කොළඹ ජලගැලීම් පාලනයට මධ්‍යස්ථානයක් | සිළුමිණ

කොළඹ ජලගැලීම් පාලනයට මධ්‍යස්ථානයක්

කොළඹ නගරයේ ඇති විය හැකි ජල ගැලීම් පාලනය හා කොළඹ නගරය ඉන් මුදාගැනීම සඳහා ලබන වසර මුල වන විට විධිමත් මධ්‍යස්ථානයක් නාරාහේන්පිට ප්‍රදේශයේ ස්ථාපිත කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙම මධ්‍යස්ථානය මඟින් කොළඹ නගරයේ සෑම නිවෙසක්ම අධීක්ෂණයට ලක් කෙරෙන අතර, සෑම නිවෙසකම එකතු විය හැකි ජල ප්‍රමාණ හා සිදු විය හැකි අලාභහානිද මෙහිදී සොයා බැලෙයි.

පසුගිය දශක දෙක තුළ විවිධ දේශපාලන බලපෑම් ඇතුව හෝ නැතුව කොළඹ නගරයේ ඇළ මාර්ග හරස් කොට ඉදි කර තිබූ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට මේ වන විට කටයුතු යොදා ඇතැයි පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හෙට (5) වැල්ලවත්ත හා දහම් ඇළ ප්‍රදේශයේ ඉදි කර ඇති සියලු ඉදිකිරීම්වලටත්, ඒ ආශ්‍රිතව ඉදි කර ඇති ප්‍රධාන ගොඩනැගිලි 18කටත් විරුද්ධව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව නඩු පැවැරීමට කටයුතු කරන බවයි.

පසුගිය ජල ගැලීම් තත්ත්වය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ මේ තත්ත්වයට නිසි විසඳුම් වහා නොගත හොත් බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර වැනි දිස්ත්‍රික්කවලද විශාල ව්‍යසනයක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව හා එය මීරියබැද්දේ ව්‍යසනයටත් වඩා බරපතළ විය හැකි බවයි. 

Comments