
පෝරුවේ දකින්න හිටපු බෑනා පොලිස් කූඩුවේදී දුටු නැන්දම්මා මඟුලත් කපෝති කරලා
මෙලොවට දරුවෙකු බිහි කරන සෑම මවකගේ සහ පියකුගේ ඒකායන පැතුම තම දුව, පුතා ඇසක් මෙන් රැකගෙන නිසි අධ්‍යාපනයක් ලබා දී සුදුසු වයසේ දී අවාහ, විවාහ කරදී දරුමල්ලන් දැක ඒ දෙස බලා වියපත් වියේ දී සැනසුම් සුසුම් හෙළීමය. එවන් පැතුමක් ඉටු කරන්නට වෙර දැරූ මවකගේ සිහිනය ඇස් පනාපිටම බොඳව ගිය පුවතකි මේ.
සිද්ධිය වාර්තා වන්නේ වයඹ පළාතේ පොල්පිතිගම පොලිස් ස්ථානයෙනි.
ඇය නව යොවුන් වියේ පසුවූ යුවතියකි. පදිංචිය පුත්තලම දිසාවේය. මේ යුවතිය එළඹෙන වසරේ ජනවාරි මාසයේ විවාහ වීමට බලාපොරොත්තු වූවාය. ඒ සඳහා දිනයක්ද යොදාගෙන තිබිණි. මනාලිය පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිකාරිනියකි. ඇගේ අත ගැනීමට බලාපොරොත්තු වූ මනමාලයා කුරුණෑගල දිසාවේ පදිංචිකරුවෙකි. මඟුල ජයටම ගන්නට දෙපාර්ශ්වය ම තීරණය කළහ. අනුරාධපුර 'ජුවලරියක්' වෙත ගිය නව යුවළ මනාලයාගේ මංගල මුද්ද හදන්නට මිම්ම දුන්නේය. අවශ්‍ය මංගල මුදු හැඩය මනාලයා තේරුවේය. මනාලියට අවැසි රන් මාලය, තැල්ල, කරාබු ආදි නානා වර්ගයේ රත්තරන් බඩු ද මේ රන් බඩු සාප්පුවේදී තෝරා ගැනීමට නව යුවළ ඒ සඳහා ගෙවිය යුතු අත්තිකාරමක්ද ඇය ගෙව්වාය. පසු දිනක දෙදෙනාම ගොස් ආභරණ රැගෙන නිවෙසට පැමිණියහ. බෑනාගේ මංගල මුද්ද දුටු නැන්දම්මාද ඉමහත් සතුටට පත් වූවාය. තම දියණිය පෝරුවේ තබා චාරිත්‍රානුකූලව දියණිය බෑනාට සරණ පාවා දීමට තවත් දින කීපයක් ඇත්දැයි නැන්දම්මා ඇඟිලි ගැන්නාය.
ඒ අතරේ දිනයක මව සහ දියණිය නිවසින් පිටතට ගොස් ආපසු එන ගමනේ දී නිවස හොරු බිඳ තිබිණි. අල්මාරියේ තිබු රුපියල් ලක්ෂ අටක පමණ රන් භාණ්ඩ සොරා ගෙන තිබිණි.
නැන්දම්මා හැඩූ කඳුළින් යුතුව සිදු වූ මේ අබැද්දිය අනාගත බෑනාටද කීවාය. සිද්ධිය දැනගත් බෑනා වහා එම නිවස කරා ගියේය.
“කවුද මේ ගැන සැක කරන්නේ... මොනවා වුණත් කමක් නෑ... අපි මේ ගැන පොලිසියට කියමු. මම දන්න දේවාලයකුයි සාත්තර අහන තැනකුයි තියෙනවා... අපි ඒ තැන් දෙකටම යමු“ යැයි බෑනා කීවේය.
ඊට අවනත වූ නැන්දම්මා පසුදාම පොලිසියට ගියාය. පෙම් යුවළ දේවාලයට ගියහ. පැමිණිල්ලට අනුව පොලිසිය පැමිණියේය. විශේෂ අපරාධ හඳුනා ගැනීමේ නිලධාරින්ද පැමිණ ලක්ෂ අටක සොරා ගත් රන් භාණ්ඩ ගැන පරීක්ෂණ ඇරඹීය. දේවාලයේ කපුවාද වැඩි කල් යන්නට මත්තෙන් සොරු අල්ලා දෙන්නට පොෙරාන්දු විය. තම නිවසේ රැඳී සිටින 'අනාගත බෑනා' එහි සිට නැන්දම්මාගෙන් විමසුවේ සොරුන් ගැන හෝඩුවාවක් නැද්ද යන්නය. ඒ අතර ඔහු පොලිසියට සහ දේවාලයටද දෙස් දෙවොල් තිබ්බේය.
