
නීරෝගී බව සඳහා කායික සුවතාව හා සමානවම මානසික සුවතාව ද ඉතා වැදගත් වේ. පුද්ගලයා විසින් සිදු කරන සෑම ක්‍රියාවකටම සිත මුල් වන බවත් සිත මුල් වීමෙන් සියලු පුද්ගල ක්‍රියාකාරීත්වයන් සිදු වන බවත් බෞද්ධ ඉගැන්වීමයි. “චිත්තං දන්තං සුඛා වහං“ යනුවෙන් දැක්වෙන්නේ දමනය වූ සිත තමන්ට සැප ගෙන දෙන බවත් සිත තරම් මුරණ්ඩු ධර්මතාවක් මිහිපිට නැති බවත්ය. කුළුමීමකු සේ හැසිරෙන සිත තරමට සැලෙන, පෙරළෙන මැනිය නොහැකි අවබෝධ කර ගැනීමට අසීරු වෙනයම් දෙයක් නොමැති තරම්ය. ඒ අනුව පුද්ගලයාට ස්වකීය ජීවිතය අර්ථවත් කර ගැනීමට හෝ විනාශ කර ගැනීමට ප්‍රධාන වන්නේ සිතය. මෙවර ‘ඉසිවර අරණ’ සමඟ එක්වූ වෙදැදුරු විශේෂයෙන් වෙදකම් කරන්නේ කුළුමීමකු මෙන් හැසිරෙන සිත නිසා රෝගී වන මනසටය. ඔහු, මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය සමන් සුසන්ත හෙට්ටිගේ ය.
හෙතෙම 1971 ජනවාරි මස 28 වැනිදා නීලම්මහර ග්‍රාමයේදී මෙලොව එළිය දකින්නේ මානසික රෝග විශේෂ ආයුර්වේද වෛද්‍ය දොන් සෙමනේරිස් හෙට්ටිගේ සහ පද්මා ඇල්විටිගල යුවළට දාවය. බිලිඳාගේ වේලපත්කඩය කියැවූ පියා මේ දරුවා කවදා හෝ තම පරම්පරාගත වෙදකම දියුණු කරමින් ඉදිරියට පවත්වා ගෙන යන බව සැක හැර දැනගත්තේය. පවුලේ එකම පිරිමි දරුවා වූ සමන් සුසන්තට වැඩිමහල් සහෝදරියන් තිදෙනකු හා බාල සොයුරියක වේ. නීලම්මහර ධම්මාලෝක විද්‍යාලයෙන් මුලකුරු කියැවූ ඔහු පහ වසර ශිෂ්‍යත්වය සමත්ව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් විය. හය වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා තර්ස්ටන් විද්‍යාලයේ අකුරු කළ හෙතෙම 1990 වසරේදී ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටියේය. අනතුරුව පියා සමඟ වෙදකමට යොමු වූ හෙතෙම, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ බාහිර උපාධියක් ලෙස නීලම්මහර පාරම්පරික මානසික රෝග වෙදකම සඳහා ලියාපදිංචිය හිමිකර ගත්තේය. එතැන් පටන් මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන හෙතෙම 1995දී සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය හැදෑරීම සඳහා චීනයට පිටත්ව යන්නේය. එහි අධ්‍යයන කටයුතු අවසන් කර නැවත මෙරටට පැමිණෙන හෙතෙම වෛකල්පිත විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණි. ඒ අතරතුර කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ආයතනයේ පාලි හා බෞද්ධ අධ්‍යයනංශයට බැඳී බෞද්ධ ආයුර්වේද මනෝ චිකිත්සාව පිළිබඳ පශ්චාද් උපාධියක් ලබා ගත්තේය. හෙතෙම මේ වනවිට එහි බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ මානසික රෝග පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරයි. හෙතෙම ඉසිවර අරණට සම්මුඛ වූයේ මෙලෙසිනි.
