ගේට්ටුව ඇරෙන හඬ ඇසුණු සස්මිතා ජනේලයෙන් බැලුවේ උදේ පාන්දරින්ම එන්නේ කවුදෝ යන කුතුහලයෙනි.ගෙයි පෝටිකෝව දෙපස තබා ඇති බෝගන්විලා පඳුරු එකිනෙක යා කරමින් මල් පිපී ඇති නිසා ගෙයි සිට බලන විට මිදුල හරිහැටි නොපෙනෙයි. කටු රිකිලි මතින් පොකුරු වී ඇති බෝගන්විලා මල් පෝටිකොවේ වහළේ අතුරන ලද ඉටි මල් ගොඩක් සේ ඈතට පෙනෙයි. මල් කඩතුරාවේ ඇති හිඩැස්වලින් ඇය ගෙදරට පැමිණෙමින් සිටින්නා හඳුනා ගත්තාය.
"මම බැලුව කවුද කියල. අද උදෙන්ම?..එන්න එන්න..."
"කොල්ලත් වැඩට ගියාම මම විතරයිනෙ, කම්මැළියි සස්..."
"එන්න නීශා...මමත් හිටියෙ කම්මැළිකමේ තමයි.සජී පාඩම් වැඩ. විභාගෙ කිට්ටු නිසා කෙල්ල බිම බලන්නෙවත් නැහැ"
සස්මිතා නීශාගේ අතින් අල්ලා ගත්තාය. එහෙත් ඇගේ මුහුණෙහි වන අඳුරු බව ඇයට අමුත්තක් ගෙන දුන්නාය. නීශා මිතුරියගේ අත ඉවත් කර සෝපාවෙන් හිඳ ගත්තේ මුහුණට අරෝපණය කරගත් කෝප සහගත ඉරියව්ව හොඳින් මතු කරමිනි.
"මොකද නීශා? ඇයි මේ?" සස්මිතා ඇය අසලින් හිඳ ගත්තාය.
"අනේ! අනේ! සස්, අපිට ඉතින් ෆොටෝස් තමයි ඉතින්. හොරෙන්ම හදල කෑව නේද?"
"ඒකද මේ? ඒව හදල කාල සතියකට වැඩියි, අද ඒෆ්බී දැම්මට"
සස්මිතාගේ සිනහව නැවතත් ගේ පුරා විහිදෙන්නට විය. නීශා ද තරහව අමතක කර මඳ සිනහවකින් සස්මිතා සමඟ එක්වූවාය.
"ඔයාට දෙන්න ටයිම් තිබුණෙ නෑ නීශා. එෆ්බී එකෙන් දැකපු රෙසිපියක්, අලුත් කෑමක්. දැන් නම් මට මතකත් නැහැ"
නීශා ගැට ගැසූ කොණ්ඩයෙන් එළියට විහිදී තිබුණු කැරලි කෙස් රොදක් කන් අතර සිර කළාය.
"ඒක දැන් ඉවරයි කියමුකො. මට කියන්න මේ ගවුම කොහෙන්ද? මට ඔය ඩිසයින් එක දැකල පුරුදුයි. ඔව් බ්‍රවුන් කලර්, ලස්සනයි අනේ"
සස්මිතා ගවුම ඇඟිලි තුඩුවලින් අතගා බැලුවාය. නීශා හැඩ මතුවන සේ පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළාය. ඇය නැවතත් හැරී නිරූපිකාවක් සේ ගවුමෙහි වාටිය විහිදී යන සේ කැරකුණාය.
"මතක් කරන්න, මතක් කරන්න, හරියට කිවුවොත් මම ඔයාට මේක දීල යනවා"
නීශාගේ අභියෝගය බාරගත් සස්මිතා දෙනෙත් තද කර වසාගෙන සිහිපත් කරන්නට වූවාය. ඇය කෙසේ හෝ නීශාගේ අභියෝගය ජයග්‍රහණය කරන බව සිතා ගත්තාය.
