
අනියම් සබඳතා හේතුවෙන් සිදුවන මිනිස් ඝාතන රැසක් පිළිබඳව පසුගිය කාලයේ රටේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා විය. මේ කතාව එවැන්නකි. ඉකුත් නොවැම්බර් මස 24 වැනි දින ජා-ඇළ, ඒකල ප්‍රදේශයේ ආපණ ශාලාවක නිදා සිටි එහි අරක්කැමියකු පිහියකින් ගෙල කපා ඝාතනය කර තිබිණි. ජා-ඇළ පොලිසිය ඒ ගැන විමර්ශන ආරම්භ කරන්නේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවය. හැටන් ඇබෝට්ස්ලි වත්තේ පදිංචි තිදරු පියෙකු වන 55 හැවිරිදි කරුප්පන්නන් ශිවපාල මෙසේ ඝාතනය කැර තිබිණි.
පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ට ලැබුණු ඇමතුමක් මත ජාඇළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඝාතනය සිදු වූ ආපණ ශාලාව වෙත ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. ඝාතනයට ලක් වු තැනැත්තාගේ ගෙලේ කැපුම් තුවාල පොලිසියට නිරීක්ෂණය විය. ඔහු මිය ගොස් සිටියේ ලේ විලක් මැදය. මේ පුද්ගලයා බිරින්දෑවරුන් දෙදෙනකු සමඟ සබදතා පවත්වා ඇති අතර මෙයින් එක් කාන්තාවක් හැටන්, ඇබෝට්ස්ලිවත්තේ පදිංචිකාරියකි. සෙසු කාන්තාව මාතලේ, අලවතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය තොරතුරු හෙළි කර ගන්නේ පසුවය.
මේ පෙරුමාල් තිරිචෙල්වි නැමති හතළිස් හැවිරිදි කාන්තාව කුලී පදනම මත ලබාගත් මෙම ආපණ ශාලාව පවත් ගෙන ගොස් ඇති බව එහිදී හෙළි විය. ශිවපාල මේ ආපණ ශාලාවේ අරක්කැමියකු ලෙස සේවය කළේය. ඝාතනයට සැක පුද්ගලයා ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවකු ලෙස සේවය කරන අතර ඔහුගේ බිරිය මියගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. මේ ආපණ ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව සහ මෙම ඝාතනය සිදු කළ සැකකරු මුල් කාලයේ ජාඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ ආපණ ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වන්නේ පොලිසිය මේ ගැන සිදු කළ දීර්ඝ විමර්ශනයේදීය. සැකකරු සහ පෙරුමාල් තිරිචෙල්වි නැමති කාන්තාව වසර දෙකක පමණ කාලයක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් එම ආපණ ශාලාව පවත්වාගෙන ගොස් තිබේ. එහෙත් කිසියම් හේතුවක් නිසා එම ආපණ ශාලාව වැසීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුවකු ලෙස සේවය කර තිබේ.
අනතුරුව මෙම කාන්තාව ජාඇළ, ඒකල ප්‍රදේශයේ තවත් ආපණ ශාලාවක් කුලියට ගෙන එය පවත්වාගෙන ගියාය. එහි සේවයට පැමිණි ශිවපාල මෙම කාන්තාවට ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය සහයෝගය ලබාදීම හේතුවෙන් දෙදෙනා අතර ඇති වූ දැනහැඳුනුම්කම අනියම් ඇසුරක් දක්වා වර්ධනය වී ඇත. ඒ නිසා සැකකාර පොම්පකරු සහ එම ආපණ ශාලාවේ සේවය කළ ශිවපාල අතර බහින්බස් වීමක් සිදුවී තිබිණි. විවෘතව තිබුණු එම ආපණ ශාලාව මේ සිද්ධිය වූ දින පාරිභෝගික ජනතාවට ආහාර විකිණීමේ කටයුතුවල නිරතව පසුව රාත්‍රී කාලයේ වසා දමා තිබිණි. එහිදී ආපණ ශාලාව වැසීමට පෙර එම ස්ථානයට හොර රහසේ ඇතුළු වු සැකකාර පොම්පකරු එහි නාන කාමරයේ කොන්ක්‍රිට් ලෑල්ලක් අසල සැඟවී සිටියේය. පසුව එම ආපණ ශාලාව වැසීමෙන් අනතුරුව එය පවත්වාගෙන ගිය කාන්තාව සහ එහි සේවය කළ ශිවපාල පැදුරක් එළාගෙන නින්දට ගොස් ඇත. එහිදී සැකකරු ශිවපාලගේ ගෙල කපා ඔහු ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළි විය. අනතුරුව සැකකරු විසින් එම ආපණ ශාලාවේ තිබු බීම බෝතල් දෙකක් බෑගයක දමා එම ස්ථානයෙන් පිටව මතුගමට පලා ගොස් ඇත. පසුදින අලුයම ආපණ ශාලාව පවත්වාගෙන යන කාන්තාව ආපණ ශාලාව විවෘත කරන විට ශිවපාල ඝාතනය කර තිබුණු අයුරු දැක මේ පිළිබඳව ජාඇළ පොලිසියට දන්වා තිබේ. පසුව මෙම ස්ථානය අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙසට නම් කර කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. වී. කහටපිටිය ඇතුළු නිලධාරීන් පැමිණ මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