“ආයුර්වේදය කියා කියන්නේ ඉන්දියාවේ බිහි වූ වෛද්‍ය ක්‍රමයක්. දේශීය වෙදකම කියලා කියන්නේ මේ පොළවේ වැඩෙන ගහකොළවලින් පෝෂණය වූ පුලතිස් ඍෂි ආදී අපේම මුතුන් මිත්තන්ගෙන් ඥානයෙන් පෝෂණය වෙච්ච වෙදකමක්. මේ වෙදකම ඉන්දියාවේ ආයුර්වේදය සංග්‍රහ වෙන්න පෙර පැවති වෙදකමක් බව ඒ පිළිබඳ තතු විත්ති සෙවීමේදී පෙනී යනවා. ආයුර්වේදය ඇති වී වසර 2500ක් පමණ නම් හෙළ වෙදකම වසර 9000ක් පමණ පැරණියි. එය හිමවත සම්මේලනයට පුලස්ති ඍෂිවරයා සම්බන්ධ වීමෙන්ම සනාථ වෙනවා. මේ විදියට පැවත ආ වෙදපරම්පරා ගණනාවක් තවමත් අප අතර තියෙනවා. ඒ විදියට විකාශනය වූ වෙද පරම්පරාවක් තමයි නීලම්මහර වෙද පරම්පරාව කියන්නේ. මම ඒ පරම්පරාවේ හත් වැන්නායි. ”
වාර්තාගත පැරණිතම මානසික රෝග වර්ගීකරණය හමු වෙන්නේ දේශීය පාරම්පරික නීලම්මහර වෙද පරම්පරාවේ වර්ගීකරණය තුළය. ඒ කාල වකවානුවේදී ලෝකයේ වුව මෙවැනි වර්ගීකරණයක් හමු වන්නේ අප්‍රිකාවේ පමණය. මේ බව මහාචාර්ය ගණනාත් ඔබේසේකර වැනි සමාජ විද්‍යාඥයන් කර ඇති අධ්‍යයන මඟින් පවා සනාථ වී ඇත. නීලම්මහර මානසික රෝග වර්ගීකරණය තුළ මානසික රෝග 22ක් හඳුනා ගැනෙන අතර, නවීන මනෝ විද්‍යා වර්ගීකරණය සමඟ සංසන්ධනාත්මකව බලන විට සායනිකව වෙනත් වචනවලින් සඳහන් වුවද මෙහි සඳහන්ව ඇත්තේ ද නවීන මනෝ විද්‍යාවේ වර්ගීකරණය කළ රෝග වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස නවීන මනෝ විද්‍යාවේ තරුණයන්ට(අවුරුදු 15-35ත් අතර) බහුලව වැලඳෙන රෝගයක් වන්නේ ‘භාවික උන්මාදයයි’ (Behavioral mania). දේශීය වෙදකම තුළ මනෝභාවය අන්ත දෙකකට පෙරළෙන රෝගී තත්ත්වයක් ලෙස මෙය හඳුනා ගැනේ. ඉන් එක් අවස්ථාවක් ලෙස ‘හැඬුම් අන්තය’පෙන්වා දිය හැකිය. මෙහිදී දුක, කනගාටුව, අසතුට, කනස්සල්ල, සාංකාව, වැනි රෝග ලක්ෂණ පෙන්වයි. ‘භාවික උන්මාදයේ’විසාද අන්තය මෙය වේ. අනෙක් අන්තය ලෙස ‘සිනාසුම් අන්තය’පෙන්වා දිය හැකිය. එහිදී අසාමාන්‍ය ලෙස සතුටට පත්වීම, වේගවත් බව, අධි ක්‍රියාශීලි බව, නින්ද නොයෑම රෝග ලක්ෂණ ලෙස පෙන්වයි. මෙය උමතු රෝගයක්(mania)ලෙස බටහිර මනෝ විද්‍යාවේදී හඳුනා ගැනෙයි. ඒ අනුව දේශීය වෙදකමේ ‘ඇඬුම් අන්තය’භාවික උන්මාදයේ (Behavioral mania)විසාද අන්තය ලෙසත් ‘සිනාසුම් අන්තය’උමතු රෝග තත්ත්වයක් ලෙසත් මනෝ විද්‍යාවේදී හඳුනා ගැනේ. අනෙක් අතට දේශීය වෙදකමේ ‘සිත් පෙරළුම් උමතුව’ ලෙස හඳුන් වන්නේ බටහිර මනෝ විද්‍යාවේ ‘මානසික අවපීඩනය (depression)’ලෙස හඳුන්වන රෝගී තත්ත්වයයි. මේ අනුව මෙහි කතා කරන මානසික රෝග විසි දෙකකින් යුත් වර්ගීකරණය, බටහිර මනෝවිද්‍යා වර්ගීකරණය සමඟ සායනිකව හඳුනා ගැනෙන රෝග ලක්ෂණ සමඟ බොහෝ සමපාත වේ.
“සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යටි සිත හෙවත් අවිඥානය පිළිබඳ කතා කරන්න බොහෝ කාලෙක කලින් ඒ ගැන බුදුන්වහන්සේ ධර්ම දේශනාවලදී සාකච්ඡා කර තිබෙනවා. අපේ වෙදකමේදී සඳහන් වෙනවා.
‘මනු සිත පෙරළමින් මතුවෙන මෙරෝගෙට
ගත සිත සැනසුමට ඔසු පැන් යෙදීමට
සිත් තුළ ගැටුම නැසුමට බණ දෙසීමට
නීලම්මහර වෙදකම මෙහි යෙදීමට’
මින් පවසන්නේ ගත සිත සැනසුමට ඔසු පැන් ගන්නා අතර, සිත් තුළ ගැටුම නැති කරන්න අපි කතා කරන්න ඕනෑ කියන අදහසයි. ඒ කියන්නේ උපදේශනයයි. අපේ මුතුන් මිත්තන් ෆ්‍රොයිඩ් ඉපදෙන්න කලින් ඉඳන් මනෝ උපදේශනය වෙත යොමුව තිබෙනවා. ඔහුට හෝ ඇයට මානසිකව බලපා තිබෙන ගැටලුව නිවැරැදිව නිරාකරණය කරගෙන එළියට රැගෙන ඒම එහි අරමුණයි. පළමු දේ රෝගියාට ඇහුම්කන් දීමයි. කොන්දේසි විරහිතව ඇහුම්කන් දෙන්න කියලා ෆ්‍රොයිඩ් කියනවා. ඒක අපි එදා ඉඳලම කරපු දෙයක්. සමහර මානසික රෝගවලට තමන් අත්විඳපු අමිහිරි අත්දැකීම් කාලයක් තිස්සේ යටි සිතේ තද කරගෙන ඉඳලා ඒවා වෙනත් ආකාරයකින් මතුපිටට ප්‍රකාශ වෙනවා. එය කායික රෝගයක් වගේම මානසික රෝගයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපට බාහිරින් පෙනෙන රෝගයට හෝ රෝග ලක්ෂණයට ප්‍රතිකාර කිරීමෙන් ඵලක් නැහැ. එවැනි තත්ත්වයක් මනස තුළ ඇති වුණාම අපේ වාතය, පිත, සෙම මේ සියලු තුන්දොස් කිපෙන්න පුළුවන්. ඒ හරහා අපේ මොළයේ තිබෙන සත්ත්ව, රජස්, තමස් කියන ශක්තීන් කුපිත වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ විදියට කුපිත වෙච්ච දෝෂ ප්‍රතිකාර මඟින් සමනය කිරීම නැත්නම් ප්‍රකෘතියට පත් කිරීමට තමයි අපේ වෙදකම මඟින් කරන්නේ. ඒකට අපි කියනව නිධාන පරිවර්ජනය කියලා. මේ රෝග නිධානය පරිවර්ජනය කිරීම සඳහා රෝගියා සමඟ කතබහ කිරීම ඉතාම වැදගත් වෙනවා.”
අප ළඟට බහුලව ප්‍රතිකාර ගන්න එන මානසික රෝගී තත්ත්වයක් ‘පිත්තජ උන්මාදය’. ඉදිරියට පැමිණෙන ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන කාලවලදි මේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. ඇඟ රස්නෙයි, ඇස් රතුවෙනවා, කලබලයි, නොසන්සුන්, එක අරමුණක ඉන්න බෑ, නින්ද යන්නෑ, සාමාන්‍ය පරිදි මලපහ වෙන්නේ නෑ, රෝගියා දිහා බැලුවම වුණත් හරි අමුතුයි; බොහෝම රළු ස්වභාවයක් දිස්වන්නේ. මේ තත්ත්වය ‘පිත්තජ උන්මාදය’ ලෙස හඳුනා ගැනෙනවා. ඒ සඳහා අප ළඟ ඉතාම සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. තව රෝගී තත්ත්වයක් තියෙනවා ‘සන්නිපාතජ උන්මාදය’කියලා. එහිදී වා, පිත්, සෙම් කියන තුන්දොස් එකට කිපීම නිසා හට ගන්නා වූ රෝග තත්ත්වයක්. මෙය ටිකක් දරුණු රෝගී තත්ත්වයක්.”