"පේනවනෙ සස් ඔයා එකක් කළොත් මම දෙකක් කරනවා. දැන් ඔයා කාපු කෑමවල රහ මතක් කරගන්න" නීශා මුළු ගෙදරටම ඇසෙන තරමින් හඬ නැඟුවාය.
"මතක් වුණා මතක් වුණා. අර ඔන්ලයින් ඩීලර්ලගෙ ප්රෆොයිල් එකෙන් නේද හොයාගත්තෙ. එයාලගෙ ඩිසයින් හරි ලස්සනයි අනේ" සස්මිතාගේ ජයග්‍රාහී හඬ ගේ පුරා රැව් දුන්නේ මහත් උද්යෝගිමත් බවකිනි.
"ආස හිතුණ සස්. ඔන්ලයින්ම ගෙන්න ගත්තා."නීශා කතා කළේ තරගයකින් පරාජය වූ අයකු දිරි ගන්වන්නාක් මෙනි.
සස්මිතාගේ දුව සජී සහ නීශාගේ පුතා අයේෂ් මොන්ටිසෝරි රැගෙන යන කාලයේ සිට ගොඩනැගුණු මිත්‍රත්වය තවමත් එසේම පැවතීම ගැන බොහෝ විට දෙදෙනා තුළ පැවතියේ ජයග්‍රහණයක් මුසු වූ සතුටකි. අයේෂ් සජීට වඩා අවුරුද්දකින් වැඩිමහල් වුවද සජී වසර දෙකක් මොන්ටිසෝරි ගිය නිසා දෙදෙනා මොන්ටිසෝරි ගියේ එකටය. එම කාලයේ සිට දෙදෙනා අතර මිතුරුකමක් ගොඩනැගුණද දෙදෙනා පාසල් දෙකකට ගිය බැවින් එම මිත්‍රත්වය කෙමෙන් කෙමෙන් මැකී යන චිත්‍රයක් සේ නැතිවී ගියේ කාලයත් සමඟිනි. අම්මලා දෙදෙනා එම සම්බන්ධතාව පවත්වාගෙන ගියද දරුවන්ට අතර එය එතරම් වැදගත් වූවක් සේ තහවුරු නොවිණි. මේ නිසා ඔවුනොවුනතර වසර ගණනාවකින් අහම්බෙන් සිදු වන හමුවීම් හැර වෙන සම්බන්ධතා ගොඩනැඟීමට අවකාශ නොතිබිණ.පාසලෙන් ඉවත් වනවාත් සමඟම අයේෂ් තාත්තාගේ අඩිපාරේ යමින් හෝටලයක රැකියාවකට ගියේය.
"අයේෂ්ට පුහුණුවක් තියෙනවලු. මම හිතන්නෙ රට යන්න වෙයිද දන්නෑ.කොහෙද ඉතින් මේ කොල්ල වැඩිය කතාබහ කරන ඒකක්යැ. ඔය ටික කිවුවෙත් හස්බන්ඩ්"
"ඇත්තද?හොඳයිනේ..."
සාලයෙහි කොනක තබා ඇති මේසය අසල පුටුවෙහි හිඳගත් නීශා එහි වූ මල් පෝච්චිය මේසයෙහි හරි මැදට වන සේ තැබුවාය. දුරකතනය මත ඇඟිලිතුඩු යවමින් ඇය මුහුණු පොතේ සැරිසැරුවේ කලබලෙන් මෙනි. නැවත ඉන් ඉවත් වූ ඇය දුරකථනයෙහි මුහුණත මුහුණට ළං කර කණ්ණාඩියෙන් හැඩ බලන්නාක් මෙන් බලන්නට විය. හිසට ගුලි වී තිබූ කැරලි කෙස් රොදවල් කිහිපයක් නළලට වැටෙන සේ ඇද ඇඟිලිතුඩුවලින් තවත් කරකවා කැරලි කළාය. සිනාවෙන්, මඳ සිනහවෙන්, විස්මය මුසු වූ බැල්ම ආදී විවිධ ඉරියව්වලින් සිනාසී ඡායාරූප කිහියක් ගත් ඇය පසුපස ජනේලය, මල් පෝච්චිය ආදිය ද එම ඡායාරූපවලට හසු වී ඇත්දැයි බැලුවාය. ඒ අතර සස්මිතා අලිගැටපේර වීදුරු දෙකක් ගෙනවිත් මේසය මත තැබුවාය. කිරිපාට අයිස් ක්‍රීම් කුට්ටි දෙකක් අලිගැට පේර වීදුරු මත දියවෙමින් තිබිණ.
