
- කල්ලි නායකයාගේ පෙම්වතියත් අල්ලයි
- මුහුණපොෙතන් ගෑනු - පිරිමි අන්දා ලක්ෂ ගණන් වංචා කරලා
අන්තර් ජාලය ඔස්සේ විදේශිය හැකරුන් පිරිසක් මෙරට ධනවතුන්ගේ මුදල් සොරා ගන්නා අන්දම පසුගිය සමයේ නිරන්තරයෙන් අසන්නට ලැබුණා. එවන් පසුබිමක අපේ රටේ වයස අවුරුදු 22- 24 වියේ පසුවන තරුණයන් තිදෙනෙකු සමඟ එක්ව 21 හැවිරිදි තරුණියක් අන්තර්ජාලය හරහා මුදල් වංචාවේ නියැළුණු අන්දම වැලිමඩ පොලිසියේදි පසුගියදා හෙළි විය. තම පෙම්වතිය ද සහභාගි කරගනිමින් මුදල් වංචාවේ නියැළුණු මෙම තරුණ කණ්ඩායම යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රදේශවලදි වැලිමඩ පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය නොවැම්බර් 05 වැනිදාය.
මෙසේ අත් අඩංගුවට ගත් යටියන්තොට, හක්බෙල්ලාවක, තණකොළවත්ත පදිංචි 24 හැවිරිදි එම්.ජී. චතුර රුක්ෂාන් ප්‍රේමරත්න, යටියන්තොට හක්බෙල්ලාවක නදිගම පදිංචිකරුවන් වන 24 හැවිරිදි එම්.ඒ.මධුර මධුසංඛ සහ 22 හැවිරිදි එච්.එස්.ඒ.ගයාන් සඳරුවන් නිශ්ශ්ංක කලක් වැලිමඩ කැප්පෙටිපොළ ගවරම්මන ප්‍රදේශයේ පදංචිව සිට ඇත. එම පිරිස සහ රුවන්වැල්ල, අම්පාගල, හාතාගොඩ පදිංචිව සිටින 21 හැවිරිදි කේ.ආර්. කාවින්ද්‍යා විමුක්තිනී යන සැකකාරිය වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත ෙකරිණි.
මෙම සිද්ධියේ ප්‍රධානියා වන්නේ චතුර රුක්ෂාන් නැමැති සැකකරුය. ඔහු අන්තර්ජාලයේ මුහුණුපොතෙන් හඳුනාගත් රුවන්වැල්ල පදිංචි පියාගෙන් වෙන්ව මව සමඟ ජීවත්වන කාවින්ද්‍යා සමග ප්‍රේම සබඳතාවක් ඇතිකරගෙන සිටි බව පොලිසිය පවසයි. රැකියාවක් නොමැතිව නිවසේ සිටින චතුර නිරන්තරයෙන් අන්තර් ජාලයේ සැරිසරමින් 'ගිණුම්' හැක් කිරීමේ ක්‍රමවේදයන් අත්හදා බලා තිබේ. එය සාර්ථක කරගත් චතුර තම පෙම්වතියට සහ අනෙක් මිතුරන් දෙදෙනාට තමන් සොයාගන්නා මුහුණුපොත හැක් කිරීමේ ක්‍රමවේදය පවසා තිබේ. රැකියාව නොමැතිව නිවසේ කාලය ගත කිරීමට වඩා මුදල් පහසුවෙන් උපයා ගත හැකි මාර්ගයක් උදාවීමෙන් සතුටට පත් මිතුරන් එකපයින්ම මෙයට කැමැති විය. මවට හරිහමන් රැකියාවක් නොමැතිව පදිංචි නිවසේ මාසික කුලිය ලෙසින් රුපියල් 3000ක් ගෙවීමට අපහසුව සිටින කාවින්ද්‍යා ද මෙම වංචාවට එකතු කර ගැනීමට රුක්ෂාන් පියවර ගෙන ඇත්තේ සූක්ෂමවය.
