කුලරත්න පවුල වනසන්න ආ ආරියා | සිළුමිණ

කුලරත්න පවුල වනසන්න ආ ආරියා

- වෛද්‍ය කුලරත්නගේ සහායට ආ ආරියවතී ඔහු සමඟ අනියම් සබඳතාවක
- අනියම් පෙමට නැන්දම්මාත් සහාය දීලා
- සැමියාගේ අනියම් පෙම නිසා පද්මිණී හැඬූ කඳුළෙන්

මෙරට 1505 දී පෘතුගීසීන්ගේ ග්‍රහණයට නතු විය. ඔවුන් පළමුව සේන්දු වූ ගාලු නගරය ආශ්‍රිතව කොටු පවුරක් නිර්මාණය කළ බවට අදට ද සාක්ෂි ඇත. පසුව පැමිණි ලන්දේසීන් ද ඊට නොදෙවැනි අයුරින් ඊට නව අංගයන් එක්කරමින් එයම නවීකරණය කළේය. 

නිදහසෙන් පසු එය වාස භූමිය කරගත්තේ මෙරට ධනවත් යැයි සම්මත පිරිසකි. එවකට ගාලු පුරවරයේ සුප්‍රකට වෛද්‍යවරයකු වූ කුලරත්න ද ගාලු කොටුව ඇසුරේ ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉදිවුණු දෙමහල් නිවසක හිමිකරුවකු විය. රමණීය මුහුදු තීරයට මුහුණලා ඉදිවුණු එය ‘සමූද්‍රසිරි‘ ලෙසින් හැඳින්විණි.  බිරිය ලෝරා සහ තම එකම පුතු ඩේමන් ගාමිණී ද සිල්වා කුලරත්න සමඟ සැපවත් දිවියක් ගත කරමින් මේ පවුල එහි වාසය කළෝය. පසු කලෙක ඩේමන් පුතු ද තම පියා මෙන්ම දක්ෂ වෛද්‍යවරයකු බවට පත්විය.

අනුරාධපුර, කැකිරාව වැනි දුෂ්කර ප්‍රදේශවල සේවයෙන් පසු තම ගම් පළාත වූ ගාල්ලට පැමිණි ඔහු සමාජ සේවකයකු ලෙස ද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. පියාගේ අැවෑමෙන් පසු සමූද්‍රසිරි නිවසේ හිමිකරුවා වූ ඔහු සිය මව ලෝරා කුලරත්න සමඟින් එහි වාසය කළේය. කාර්යබහුල චරිතයක් වුණු වෛද්‍ය කුලරත්නට සහකාරියක් සෙවීමේ වගකීම පැවරුණේ ද මව වූ ලෝරාටයි.

1947 සැප්තැම්බර් 28 වැනිදා කළුතර පළාතේ ධනවත් පවුලක් වූ සී. ඊ. පෙරේරා පවුලේ බාලම දියණිය වූ පද්මිණී සුසිලා පෙරේරා වෛද්‍ය කුලරත්නගේ බිරිය වන්නේ ද යෝජිත විවාහයකිනි. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ කොළඹ බෞද්ධ කාන්තා විදුහලෙන් අධ්‍යාපනය ලද ඇය උගත් රූමත්, පළාතේ ධනවත් යැයි ප්‍රචලිත පවුලක තරුණියක් වීම මෙම විවාහයට මූලික සුදුසුකම් ලෙස හැඳින්විය හැකිය. මුදලින් රුපියල් 25,000ක්, කළුතරින් නිවාස 2ක්, ඇහැළියගොඩින් රබර් අක්කර 50ක් මෙන්ම ඇඹිලිපිටියෙන් මැණික් ඉඩමක් ද දායාද ලෙස ගෙන සමූද්‍රසිරියට පැමිණි පද්මිණී, වෛද්‍ය කුලරත්න සමඟින් සතුටින් වාසය කළාය. වෛද්‍ය කුලරත්නගේ මව ලෝරා ද ඇයට ආදරණීය වීම නිසා කිසිම ගැටලුවකට හේතුවක් ද නොවීය. මෙසේ සතුටෙන්, සමගියෙන් ගෙවුණු ඔවුන්ගේ දිවියට තවත් මිහිරක් එක්කළේ ඔවුන්ගේ කුළුඳුල් පුතු බිහිවීමත් සමඟිනි. 1948 වසරේ දී පශ්චාත් උපාධිය සඳහා වෛද්‍ය කුලරත්න විදෙස්ගත වීම හේතුවෙන් තම සිඟිති පුතු ද සමඟින් ඔහු නැවත පැමිණෙන තුරු මව්පියන් වෙත යෑමට පද්මිණී තීරණය කළේ තම ආදරණීය සැමියා නැති පාළුව මකා ගනු පිණිසය. ඇය  නැවතත් සමූද්‍රසිරියට පැමිණියේ වසර 2කට පසුවය. ඒ වෛද්‍ය කුලරත්න නැවතත් ලංකාවට පැමිණීමත් සමඟිනි. එතෙක් නිහඬව තිබූ සමූද්‍රසිරියට නැවතත් වසන්තය කැන්දමින් සතුට එබිකම් කළේ තවත් සාමාජිකයන් තිදෙනෙක් ඔවුන්ගේ පවුලට එක්කරමිනි. වෛද්‍ය කුලරත්නගේ මව ලෝරා හැරුණු විට එම නිවෙසේ ඔවුන්ගේ සහායට සොපියා, සිසිලින් සහ බණ්ඩා නමින් මෙහෙකරුවන් තිදෙනෙකු සහ රොමියෙල් නම් රියදුරෙකු ද විය. තම ස්වාමියාට මෙන්ම ස්වාමි දුවටද විශ්වාසවන්තව කටයුතු කළ රොමියෙල් සැබැවින්ම මෙම පවුලට හිතෛෂී පුද්ගලයකු විය.