මේ අතර පොල්පිතිගම පොලිස් වසමේ දිගින් දිගටම ගෙවල් බිඳුම්වලට සම්බන්ධ සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොල්පිතිගම පොලිසියේ නිලධාරින්ට හැකි වූයේ පසුගිය දිනෙකය.
ඉන් එක් අයකු සන්තකයේ හෙරොයින් මිලි ග්‍රෑම් 4200ක්ද තිබිණි. තවත් අයෙක් හිටපු සෙබළෙකි. තිදෙනාගෙන් අනෙක් පුද්ගලයා මැල්සිරිපුර පොලිස් වසමේය. අනෙක් දෙදෙනා පන්සියගම පොලිස් වසමේ පදිංකරුවෝය.
අත්අඩංගුවට ගැනුණු මේ සැකකරුවන්ගෙන් ගෙවල් බිඳුම් 14 ක තොරතුරු හෙළි විය. සොරා ගත් දේපොළවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකය. සොරා ගත් රන් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් සන්තකයේ තිබිණි. අනෙක් ඒවා විවිධ ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට උකස්කර මුදල් ලබාගෙන තිබේ. එහෙත් සොරා ගත් මුදල් සහ රන් භාණ්ඩවලින් කොටසක් උකස් කර ගත් මුදල් ඔවුන් මත් කුඩු පානය සඳහා වියදම් කර තිබිණි. මේ අතර තම දියණිය විවාහ වීමට සිටින බෑනා කිසියම් වරදකට පොලිස් අත්අඩංගුවේ පසු වන බව නැන්දම්මාට දැන ගැනීමට ලැබිණි. බෑනාගෙන් විමසද්දී දැනගත හැකි වූයේ ඔහු නොකළ වරදකට අත්අඩංගුවට ගෙන ඇති බවය. නොකළ වරදකට බෑනා පොලිස් කූඩුවේ ඉන්නා පුවත දැනගත් නැන්දම්මා පුත්තලමේ සිට පොලිසියට ආවේ එහි විස්තර සොයා බැලීමටය.
ඒ අතරේ පොලිස් භාරයේ ඇති සොරා ගත් රන් භාණ්ඩ පිරිසක් පරීක්ෂා කර බලමින් සිටියදී තම දියණිය බෑනාට හැදු මංගල මුද්දද එහි තිබෙනා බවට ඇය හඳුනා ගත්තාය.
“මේක මගේ බෑනාට හැදු මුද්ද“ යැයි ඇය පොලිස් නිලධරයකුට කීවාය.
ඒ අනුව තවත් රන් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ඒවාත් තමාගේ දියණිය භාරයේ තිබූ ඒවා බවට ඇය හඳුනා ගත්තාය. පුත්තලමට ගොස් ඒවා සොරා ගත් සොර කල්ලියේ බෑනා සිටින බව වටහා ගන්නට නැන්දම්මාට වැඩි වේලාවක් ගියේ නැත.
“සිදු වෙන්නට ගිය මහා විපැත්තියක් පොලිසියට පින්සිදු වෙන්නට වැළකුණා. මේ මඟුලත් කපෝතියි“ කියු නැන්දම්මා බෑනාට දෙස් දෙවොල් තබමින් පොලිසියෙන් නික්මුණාය.
සැකකාර බෑනාගේ නිවසේ තිබී රන් අලේපිත රත්‍රං ගුලි තිබී සොයා ගත් බවත්, ඔහු ගිනිඅවි භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ඔස්සේ ද විමර්ශනයන් සිදුකරන බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මේ අය පුත්තලමට පවා ගොස් අපරාධ සිදුකර ඇති බව හෙළි විය.
වයඹ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්තගේ උපදෙස් මත නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන, මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.කේ. කුලතුංගගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තෙන්නකෝන් සැරයන්වරුන් වන හේරත් (17688), අශෝක (26938), අනුර (33693), ඒකනායක (36675), සෙනවිරත්න (58545), මේනකා (2835), තනුජා (5025), කොස්තාපල්වරුන් වන ජනක (77427), කමල් (71480), ධනුෂ්ක (79678), ඉන්දික (67351), ගුරුසිංහ (82406) හා ප්‍රේමතිලක (31685) යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.