ඉන්පසු මෙම හතර දෙනා එක්ව අන්තර් ජාලයේ “ජෙසට් ප්ලේ ලංකා“ නමින් ව්‍යාජ සමාගමක් පිහිටුවා ගෙන මෙම මුදල් චංචාව දැනට වසර 05ක සිට සිදුකර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඇම්. ඩබ්ලිව්. හේරත් විසින් මෙම වංචාකරුවන් කොටුකර ගත් අන්දම මෙසේ පැවසීය.
“වරින්වර තමන් අන්තර්ජාල මුහුණු පොතේ වංචාකරුවන්ට හසුවු බවට වැලිමඩ ප්‍රදේශයේ කිහිප දෙනෙකුම පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒත් ඔවුන්ට වංචාකරුවන් ගැන අවබෝධයක් තිබුණේ නෑ. පසුගිය දිනක වැලිමඩ නගරයේ ව්‍යාපාරික කාන්තාවක් පොලිසියට පැමිණ අන්තර්ජාලයේ ඇති 'ජෙසට් ප්ලේ ලංකා' සමාගමේ සිදුකළ මුදල් වංචාවක් ගැන පැමිණිළි කළා. අපි ඒ අපරාධකරුවන් කොටුකර ගත්තා. අපරාධකරුවන් යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රදේශවලදි පසුගිය 05වන දින අත් අඩංගුවට ගත්තා. මොවුන් කිසිම රැකියාවක් නොකර නිවෙස්වල කාලය ගත කරන අතරේ ජංගම දුරකතන හරහා අන්තර්ජාලයේ “පේස්බුක්“වලට ඇබ්බැහි වූ අය බව හෙළි වුණා. මෙම සැකකාර තරුණයන්ගේ මව පියා බැංකු සේවකයෝ වන අතර එක් සැකකරුවකුගේ පියා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බවට හෙළි වුණා.
මොවුන් සිදුකළ වංචනික ක්‍රියාවන් එම දුරකතනවල අන්තර්ගතව තිබුණා. එම දුරකතන දත්ත පරීක්ෂා කිරිමේදී මොවුන් සිදුකර ඇති අපරාධ එකින් එක හඳුනා ගැනීමට පහසු වුණා.“
සැකකරුවන් “ජෙසට් ප්ලේ ලංකා“ නමින් ව්‍යාජ සමාගමක් පිහිටුවාගෙන ඔන්ලයින් බෑන්ක් ක්ෂණික ණය දෙන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මෙම ණය දීමට අදාළ ණය ඉල්ලුම්කරුගේ බැංකු ගිණුම, පුද්ගල හැදුනුම්පත් අංකය, අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකතන අංකය ද ලබාගෙන තිබිණි. ඊට අමතරව මුහුණුපොතට පිවිසෙන රහස් අංකය ද කූට ලෙස ලබාගෙන තිබේ. ඉන්පසු එම මුහුණුපොත පාලනය ඔවුන් අතට ගැනිණි. ඉන්පසු එම මුහුණුපොත සමඟ සම්බන්ධතා පවත්වනවා. ඉන්පසු නියම මුහුණපොත ගිණුම් හිමියා ලෙසින් පෙනී සිටිමින් රාත්‍රි කාලයේ හදිසි මුදල් අවශ්‍යතාවක් පවසා පසුව මුදල් දෙන බවට පොරොන්දු වෙමින් මොවුන්ගේ රුපියල් 5000 සහ රුපියල් 10000 වශයෙන් ගිණුම්වලට මුදල් බැර කර ගැනුණි.
ඉන්පසු මොවුන් අදාළ මුදල් දුන් පුද්ගලයාට අදාළ මුදල් එවීමට කියා බැංකු ගිණුම් අංකය ඉල්ලා සිටි. පසුව ගිණුම් හිමියාගේ අන්තර්ජාල ජංගම දුරකතනයට ලැබෙන රහස් අංකය ද මුළා කර ලබා ගනී. ඉන්පසු ඒ හරහා තවත් පුද්ගලයන් හඳුනාගෙන මේ අන්දමින්ම මුදල් වංචා කරති. නමුත් කිසිම දිනෙක අදාළ මුදල් ගෙවීමක් සිදුකර නැත. මුහුණුපොතෙන් මෙම වංචාවට හසුවන තරුණියන්ගේ කට වැසීමට මොවුන් එම කාන්තාවන්ගේ මුහුණට අන්තර්ජාලයේ ඇති කාන්තා නිරුවත් ඡායාරූප බද්ධ කර ඒවා සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර තිබිණි.