කිසිම ගැටලුවක් නොමැතිව කාලය ද විදුලි වේගයෙන් ගෙවී ගියේය. ඒ  1947 අගභාගයයි. ඒ වන විට වෛද්‍ය කුලරත්න රජයේ සේවයෙන් ඉවත් වී තම නිවෙස අසල පෞද්ගලික ඩිස්පෙන්සරියක් ආරම්භ කළේය. තමා සේවය කළ සෑම පළාතකම වෛද්‍ය කුලරත්න බෙහෙවින් ජනප්‍රිය වෛද්‍යවරයකු බවට ප්‍රසිද්ධව සිටියේය. තම පළාත තුළ ද බෙහෙවින් ජනප්‍රියව සිටි ඔහුට වැඩි කල් යන්නට මත්තෙන් තනිව සේවය සැපයිය නොහැකි තරම් රෝගීන් පිරිසක් පැමිණෙන්නට විය. තනිව සේවය සැපයීමට නොහැකි තරමට රෝගීන් වැඩි වද්දී සහායකයකුගේ අවශ්‍යතාව ඔහුට තදින්ම දැනුණ ද ඒ සඳහා අත් උදව්වට හෝ කිසිවකු නොවීය. පුවත්පතක් මාර්ගයෙන් යොමු කළ දැන්වීමකට අනුව ආරියවතී නම් සුරූපී කාන්තාව තම සහායට බඳවා ගන්නේ එවැනි වාතාවරණයකය. සිදු වූ ඛේදවාචකයන් සියල්ලටම වස්තු බීජයද එයම විය. බිරිය පද්මිණීගේ අනුමැතිය ඒ සඳහා නොලැබුණේ ද අනාගත උවදුරක සේයාව ඇය කල් තියා දුටු නිසා විය හැකිය.

කාලය කෙමෙන් ගතව ගියේ කිසිම හැලහොල්මනක් නොමැතිවය. හිටි හැටියේම පද්මිණීගේ සිතුවිල්ල සැබෑවක් වෙමින් වෛද්‍ය කුලරත්න සහ ආරියවතී අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනැඟෙමින් තිබුණේ ගින්දර සහ පුලුන් එක ළඟ තැබීම ගින්නකට ආරාධනාවක් බව ලොවට ඒත්තු ගන්වමිනි. ආරියවතී ‘ආරියා‘ ලෙසින් කෙටි ආදරණීය ඇමතුමක් ලෙස වෛද්‍ය කුලරත්නගේ මුවින් පිටවද්දී ඔවුන්ගේ ඇසුර ද ඊට නොදෙවැනි අයුරින් තව තවත් සමීප විය. එක්තරා දිනක දෙදෙනා එසේ සමීපව සිටින දසුනක් නෙත ගැටුණු පද්මිණීගේ කෝපය ඉහවහා ගොස් ආරියවතීට බැණ වැදීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරිණි. එතැන් සිට දෙන්න දෙමාල්ලන් අතර ගැටුම් ඇතිවන්නට විය.  

කනගාටුදායක කරුණ නම් පුතුගේ මේ නොහොබිනා ක්‍රියාවට මව වූ ලෝරා ද නොදැක්කා සේ සිට නිහඬව අනුබල දීමයි. නැන්දම්මා ලේළියගේ පුරාතන සටන ‘සමූද්‍රසිරිය‘ වෙළා ගනිද්දී ලෝරා තම පුතුගේ අනියම් ඇසුරට උල්පන්දම් දුන්නේ ආරියවතීට සහාය පළ කරමිනි. එදින ඇය තම පුතුට එය වරදක් බව පහදා දී ඉන් මුදා ගැනීමට උත්සාහ කළේ නම් සිදුවූ මේ ඛේදවාචකය කිසිසේත්ම සිදු නොවන්නට ඉඩ තිබිණි. එදා සිදු නොවූවේ ද එයමය. මෙතෙක් ආදරයෙන් පිරි තිබූ තම ස්වාමියාගේ සුන්දර කැදැල්ල විනාශයෙන් මුදවා ගැනීමේ අරමුණින් මේ ලස්සන කැදැල්ල විනාශ නොකර යන්නැයි කියා ආරියවතීට බැණ වැදුණු රොමියෙල්ට සිදු වූයේ ද තම රැකියාවට සමු දෙන්නටය. ‘ආරියා‘ට වහවැටී සිටි වෛද්‍යවරයාට එදා තමාට මෙතෙක් හිතෛෂීව කටයුතු කළ රොමියෙල් පෙනුණේ ද තරහකාරයකුගේ රුවිනි.

(පද්මිණී කුලරත්න ඝාතනය හෙළිවුණු ආකාරය ලබන සතියේ...)

සකස් කළේ‍ - නාමලී ගමගේ

Comments