“සාමාන්‍යයෙන් කාන්තාවකගේ ජීවිතයේ මානසික රෝගයක් වැලෙඳන්න පුළුවන් අවස්ථා තුනක් ඇති බව දේශීය වෛද්‍ය ක්‍රමය තුළ හඳුනා ගැනෙනවා. ඒ වැඩිවියට පත් වන අවස්ථාව, ගර්භිණී අවස්ථාව සහ ආර්තව පාලනය වන අවස්ථාව (ආර්තවය නැවතුනාට පසු ඇති වන මානසික රෝගී තත්ත්වය). සාමාන්‍යෙයන් දරු ප්‍රසූත කාලය තුළ ගැබිනිය ගත කරන්නේ කවරාකාර ජීවිතයක්ද යන්න මත දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන මානසික තත්ත්වය රඳා පවතිනවා. එනම් ඇය හොඳ වාතාශ්‍රය සහිත ආරක්ෂිත පරිසරයකද ජීවත් වුණේ? ඇය සතුටින් සිටියද? ඇය ලබාගත් කෑම බීම මොනවද වැනි කාරණා පශ්චාත් ගර්භිණී සමයේ මනස නීරෝගි වීම කෙරෙහි බලපානවා.
සාමාන්‍යෙයන් දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගෙන් සියයට තිහකට විතර ‘පසු ප්‍රසව නීල’තත්ත්වය ඇති වෙනවා. එහිදී දුකක්, කනගාටුවක්, අසතුටක්, කාංසාමය ස්වාභාවයක් බොහෝ දෙනකු තුළ ඇති වීම ස්වාභාවිකයි. නමුත් බොහෝ දෙනකුට මේ මානසික තත්ත්වය ස්වභාවිකව නැති වී යනවා. නමුත් සමහරුන්ට ඒ දේවල් වැඩියෙන් දැනෙන්න ගන්නවා. එවැනි අයට ළදරුවා ගැන අසාමාන්‍ය බියක් ඇති වෙන්න පුළුවන් වගේම දරුවා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය පසු ප්‍රසව විශාදය (Postpartum depression)ලෙස හඳුනා ගැනෙනවා. මෙවැනි මානසික තත්ත්වයන්ට ගොදුරු වූ මවුවරුන් තමයි දරුවන් කුණුකූඩවල දාල යන්නේ; ගඟට විසි කරන්නේ; දරුවත් මරල මවත් මිය යන්නේ. එනිසා අප මේ දෙස ඉතාම සංවේදීව බලා කටයුතු කළ යුතුයි. මවක් දරුවෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඇගේ සැමියා හෝ වැඩිහිටියන් ඇයට හිරිහැර වන ආකාරයට කටයුතු කිරීමෙන් මේ තත්ත්වය වඩා නරක අතට හැරෙන්න පුළුවන්. ඉන් මව සිය දිවි නසා ගැනීමට වුවත් පෙලඹිය හැකියි. ඒ නිසා ඇය කෙරෙහි ඉතාම සංවේදීව කටයුතු කිරීම ඉතා වැදගත්. ‘පසු ප්‍රසව සයිකෝසියාව’ නැත්තම් ‘වැදුම් ගෙයි සන්නිය’ කියන්නේ තවත් එවැනි රෝගී තත්ත්වයක්. එය බෙහෝම දරුණු අවස්ථාවක්. අම්මා දුවන්න, දඟලන්න, කලහකාරී ලෙස හැසිරෙන්න, සියදිවි නසාගන්න හෝ නින්ද නොයන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මෙවැනි වූ මානසික රෝග 22ක් ගැන අපේ දේශීය පාරම්පරික මානසික රෝග වර්ගීකරණය තුළ සාකච්ඡා කෙරෙනවා.“
