ප්‍රේමදාසගේ මාරයා අල්ලන්න ‘ෂැගී’ දුන් ඔත්තුව | සිළුමිණ

ප්‍රේමදාසගේ මාරයා අල්ලන්න ‘ෂැගී’ දුන් ඔත්තුව

 

පොලිස් නිල සුනඛයින් පොලිස් දෙපාර්තමේන්තුවට සම්පතකි. නිල සුනඛයන් පුහුණුව සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක් වියදම් කරන්නේ ඒ නිසාය. මත්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණය සඳහා පොලිස් නිල සුනඛයන්ගෙන් සිදුවන සේවය ඉතා විශාලය. කාලයේ වැලිතලාවෙන් වැසී යාමට තිබු අපරාධ රැසක් පොලිස් නිල සුනඛයන් නිසා අනාවරණය වූ අවස්ථා ගණනාවක් පොලිස් පොතේ ලියැවී ඇත. මේ එවැනි කතාවකි. වාර්තා වූයේ බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් දිවුලපැලැස්ස පොලිස් වසමෙනි.

දිවුලපැලැස්ස බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවලින් බදුල්ලේ සිට ඈතින්ම පිහිටා තිබෙන පොලිස් ස්ථානයකි. දිවුලපැලැස්ස දුෂ්කර ප්‍රදේශයක් යැයි පැවසුවොත් එය වැරදි නැත. එම ප්‍රදේශයේ ජනතාව වැඩිපුර ජීවිකාව ගෙන යන්නේ ගොවිතැන් බතෙනි. කුලියක්-මලියක් කරගෙන කීයක් හරි සොයාගෙන ජීවිකාව ගෙන යන අයද එහි විරල නැත. ඒ පසුගිය 04 වැනිදාය. දිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍රදේශයට ගවයින් රැගෙන ඒමට ගිය පුද්ගලයකු ආගිය අතක් නැති විය. ඔහු සෙවුවද තොරතුරක් නැති තැන ඔහුගේ බිරිය ඒ ගැන දිවුලපැලැස්ස පොලිසියට පැමිණිලි කළාය.

මෙසේ සිය ගවයින් රැගෙන ඒමට වැව්පිටිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ආගිය අතක් නැතිව සිටියේ ජී.එම්.පී. ප්‍රේමදාස නමැති පුද්ගලයෙකි. ඔහුගේ වයස අවුරුදු 44කි. ප්‍රේමදාස පදිංචිව සිටියේ අළුයටවෙල, හෙබරව අංක 13/159 නිවෙසේය.

ප්‍රේමදාස ආගිය අතක් නැති බවට පොලිසියට පැමිණිලි කළේ ඔහුගේ බිරියගේ ප්‍රකාශය සටහන් කර ගත් පොලිස් නිලධාරීන් ඊළඟට කළේ ප්‍රේමදාසට සිදු වුයේ කුමක්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කිරීමය. ඒ අනුව බදුල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත පස්සර සහකාර පොලිස් අධිකාරී දිලිප් සිල්වාගේ අධීක්ෂණයෙන් විමර්ශන ආරම්භ කැරෙන්නේ දිවුල්පැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩී. දේවප්‍රිය ඇතුළු කණ්ඩායමක් විසිනි.

ආගිය අතක් නැතිව සිටින ප්‍රේමදාස සොයා ගැනීම සඳහා පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුමක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. පොලිසිය ගම්වැසියන්ද සමඟ ප්‍රේමදාස සොයද්දී ඔහුගේ මෘත ශරීරය හමු වන්නේ 05 වැනිදාය. ඒ අලුයටවෙල මහවැලි ගම්මානයේ ප්‍රේමදාස පදිංචි නිවෙසට මීටර 800 ක් පමණ ඈතින් පිහිටි දික්පිටිය උඩවැව කොටසේ වන රොදක තිබියදීය.

දිවුලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩී.දේවාප්‍රිය මේ ගැන පස්සර සහකාර පොලිස් අධිකාරී දිලිප් සිල්වා බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.