මේසය මත වූ මල් පෝචිචිය නැවතත් තමා අසලට ගත් නීශා අලිගැටපේර වීදුරු දෙක මූලික වන ලෙස ඡායාරූපයක් ගත්තාය. පසුව දෙදෙනාම හසු වන ලෙස ද,තවත් විටෙක බොමින් කතා කරන ඉරියව්වෙන් ද සෙල්ෆි ඡායාරූප කිහිපයක් ගත්තාය.
"තව ටිකකින් එහෙනම් මමත් එෆ්බී ඉඳියි. හැබැයි මේව හැදුවෙ මම"
සස්මිතා ගිගුරුම් දෙන ලෙස කළ කතාවෙන් නීශාට ඇති වූ හිනාව නවතාගත නොහැකි විය. උඩ තට්ටුවට ද ඇසේදෝ යන බියෙන් ඇය කට වසා ගත්තේ ලැජ්ජාවක් මුසු හැඟීමකිනි.
"සොරි සස් සද්දෙ වැඩියි නේද? කවුද ගෙදර ඉන්නේ?"
"දුව ඉන්නව. එයා පහළ සද්දවලට එච්චර ඇහුම්කන් දෙන්නෙ නෑ"
"එහෙනම් කමක් නෑ. මම යන්නම් ගොඩක් වෙලා හිටියනෙ, බායි" නීශා පිටුපස නොබලා අතක් වනමින් ගේට්ටුවෙන් පිටව ගියාය. සස්මිතා ද අත වනමින් මිතුරියට සමු දුන්නාය.
උඩ තට්ටුව පැත්තෙන් කිසි සද්දයක් නැත. ගෙයි ජනෙල් දොරවල් සියල්ලම පාහේ වසා ඇති බැවින් පිටත ශබ්ද ගේ ඇතුළට ඇසෙන්නේ කලාතුරකිනි. දියණියගේ කාමරය ද සාලයට නොපෙනෙන බැවින් සස්මිතා පහළ තට්ටුවේ සිටම කතා කළාය.
"සජී, ඔයා වැඩද?"
"ඔව් අම්මා මම පාඩම් කරනවා"
දියණියගේ හඬ කාමරයෙන් පිට විය. එහි දොර වසා ඇති බැවින් සජී කියූ දේ හරිහැටි නොඇසුණු සස්මිතා තරප්පු පෙළෙහි මඳක් උඩට නැඟ නැවත කතා කළාය.
"ඇයි අම්මා මම කිවුවෙ මම පාඩම් කරනවා.ප්ලීස් මට ඩිස්ටර්බ් කරන්න එපා"
සස්මිතා තරප්පු පෙළ දිගේ පසුබසින්නට විය.
තද හිරු රැස්වලින් ගිනියම් වූ වහල මත වේගයෙන් සතෙක් දුව යන හඬක් ඇසිණ. ගෙයි හැම අතකම පැතිරී ඇති නිස්කලංක බව නිසා දැනෙන පාළුව දරාගත නොහැකි තරම්ය.එම පාළුව සැමදා ඇයව ගෙන ගියේ නිදන කාමරයටය.