‘හෘදයන් චේතනස්ථාන’කියා ආයුර්වේදයේ සඳහන් වන්නේ සිතුවිලි ඇති වන්නේ හෘදය මූලික කොටගෙන බවය. මෙහිදී හෘදය කියා හඳුන් වන්නේ ලේ ගමනාගමනයට සම්බන්ධවන හෘදය වස්තුව නොව බ්‍රහ්ම හෘදයයි. සිතුවිලි උපදින්නේ ඒ බ්‍රහ්ම හෘදය හෙවත් මනස මූලික කර ගනිමිනි. මනස සහ ශරීරය එකට බැඳ තබන්නේ ආත්මය මඟිනි. මනස මූලික කරගෙන සිතුවිලි උපදී. මනස ලෙඩ වන විට සිතුවිලි ලෙඩවේ. මනස විකෘති වන විට සිතුවිලි ද විකෘති වේ. එවිට එම පුද්ගලයා අනෙක් පුද්ගලයාගෙන් වෙනස් වී පෙනෙන්නට පටන් ගනී. මනස යනු මොළය කියා හඳුන්වන භෞතික කොටස නොවේ. එහි භෞතික මෙන්ම අභෞතික කොටසක් ද පවතී. කෙනෙක් මැරුණු පසු ආත්මය ශරීරයෙන් වෙන්වේ. මේ මනස හා ශරීරය එකට බැඳ තබන්නේ ආත්මය මඟිනි. සත්ත්ව ආත්මා ශරීරංච කියා ආයුර්වේදයේ හඳුන්වන්නේ එයයි. කෙනකුගේ ජීවිතය අවසන් වන විට ආත්මය ඒ ශරීරයෙන් නිරුද්ධ වේ. එනිසා මේ කොටස් තුනේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවතී.
මානසික රෝගයකට ප්‍රතිකාර කිරීමේදී හුදු පුද්ගලයා පමණක් සැලකිල්ලට නොගෙන එකී සියලුම අංශ කෙරෙහි අවධානය යොමු කෙරේ.මනසට පන්චේන්ද්‍රියන් සම්බන්ධ පවතින බැවින් ඉන් මනස පෝෂණය වේ. මේ පන්චේද්‍රියන් තුළින් අරමුණු ගන්නා අවස්ථාවේදී අප ඒවා සමඟ ගැටෙන ආකාරය අනුව මානසික ආතතිය ඇති වේ. විශේෂයෙන් අප ඉතා කැමැත්තෙන් අරමුණු කරන දෙයක් අපට නොලැබී ගිය විට එමඟින් ඇති වන මානසික ආතතිය හේතුවෙන් නොයෙකුත් මානසික ආබාධ ඇති වේ. මූලික අවශ්‍යතා අරමුණු කර ගැනීමේදී පුද්ගලයාගේ කැමැත්ත සහ අකමැත්ත මේ සඳහා බලපාන අතර ඊට බාහිර සාධක වන ආර්ථික, දේශපාලන හා සංස්කෘතික කරුණු ද බලපායි. ඒ අනුව මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වූ විට මානසික ආතතිය ඇති වේ. උදාහරණයක් ලෙස සුන්දර දෙයක් ලබා ගැනීමට උත්සාහ කළත් එය කළ නොහැකි විටදී මනස තුළ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වේ. එය මනසට මෙන්ම ශරීරයට ද විවිධාකාරයෙන් බලපානු ලබන අතර ඉන් මානසික රෝග මෙන්ම කායික රෝග ද ඇති විය හැකිය. පන්චේන්ද්‍රියන් මඟින් ලබා ගන්නා අරමුණු නිවැරැදිව පරිහරණය කිරීමට උගත යුතුය. අරමුණු ලබා ගැනීමේ වරදක් නැති වුවද වැරැදියට ඒ අරමුණු තුළ ඇලී ගැලී සිටියොත් මනස ව්‍යාකූල වේ. ඉන් මානසික ආතතිය ඇති වේ. ඒ සඳහා මෙම වෛද්‍ය ක්‍රමය තුළ මූලික වශයෙන් යොදා ගන්නේ බුදු දහමේ ඉගැන්වෙන ධර්ම මාර්ගයයි.
මනසට සුවය දෙන ඉහත කී ප්‍රතිකාර ලබා ගැනීමට කැමැති කා හටත් ඒ සඳහා හොරණ කොළඹ බස් මාර්ගයේ(120) කටුවාවල හන්දියෙන් නීලම්මහර පාරට හැරී මීටර් 500ක් පමණ ගිය තැන නීලම්මහර මානසික වෛද්‍ය මධ්‍යස්ථානයට පහසුවෙන් ළඟාවිය හැකිය.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න