දෙහිඅත්තකණ්ඩිය අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන් සහ හසලක පොලිස් නිල සුනඛ ඒකකයේ නිලධාරීන්ද ඉන් අනතුරුව එහි පැමිණෙන්නේ වැඩිදුර විමර්ශන සඳහාය. මේ අතර දිවුලපැලැස්ස පොලිසිය මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය.

ප්‍රේමදාසගේ සිරුර නිරීක්ෂණය කරද්දී එය මිනිස් ඝාතනයක් බව පොලිස් නිලධාරීන්ට එත්තු ගොස් තිබිණි. ඒ අනුව වැඩිදුර විමර්ශන ආරම්භ කැරිණි.

ප්‍රේමදාස ඝාතනය කළ බවට සැක කරන ස්ථානයේ තිබී එම ඝාතනය සඳහා උපයෝගී කරගත් බවට සැක කරන ගලක් සහ මුගුරක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

හසලක පොලිස් නිල සුනඛ අංශයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න විසින් මෙහෙයවන 'ෂැගී' නමැති නිල සුනඛයා ප්‍රේමදාස ඝාතනයේ සැකකරු අල්ලා ගැනීමට යොදා ගන්නේ ඉන් අනතුරුවය.

ප්‍රේමදාස ඝාතනය කළ ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලද මුගුර 'ෂැගී'ට ඉව කරන්නට දෙන්නේ ඉන් අනතුරුවය. ඒ ඝාතකයා ගැන හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය.

අදාළ මුගුර ඉව කරන නිල සුනඛ 'ෂැගී' ප්‍රේමදාස ඝාතනය කෙරුණු ස්ථානයේ සිට නිවාස කිහිපයක් පසු කරගෙන ගොස් ඒ අසල නිවෙසක පිහිටි ළිඳක් අසල සෝදා තිබුණු රෙදි ගොඩකට ඉව ඇල්ලීය. ඒ අනුව ප්‍රේමදාස ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වූයේ එම නිවෙසේ සිටි 46 හැවිරිදි පුද්ගලයාය. සුවිශේෂී සිදුවීම වූයේ එම පුද්ගලයා ප්‍රේමදාසගේ වැඩිමල් සහෝදරයා වීමය.

ප්‍රේමදාස සහ ඔහුගේ අයියා අතර කලක සිට පැවැති ආරවුලක් මේ ඝාතනයට මුල් වී ඇති බව හෙළිවන්නේ ඉන් පසුව පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය. සහෝදරයන් දෙදෙනා අතර මේ ආරවුල ඇති වී තිබුණේ කුඹුරක අයිතිය වෙනුවෙනි.

ප්‍රේමදාසගේ මෘත ශරීරය මහියංගනය රෝහලට ගෙන යන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහාය. ප්‍රේමදාසට පහරදී ඝාතනය කරන්නට ඇති බවට සැක කැරේ. මහියංගනය වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී රඹකැන්පුර සිය පරීක්ෂණය සිදු කළේය.

මේ ඝාතනයේ සැකකරු මෙතරම් ඉක්මනින් අනාවරණය කරගැනීමට හැකි වූයේ අපරාධ පරීක්ෂණ නිල සුනඛ 1466 ෂැගීගේ හපන්කම් නිසාය. සිවු හැවිරිදි මෙරට ජර්මන් ෂෙපඩ් වර්ගයේ සුනඛයෙක් වන ෂැගී මීට වසර දෙකහමාරකට පමණ පෙරදී පොලිස් දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර තිබුණේ පාදුක්කේ කාන්තාවක විසිනි.

හසලක ඇතුළු බදුල්ල කොට්ඨාසයේ පමණක් නොව අවට පොලිස් වසම් 12ක් පුරා අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා එක්වන ෂැගී සුනඛයාගේ හපන්කම් පොලිස් දෙපාර්තමේන්තුවේම අභිමානය පිළිබිඹු කරවන අවස්ථා එමට ඇති බව ෂැගී මෙහෙයවන කොස්තාපල් සෙනෙවිරත්න අපට කීවේය.

දිවුලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩී. දේවප්‍රිය ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

Comments