‘එක් පෘථි­වි­යක්, එක් පවු­ලක්, එක් අනා­ග­ත­යක් යන සිහි­නය සැබෑ කර ගනිමු’ | සිළුමිණ

‘එක් පෘථි­වි­යක්, එක් පවු­ලක්, එක් අනා­ග­ත­යක් යන සිහි­නය සැබෑ කර ගනිමු’

G 20 සමුළුව යනු ලෝකයේ පැවැත්මට බෙහෙවින් බලපෑම් කළ හැකි රටවල් 19ක සහ යුරෝපා සංගමයේ එකතුවෙන් වසරකට වරක් පැවැත්වෙන ප්‍රබල සමුළුවකි. මෙහි සාමාජික රටවල් වන්නේ ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, දකුණු කොරියාව, රුසියාව, සවුදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි. මේ රටවල් දෙස බැලූ විට පෙනී යන්නේ ලෝකයේ බලවත්ම රටවල් සියල්ලම පාහේ මේ කණ්ඩායමට අයත් වන බවයි. එබැවින් G 20 සමුළුව යනු ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය කිරීමට බලපාන තීරණු ගනු ලබන සමුළුවක් වශයෙන් සරලව හඳුනා ගැනීමේ වැරැද්දක් නැත.

 

පසුගිය නොවැම්බර් 15 – 16 යන දෙදින තුළ ඉන්දුනීසියාවේ දී 2022 වසරේ G 20 සමුළු වාරය පැවැත්වුණ අතර එයින් පසු 2023 වසර සඳහා G 20 සමුළුවේ සභාපතීත්වය ඉන්දියාවට හිමි විය.

මෙලෙස සමුළු සභාපතීත්වය හිමිවීම සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුවපත් වීමේ, සුසංයෝගයේ සහ අපේක්ෂාවේ සභාපතීත්වයක් කිරීමට එක්වන ලෙස සෙසු සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

ඉදිරි වසරේ සභාපතීත්වයට අදාළ කතාව පවත්වමින් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ පෙර වසරවල සාර්ථකත්වය අගය කරන අතරම, එම ජයග්‍රහණයන්ගේ ප්‍රතිලාභ අත්විඳින අතරම එම ජයග්‍රහණ තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය යනුවෙනි.

එමෙන්ම මිනිස් වර්ගයා අතර මෙතෙක් කලක් පැවති තරගය හේතුවෙන් සෑම විටම එක් පාර්ශ්වයකට ජයග්‍රහණයත් අනෙක් පාර්ශ්වයට පරාජයත් උරුම වූ බව අවධාරණය කර සිටි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පවසා සිටියේ මෙතැන් සිට හෝ එම සංස්කෘතිය වෙනස් කර මිනිස් වර්ගයා අතර තරගය නතර කර දැමීමට කටයුතු කළ යුතු බවයි.

ඉන්දියාව G20 සමුළුවේ සභාපතීත්වය දරන අවස්ථාවේදී සමුළුවේ තේමාව වන්නේ එක් පෘථිවියක්, ඒක පවුලක්, එක අනාගතයක් යන්න සිහිපත් කර දුන් අගමැතිවරයා මෙය හුදු තේමා පාඨයක් පමණක් ලෙස තවදුරටත් නොසැලකිය යුතු බවද අවධාරණය කර සිටියේය. වර්තමානයේදී ලොව සියලු දෙනාගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදන කිරීමේ ක්‍රම සහ විධි අප සතුය. වර්තමානයේදී අපට අපගේ පැවැත්ම සඳහා සටන් කළ යුතු නැත. අපගේ යුගය යුද්ධයේ යුගයක් විය යුතු නැත. සැබවින්ම එය එසේ විය යුතු නැත.

අද අප මුහුණ දෙන දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය සහ වසංගත වැනි විශාලතම අභියෝග ජයගත හැකිවන්නේ එකිනෙකා සමඟ සටන් කිරීමෙන් නොව එකට එක්ව කටයුතු කිරීමෙන් පමණි. වාසනාවකට අද තාක්ෂණය ද මනුෂ්‍ය වර්ගයාට බලපාන ගැටලු සඳහා පුළුල් විසඳුම් සොයා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

මිනිස් වර්ගයාගෙන් හයෙන් එකකට නිවහන වන ඉන්දියාව එහි භාෂා, ආගම්, සම්ප්‍රදායන් සහ විශ්වාස යනාදියේ විසල් විවිධත්වය සමඟින් ක්ෂුද්‍ර ලෝකයක් වේ.

දැනට දන්නා පරිදි සාමූහික තීරණ ගැනීමේ පැරණිතම සම්ප්‍රදායන් සමඟින් ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදියේ මූලික DNA සඳහා දායකත්වය ලබා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මව වශයෙන් ඉන්දියාවේ ජාතික එකඟත්වය සකස් වී ඇත්තේ නියෝගයකින් නොව මිලියන ගණනක් වන නිදහස් හඬවල් එක් වී එක් තනුවකට මුසු කිරීමෙනි.

අද ඉන්දියාව වේගයෙන්ම වර්ධනය වන විශාලතම ආර්ථිකයයි. අපගේ ජාතික සංවර්ධනය ඉහළ සිට පහළට දිවෙන පාලනයක ව්‍යායාමයක් නොව පුරවැසියන් විසින් මෙහෙය වෙන ජනතා ව්‍යාපාරයක් බවට පත් කිරීමට අප උත්සාහ දරා ඇත.

අපගේ G 20 සභාපති ධුර කාලය අතරතුර ඉන්දියාව තම අත්දැකීම්, උගත් දෑ සහ මොඩලයන් විශේෂයෙන්ම සංවර්ධනය වන ලෝකයට සහ අනෙකුත් රටවලට භාවිත කළ හැකි ආකෘතීන් ලෙස ඉදිරිපත් කරනු ඇත.

අපගේ G 20 ප්‍රමුඛතාවන් G 20 සාමාජික රටවල් සමඟ පමණක් නොව බොහෝ විට අවධානයට ලක් නොවන දියුණු වෙමින් පවතින රටවලද අදහස් සැලකිල්ලට ගැනෙමින් හැඩ ගැස්වෙනු ඇත.

අපගේ ප්‍රමුඛතා අපගේ ‘එක් අනාගතයකට’ අපේක්ෂාවන් ලබා දෙමින් අපගේ ‘එක් පවුල’ තුළ මනා සුසංයෝගයක් නිර්මාණය කරමින් අපගේ ‘එක් පෘථීවිය’ සුවපත් කිරීමේ ලා අවධානය යොමු කරනු ඇත. යනුවෙන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා තම දේශනයේදී අවධාරණය කර සිටියේය.

 

Comments