"ලස්සනයි, නීශා ෆොටෝස් ටික අප්ලෝඩ් කරල, මොකක්ද මේ ලියල තියෙන්නේ. වාව් දැන් ඉංග්‍රීසියෙන් ලියන්නෙ"
ඇය ඡායාරූප එකින් එක වෙන් කර බලා සෑම එකකටම ලයික් ලකුණ දැමුවාය. අනතුරුව සියලු ඡායාරූප හසු වන සේ හදවතක සංකේතයෙන් කමෙන්ටුවක් ද දැමුවාය. ඒ සැණින් නීශාගේ ලයික් එකක් ද මුහුණු පොතේ සටහන් විය.
"දැනට කමෙන්ට් දහතුනක්... බලමු කීයක් ඒවිද කියල"
නීශා කෙටි පණිවිඩයක් ද ඒවා තිබිණ. සස්මිතා සිනා මුහුණක් පිළිතුරු ලෙසින් යැවුවාය.
සස්මිතා මුහුණු පොතෙහි සැරිසැරීම අරඹා විනාඩි කිහිපයක් ගත විය. ඇස්වලින් මතු වෙමින් ආ සියුම් වේදනාව පිසදා හරින්නට මෙන් ඇය දෑතින්ම දෑස් පොඩි කළාය. නැවතත් මුහුණු පොතේ වූ දේවල් කියවමින් හා බලමින් පහළට බැස්සාය.
පන්තියේ මිතුරියක් ගිය විනෝද චාරිකාවක ඡායාරූප දුටු ඇය ඒ හැම එකකටම ලයික් ලකුණ සටහන් කළේ දිය යුතුම දෙයක් ලබා දෙන්නාක් මෙනි. අනතුරුව වූයේ නවතම විලාසිතාවන්ගේ ඔරලෝසු කිහිපයක ඡායාරූපය. කාන්තා හා පිරිමි ඔරලෝසු අතර 'කපල් වොච්' ලෙස විශේෂ කොට තිබූ ඔරලෝසු පෙළ ඇතුළත් ඡායාරූපය වඩාත් විශාල කර බැලුවේ කෙසේ හෝ මිලදී ගත යුතුය යන හැඟීමෙනි.
"ඒත් මොකටද? අපේ මනුස්සය ගන්න වොච්? අනික කපල් වොච්? ගේ හැදුවෙ ණය වෙලානෙ කියයි. මතකද අහයි, මේව තේරෙනව නම් ඔරලෝසු වුණත් කියයි කපල් වුණේ අපරාදෙ කියල" සස්මිතා එසේ සිතමින්ම එම ඡායාරූප එකතුවට ද ලයික් දුන් අතර,"වාව්" ලෙස ඉංග්‍රීසියෙන් සටහන් කළාය.
ඇය මුහුණු පොතේ තවත් සටහනක් ළඟ නතර වූයේ එහි සඳහන් දේ සම්බන්ධයෙන් මතකයන් එකතු කිරීමටය.
"මානසික නිදහස ගැන හිතල ජීවිතේ අතහැරපු දේවල් මොනවාද?"
ඒ සඳහා කමෙන්ට් දෙසියය ද ඉක්මවා ඇත. ඒවා ද කියවා බැලීමට අදහසක් ඇය තුළ ඇති විය. මීට පෙර කියවූ සටහනෙහි තිබූ "මේ ලෝකෙ වැඩියෙන්ම ඔන්ලයින් ඉන්නෙ ආදරේ කරන අය නෙමේ, තනි වුණ අය, ඒ පාළුව මකාගන්න" යන කියමන හා ඉහත පෝස්ට් එක අතර ලොකු සම්බන්ධතාවක් ඇතැයි සස්මිතාට සිතිණ.
"මානසික නිදහස වෙනුවෙන් අතෑරියෙ මොනවද? ඒකට උත්තර ගොඩක් තියෙනවා. ඒ හැම එකටම අදාළ වෙන එක වචනයයි ලියන්න ඕනේ" සස්මිතා සතුට යන වචනය ටයිප් කර කමෙන්ට් කළාය.