වැලිමඩ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවැසුවේ,
“මෙම වංචනිකයන් මුහුණ පොත හරහා මුදල් යහමින් ඇති පුද්ගලයන් සමග ඇසුරක් පටන් ගන්නවා. ටික දිනකින් එම මුදලින් අතමිට සරු පුද්ගලයාට තරුණියක් සමග හෝටලයකදි ලිංගික හැසිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට හැකි බවට පවසනවා. අදාළ පුද්ගලයාට අසවල් නගරයට පැමිණ තරුණිය සමඟ හෝටලයක නතර වීමට කාමරයක් වෙන් කිරීමට රුපියල් 5000ක මුදල් ඉල්ලා සිටි. මුදල් හිමියා හෝටලයේ කාමරයක් වෙන් කිරීමට අවශ්‍ය මුදල් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් යවනවා. නියමිත වෙලාව ආසන්න වෙද්දි නැවත දැනුම් දෙන්නේ හෝටලයේ සාමාන්‍ය කාමර සියල්ලම වෙන් කරගෙන ඇති බවත් වායු සමනය කළ කාමරය පමණක් ඇති බවත් ඊට තවත් වැඩි මුදලක් ගෙවීමට සිදු වන බවයි. මුදල් හිමියා කිසිම වග විභාගයකින් තොරව තැරව්කරු ඉල්ලු මුදල නැවත ඊෂි ක්‍රමයට මුදල් යවනවා. ඒ සමඟම මෙම සැකකාර තරුණිය ද තමන් සුළු වේලාවකින් පැමිණෙන බවත් තමන් සැරසී එන ඇඳුමේ වර්ණය ද හඳුනා ගැනීමට හැකි ලෙසට දන්වයි. ඉන්පසු මොවුන් ජංගම දුරකතන විසන්ධි කරනවා. මුදල් දුන් පුද්ගලයා තමන් උගුලකට හසුව ඇති බව දැනගන්නා අතර ලැජ්ජාව මත නිහඬ වෙනවා.
මෙකී පිරිස මේ අන්දමට එක දිනකට රුපියල් 15000ක් රුපියල් 20000 ක් පමණ මුදල් වංචාකර තිබෙනවා. මෙසේ වංචා කරන මුදල් මොවුන් සමසේ බෙදාගෙන තිබුණි. සැකකරුවන් සිවුදෙනා වසර 05ක් පුරා සිදු කළ මෙම වංචාව දෙමාපියන් දන්නේ නැති බව කියනවා. මෙම වැඩිහිටියන්ගේ බැංකු ගිණුම් පොත් පරික්ෂා කිරිමේදි ඔවුන්ට මාසිකව ලැබෙන වැටුප් මුදල් එම ප්‍රමාණයෙන්ම ඉතිරිව තිබෙනවා. එහෙමනම් ඔවුන්ගේ මාසික වියදම සිදුකළේ කෙසේදැයි සැකයක් මතුවෙනවා. අනික රැකියාවක් නොකරන දූදරුවන් නිවසේ වියදම් අතදිග හැර සිදුකරන්නේ කෙසේදැයි දෙමාපියන් සොයා නොබැලිම ද පුදුමයට කරුණක් බව කියන්න ඕනි.
වැලිමඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඇම්. ඩබ්ලිව්. හේරත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජේ.ඇම්. තුසිත කුමාර, පොලිස් සැරයන් ඩී.ඇම්. නන්දසේන (18168), පොලිස් කොස්තාපල් ඊ .එස්. ගුණතිලක (67941), පොලිස් කොස්තාපල් ඒ.ජේ.එම්.බි. අසංක කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන ආර්.එම්.එස්.සි. රත්නායක (13291) එච්.ඇම්.පි.පි. මහිසරා (13187) පොලිස් කොස්තාල් රියදුරු ඩබ්ලිව්.ඇම්. වීරසිංහ (15580) වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ආර්. රාජමන්ත්‍රී - වැලිමඩ සමුහ