පසුව කොළඹ ඇඟිලි සලකුණු ඒකකයේ නිලධාරීන් පැමිණ මෙම ස්ථානයේ තිබු සැකකරුගේ ඇඟිලි සලකුණු සොයා ගැනීමේ විමර්ශන සිදු කරන ලදී. මේ සිද්ධිය සම්බන්ධව ජාඇළ පොලිස් නිලධාරීන් විසින් වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උදුවවිදාන වෙත කරුණු වාර්තා කර තිබිණි. ඒ අනුව වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උදුවවිදාන මෙම සිද්ධිය වු ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා මළසිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය. රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමන් ගම්මන්පිල මේ සිද්ධිය වු ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ශිවපාලගේ මෘත දේහය රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට නියෝග කරන ලදි. එහිදී රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම සිරුර සම්බන්ධව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල කැපී සිදු වූ තුවාල හේතුවෙන් ශිවපාලගේ මරණය සිදු වී ඇති බවට නිගමනය කළේය.
පසුව මෙම ඝාතනය සිදු වූ ස්ථානයට නිට්ටඹුව පොලිස් නිල සුනඛ ඒකකයේ 'ක්ෂේබ්' නිල සුනඛයා ගෙන්වීමෙන් අනතුරුව එහිදී සැකකරුගේ හිස් වැසුමක් නිල සුනඛයාට ඉව කිරීමට සලස්වා ඇති අතර එහිදී එම නිල සුනඛයා සැකකරු පලා ගිය බවට සැක කරන ප්‍රදේශය දෙසට මීටර් 300ක් පමණ ගොස් නතර වී තිබේ. පසුව මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රදේශයේ පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පොලිසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මීට අමතරව ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර මෙම ඝාතනය සිදු කළ සැකකරු සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. පසුව සැකකරු මතුගම ප්‍රදේශයේ මාර්ගයක් අසල සිටියදී පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි.
මේ ඝාතනයට සම්බන්ධව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු මෙම ආපණ ශාලාව වැසීමට පෙර එයට ඇතුළු වී එහි නාන කාමරයේ කොන්ක්‍රිට් ලෑල්ලක් අසල සැඟවී සිට ඇති බවත් එදින රාත්‍රියේ ආපණ ශාලාව වැසීමෙන් අනතුරුව එම ආපණ ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව සහ අරක්කැමියා පැදුරක් එළා එහි අඹුසැමියන් ලෙස හැසිරෙමින් සිටියදී මෙම ඝාතනය සිදු කළ බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් ප්‍රකාශ ලබාදී තිබේ.
ශිවපාල මෙම ආපණ ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව සමඟ පවත්වාගෙන ගිය අනියම් ඇසුරට සැකකරු එරෙහි වීම නිසා මෙම ඝාතනය සිදු කළ බවට සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. පොලිසිය විසින් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ඝාතනයට යොදා ගත් පිහිය සොයා ගැනීමට එම පොලිසියේ විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. මේ ඝාතනයට සම්බන්ධ මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි සැකකාර ඉන්ධන පිරවුම්හල් පොම්පකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කර තිබේ.
ජාඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.පී.ඩි. රත්නායකගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්න ඇතුළු පොලිස් නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.