සැමියාගෙන් බලාපොරොත්තු වූ ආදරය තමන්ට නොලැබෙන බව සස්මිතාගේ සිත තුළ නිරන්තරයෙන් සැරිසරන සිතුවිල්ලකි. ඒ සම්බන්ධයෙන් සිත තුළ අරක්ගෙන ඇති ගැහැනිය පෙරටු කර ඇය නිරන්තරයෙන් සැමියා වූ රණතුංග හා වාද විවාදවල පැටලුණාය. එම ගැටුම කිසි දිනක සමනය නොවන බව ඇයට හැඟුණේ රණතුංග තම පැවැත්ම ගලින් කරන ලද පිළිරුවකට එකතු කළ ඉරියව් සේ කිසි දිනෙක වෙනස් නොකළ නිසාය. රැකියාව හා දියුණුවම ඉලක්කය කරගත් ඔහු කිසිවිටෙක පවුල වෙනුවෙන් කළ යුතු වියදම් මග නොහැරියේය.එහෙත් ජීවිතයේ අනවශ්‍ය වියදම් ලෙස පැත්තකට තල්ලු කර දැමූ බොහෝ දේ තුළ සස්මිතා සිටින බව ඔහුට නොදැනුණි. සස්මිතා මානසික නිදහස වෙනුවෙන් සතුට අත හැරියේ මේ නිසාය. ඇය මුහුණු පොතේ වේගයෙන් සක්මන් කරන්නට වූවාය. ඇඟිලිතුඩුවල තල්ලුවෙන් අකුරු සහ ඡායාරූප ඇය හා නොදොඩාම නික්මී ගියේය.
ඔන්ලයින් පාඩම අතරතුර වෙනදා මෙන් සජී මුහුණු පොතේ මිතුරාට සටහනක් තබා බලා සිටියේ දැන් දැන් පිළිතුරක් එයි යන විශ්වාසයෙනි. සැණින් ඇගේ අපේක්ෂාව ඉටු විය.
"නෑ... නෑ... මතක නැතිවෙලා නෙමෙයි හලෝ. බලාගෙන හිටියෙ බොක්කෙන්ම"
මුහුණුපොතේ ඇගේ ආකර්ෂණීයම මිතුරා වූයේ මේඝ ආකාශ්ය. එම නමින්ම ඇති ඔහුගේ මුහුණුපොත ඇය දුටුවේ මුහුණු පොතෙහි සැරිසරන අතරතුර වන අතර,එම නමට සහ එහි වූ ඡායාරූපය දුටු සැණින් ඇගේ සිත එහි නතර විය.දවසේ වැඩි වේලාවක් ඇය එහි සැරිසැරුවේ නිවාඩුවකට විනෝද චාරිකාවක් යන්නාක් මෙන් වූ සොම්නසකිනි. මේ නිසා සජී සැම විටම ඔහු සොයා මුහුණුපොතේ පියාසර කළාය. මේඝ ඒ බව දැනගත් නිසා ඉන්බොක්ස් මඟින් ද ඇය සමඟ අදහස් හා විවිධ දේ හුවමාරු කරගත්තේය.
"ඇත්ත කියන්න. ඔයා එදා එවපු ෆොටෝවල හිටියෙ ඔයාමද? ලස්සනයි."
සජී සටහනක් තැබුවාය. සැණෙකින් පිළිතුරක් ලැබුණු අතර ඔහු අලුත් ඡායාරූපයක් ද එවා තිබුණි. මුහුදු වෙරළක අව් කන්නාඩි පැලඳ සිටින මේඝගේ මුහුණ හරිහැටි පැහැදිලි නොවුවද උඩුකය කොටස හොඳින් පැහැදිලිව පෙනිණ. සජී අලුත් ඡායාරූපය යටින් ද සටහනක් තැබුවාය.
"ලස්සනයි;මටත් ආසයි වෙරළක ඇවිදින්න"
"ඉන්බොක්ස් එන්න. දැන් එක්ක යන්නම්" මේඝ හදවතක රූපයක් ද අමුණා එවා තිබිණ.
