සුවය, ලෝක හොරු, රෝදය, වල්මත්වූවෝ, රතු මකරා, දියමන්ති, සඳ වට තරු, වාලම්පුරි, සිකුරු යෝගය වැනි චිත්‍රපටවලට සිය හඬ මුසු කළේ ඩබ්.ඩී අමරදේව, ඩි.ආර්. පීරිස්, නවරත්න ගමගේ, ගුණදාස කපුගේ, ටෝනි වීරතුංග වැනි දක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේය.‍

ගී ලොවට ජනප්‍රිය, වටිනා ගනයේ ගී රැසක් දායාද කළ නිහාල් නෙල්සන් නමැති අසහාය ගායකයා, ගී පද රචකයා, තනු නිර්මාපකයා මියයන විට 76 වැනි වියේ පසු විය. සිය බිරිය වූ අලුත්ගේ ශ්‍රියාලතා 2020 ජුලි 01 සිය දිවි ගමන නිමා කළාය. ඔහු දිවියේ තනිකම මැකූ ආදරණීය මිනිබිරිය කයිලි අමේලියා මෙන්ම එකම පුතු තරංග නෙල්සන් සහ ලේළිය ගයනි කාංචනා සමඟ දිවි ගෙවූ නෙල්සන් ඉතුත් දා සිය දිවි ගමන නිමා කළේය.

ඔහුගේ අවසන් කටයුතු දෙසැම්බර් 16 දා සවස 6. 00 රාවතාවත්ත ලුනාව කළපු ක්‍රීඩාංගණයේදී ඔහුට ආදරය කළ සහෘද කලාකරුවන් රසිකයන්ගේ සෝ සුසුම් මැද සිදු කෙරිණි.

Comments