මං ආදරය ගොඩක් විඳින කෙනෙක් | සිළුමිණ

මං ආදරය ගොඩක් විඳින කෙනෙක්

ජනප්‍රියම නිළියට නිර්දේශ වුණෙත් ඒ නිසා වෙන්න ඇති 

මං ආදරය කරලත් තියෙනවා පැරදිලත් තියෙනවා

 

සති අන්තයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ඉන්දික ධර්මතිලකගේ මැස්සා ටෙලි නාට්‍යයේ සලීමා නමැති මුස්ලිම් තරුණිය ලෙස රඟන ඇය සතියේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණයක් වන කෝලම් කුට්ටමේ සුද්දී ලෙසින් ඔබ හමුවට එයි. දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය කාවින්ද්‍යා දුල්ෂානිය.

සතිය පුරා එකම රුව දැකීමෙන් ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවක් දැනෙනවා නේදැයි ඇසූ පැනයට ඇයගෙන් ලැබුණේ මෙවන් පිළිතුරක්.

“මේ දිනවල මගේ ටෙලි නිර්මාණ තුනක් විකාශය වෙනවා. ඒත් මට දැනුණේ නැහැ ඒකෙන් මට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ අඩුවක් වෙනවා කියලා. ප්‍රේක්ෂකයා හැම නිර්මාණයක්ම ආදරෙන් බාරගත්ත නිසා තමයි මට මේ වගේ ආදරයක් ලැබෙන්නේ. අනිත් එක ඒ නිර්මාණ තුන ගත්තොත් තුන් විදියක්. මැස්සා නාට්‍යයේ සලීමා කියන මුස්ලිම් තරුණියගේ චරිතය වෙනස්ම අත්දැකීමක්. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් හොයාදෙන්න ගිය තම පියාගේ මරණය නිසා අසරණ වන සලීමා, සිය පියාගේ මරණයත් සමඟ පිය සෙනෙහස අහිමි තම සොයුරියන් දෙදෙනාට අධ්‍යාපනය ලබාදෙන්නට වෙහෙසෙනවා සේම, පියාගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් සොයන තරුණියක් වටා ගෙතුන කතාවක්.

කෝලම් කුට්ටමේ සුද්දී කියන්නේ සලීමාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. සාම්ප්‍රදායික වෙස් මුහුණු, රූකඩ කලාව වෘත්තීය කරගත් තම පියාටත් උදවු කරන ඇය සාම්ප්‍රදායිකත්වයෙන් මිදී නිදහසේ ජීවත් වීමට කැමැති කෙනෙක්. චන්දික විජේසිංහගේ ගඟන පියවර නාට්‍යයේ ඊට හාත්පසින්ම වෙනස් භූමිකාවක්.“

ටෙලි නාට්‍ය රංගනය ඔස්සේම ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ප්‍රේක්ෂක මතකයේ ඇඳුණු රුවක් වීමට තරම් වාසනාවන්තියක්.

“ මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වුණු ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘මේඝා‘ ටෙලි නාට්‍යයේ රඟපෑමත් එක්ක. ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනා ලැබුණේ ලක්ෂ්මන් පුෂ්පකුමාර සර්ගේ සඳ එළිය ටෙලි නාට්‍යයේ. ඔහුගේම ‘රන් බැඳි මිනිස්සු‘ කියන නාට්‍යයේ අංගම්පොර සටන් කලාවේ යෙදෙන චරිතයක් කළා. එය ජවය ඉස්මතු කළ යුතු චරිතයක්. ගොඩක් පුහුණුවීම් කළා. මං කරාතේ හදාරලා තිබුණු නිසා ඒ චරිතය කරන්න මට පහසුවක් වුණා. හිරු නාළිකාවේ විකාශය වුණු ‘අහස් මාලිගා‘හි අහිංසාත් ගොඩක් ප්‍රේක්ෂක ආදරය දිනූ චරිතයක්. ඊට අමතරව ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අලුත්ම නිර්මාණයකට දායක වුණා. ඉදිරියේ දී විකාශය වීමට නියමිත නිර්මාණ කිහිපයක්ම තියෙනවා. චාමර ජනරාජ් පීරිස්ගේ ‘උතුරු සුළඟ‘ සිනමා පටය ඔස්සේ සිනමාවට පිවිසීමේ අවස්ථාවත් ලැබුණා. මං කරපු හැම චරිතයකටම මං සාධාරණයක් කළා කියලා හිතෙනවා. ජනප්‍රියම නිළිය සඳහා නිර්දේශ වුණෙත් ඒ නිසා වෙන්න ඇති. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේන් ලැබෙන උපදෙස් අත්දැකීම් එක්ක තමයි මං මේ ගමන යන්නේ. ප්‍රවීණයන්ගේ රංගනය මං හොඳින් අධ්‍යයනය කරනවා. ඒ වගේමයි දක්ෂ අධ්‍යක්ෂවරුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි. ක්ෂේත්‍රය තුළ මගේ එකම අරමුණ හොඳම නිළිය කියන කැටගරි එකට එන එක.

කෝලම් කුට්ටම රූපගත කිරීම්වලදී ලත් අත්දැකීම් අප හා බෙදාගන්නත් ඇය අමතක කළේ නැහැ.

“මට පළවෙනි දවසෙම මාදු ගඟේදී ඔරුව පැදගෙන යන දර්ශනයක් රූගත කරන්න තිබුණා. මම පදිමින් හිටියේ පොඩි ඔරුවක්. එක තැනකදී පොඩි කොට පාලමක් යටින් ඔරුව ගන්න තියෙනවා. ඒත් ඔරුව බැලන්ස් කරගන්න තේරෙන්නැති නිසා මං බය වුණා. හැමෝම උදවු කළා. එදා හවස් වෙද්දිම මං වැඩේ අල්ලගත්තා. ඒ වගේම තමයි තව දවසක් මං ඔරුව පැදගෙන යනවා. අනිත් ඔරුවෙන් ෂූට් කරනවා. එදා ගොඩක් සුළඟ දවසක්. මාත් බර නෑ. ඔරුවත් බර නෑ. මං පදිනවා පදිනවා. එක තැනමයි. දැන් අත් දෙකත් රිදෙනවා. ඒත් හෙළවෙන්නෙවත් නෑ. අන්තිමට මෝටර් බෝට්ටුව ඇවිත් ඇදගෙන ගියේ. “

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් සිටින කාවින්ද්‍යාගෙන් යොවුන් වියේ සොඳුරු ආදරය ගැනත් විමසීමක් කළා.

“මං ආදරය ගොඩක් විඳින කෙනෙක්. මගේ ගෙදරින් ලැබෙන ආදරය, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය උපරිමයි. දැනට මං ආදරවන්තියක් නෙවෙයි. මං ආදරය කරලත් තියෙනවා. පැරදිලත් තියෙනවා. දැන් හොඳට තේරිලා තියෙන්නේ. ඒ නිසා හොඳම කියන කෙනා හමු වුණාම ඒ තීරණේ ගනීවි. කවදහරි ආදරවන්තියක් වෙයි. ඉතින් ඒකත් වෙන්න ඕනනේ “

Comments