සස්මිතාගේ අඳුරු වූ මුහුණ කාමරයේ ඇති අල්මාරි වීදුරුවෙහි සටහන් වී ඇත. ඇය බිත්තිය දෙසට හැරී මුහුණු පොතේ නැවතත් ගමන් කළේ හිත තුළ දැනෙන දැඩි තෙරපීම හා වේදනාව යටපත් කර ගැනීම වෙනුවෙනි. උගුර වියළී ගොස් ඇති බවක් ඇයට දැනුණි. නිවාඩු ගත කිරීම සඳහා ඇති ස්ථානයක ඡායාරූප පෙළක් දුටු සස්මිතා ඒ දෙස නොබලාම වාගේ පහළට තල්ලු කළාය.ඊට පසුව ආවේ මිතුරු සාදයක අවස්ථා දැක්වෙන ඡායාරූප පෙළකි. විදුලි ආලෝකයෙන් වර්ණවත් පසුබිමක ඇති කෑම මේසයක් වටා හිඳගෙන සිටින පිරිසකගේ ඡායාරූප පෙළ ඇය පසු කළේ සුසුමක් ද පිට කරමිනි. අනතුරුව උපන්දින සාදයක් හා නවීන පන්නයේ මෝටර් රථ පෙළක් ද ඇය දුටුවාය .ඊළඟට හමු වූයේ විවාහ සංවත්සරයකි. සස්මිතා ඊට ලයික් එකක් සටහන් කළේ වුවමනාවකට නොව පුරුද්දටය.
"එදා ඔයාගෙ ෆොටෝ එකත් ගොඩක් ලස්සනයි. මරු මරු....පට්ට හොඳේ"මේඝගේ සටහන දුටු සජීට දැනුනේ ආඩම්බරකමක් මුසු වූ උද්යෝගයකි.
"මොන ෆොටෝ එකද? කලින්ම එවපු ඒවද?"
"නෑ බබා... අර එදා නිදියන්න ගිහින් අරන් තිවුණ ඒවා. ඔයා ඉන්බොක්ස් ආපු දවසෙ එවුවෙ"
"ඒව ඩිලීට් කළානෙ.ඔන්න මම ඔයාට කියල එව්වෙ"
"හරි හරි ඩිලීට් කරපු නිසානෙ මේ තව එකක් ඉල්ලන්නෙ"
"අනේ මේ, මට බැහැ..."
"මට පේනව. ඔයා තරහෙන් නෙමේ. එකක් එවන්න, නැත්නම් මම යනවා"
"ඔයාට කොහොමද මාව පේන්නෙ?"
"මට කොයි තරම් නම් ඔයාව පේනවද? හැබැයි ඔයාට පේනවද කියල මම දන්නෙ නෑ" මේඝ තමා කෙරෙහි කෙතරම් සිතනවාද යැයි සජීට සිතිණ. අහසක් සේ ඔහු තමාට ඉහළින් බලා සිටින්නේ යැයි ඇයට සිතිණ. ඇය එම ආදරයට අවනත වන්නට තීරණය කළාය.
"ඉන්න..."
සජී නාන කාමරයට ගියාය. වතුර කරාමයේ හඬට ඔන්ලයින් පන්තියේ හඬ නොඇසේ. ඇය වතුර එන වේගය තවත් වැඩි කළාය. හිස මතට වැටෙන සීතල දිය බිඳු ගත පුරා ගලා යද්දී දැනෙන අමුතු මිහිර දියවෙන්නට පෙර ඇය දුරකථනයේ කැමරාව තමා වෙත එල්ල කරගත්තාය. මේඝ ද කැමරාවෙන් ඇය අසලටම විත් තිබිණ. ඡායාරූපවල දකින මේඝගේ බොකුටු කොණ්ඩය දැකීමට ඈ වඩාත් ආශා කළාය. පපුවේ කොටා ඇති ඊතල පච්චයට ද ඇය බොහෝ ආශා කළාය. මේඝ තමාගේ සිරුර හොඳින් පෙනෙන සේ කැමරාව ගමන් කරවන්නට විය. සජී දුටු බොකුටු කොණ්ඩය දැන් ඔහුට නැත. ඉතා කොට කපන ලද කොණ්ඩයේ තැනින් තැන ඉරි සටහන් ඇති වන සේ තට්ටය මතු වන සේ බූගා ඇත.මුහුණේ හැඩය ද වෙනස්ය. ඇය වඩාත් විමසිලිමත් විය. සජී බිත්තිය දිගේ රූටා වතුර කරාමය යට වාඩි වූවාය. සර්වාංගයම හිරි වැටී යන්නාක් මෙන් ඇයට දැනිණ.
"මොනවා? ඒ අයේෂ්..."
බොහෝ වේලා මුහුණු පොතේ සැරිසැරීම හේතුවෙන් සස්මිතාගේ ඇස්වල වූයේ මහා බර ගතියකි.ඇය වේගයෙන් කිහිප වරක් ඇසිපිය සලා බොඳ වූ ස්වභාවයෙන් පැවති ඇස් පැහැදිලි කර ගත්තාය. නැවතත් වේගයෙන් මුහුණු පොතේ ඉහළට ඇදුණාය. නැවතත් පහළට විත් සටහනක් ළඟ නතර වූවාය.
පරණ වාහනයක ගමන් කරන මැදි වයසේ පුද්ගලයෙකි.ඔහුගේ අතේ කාර්යාල බෑගයකි.දැඩි වෙහෙසකර හා කල්පනාකාරී ස්වභාවයකින් සිටින ඔහු ජීවිතය ඇදගෙන යන්නෙක් සේ පෙනෙයි. ඔහු පසුබිමිකර ලියවී ඇති “සම්මතයත් නැති අසම්මතයත් නැති උදේ හවස පඩි ගැන හිත හිත වැඩට යන මම”සස්මිතා එය කිහිප වරක් කියවූවාය. ඇයට ඡායාරූපයේ සිටින පුද්ගලයා වෙනුවට රණතුංග මැවී පෙනිණ.
ඉර බැස යෑමට සූදානම් වන අහසෙන් එන මඳ අඳුර ගෙයි පුරා විහිදී ඇති බවක් ඇයට දැනිණ.ඇස්වල හා හිත තුළ ඇති දැඩි වෙහෙසකර බව හේතුවෙන් කෑම ගැනීමට හෝ නැඟිටීමට ඇයට නොසිතුණි.ඉහ ඉද්දර තැබූ දුරකථනය බිමට නොවැටෙන සේ කොට්ටය යටින් තබා ගත්තාය. ඊට ටික වේලාවකට පසුව දුරකථනයට ලැබුණු කෙටි පණිවුඩය ඇය කියවූයේ නින්දත් නොනින්දත් අතරය. "කොහොමද දැනට කමෙන්ට් හතළිස් දෙකයි" නීශාගේ එවදන්වලට දෙන පිළිතුර කුමක්දැයි සස්මිතා කල්පනා කරන්නට වූවාය. ඇය මහපටඟිල්ලෙන් ඇඟිල්ලෙන් නියමයි යන අදහස දෙන සංකේතයක් නීශාට යැවුවේ ඉන් පසුවය. ඒ සමඟම සජීගේ කාමරයේ දොර මහත් හඬින් බිත්තියේ වැදෙන ශබ්දයෙන් තිගැස්සුණු සස්මිතා කාමරයෙන් එළියට දිවුවාය.
"අම්මේ..."සජීගේ හඬ නිවෙසේ බිත්තිවල වැදෙමින් රැව් දෙන්නට විය.
ගයාන් මුණසිංහ
වචන 2,000ට නොවැඩි ඔබේ කෙටිකතා නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.
සිළුමිණ කෙටිකතාව
ලේක්හවුස්, කොළඹ 10
දුරකථනය : 011 2429265