වෙ‍ෙළඳසල් කඩන බඩු උස්සන ‘මහසෝනා’ කැලණියේදී අල්ලයි | සිළුමිණ

වෙ‍ෙළඳසල් කඩන බඩු උස්සන ‘මහසෝනා’ කැලණියේදී අල්ලයි

අඟුරු කෑල්ලකටත් වඩා ඔහු කළුම කළුය. එළියට බහින්නේ රාත්‍රි කාලයටය. දුටු වනම ඕනෑම කෙනෙකු බිය ගන්වන පෙනුමකින් යුතු මෙම පුද්ගලයා කවුරුත් හැඳින්වූයේ 'මහසෝනා' ලෙසටය. මොහුට බියෙන් කවුරුත් නිවෙස්වලට වී දොර වසා ගන්නා බැවින් මොහුගේ ගමනට 'බ්‍රේක්' උවමනා වූයේ නැත.

එහෙත් එය අරමුණකින් තොර ගමනක් වූයේ ද නැත. මෙලෙස පිම්මේ යන ඔහු නතර වෙන්නේ වෙළඳසැලක් අසලය. ඒ විශාල යකඩ කපන කතුරක්ද අතැතිවය. රෝලඩෝ වෙළඳසැලේ ඉබ්බා සිටින්නේ බිමය. පත කතුරෙන් ඉබ්බා කපන මොහු ගලක් හෝ කොටයක් දොරට තබා එය තරමක් උඩට උසවා ඒ යටින් ඇති කුඩා ඉඩෙන් බඩගා රිංගා ගන්නේ දොර විවර කළ බව කිසිවෙකුටත් නොපෙනෙන ලෙසය. අතට අහුවෙන රැගෙන යා හැකි සියල්ල පොදි බැඳ ගන්නා මේ පුද්ගලයා තිබු ලෙසම දොර සකස් කර එතනින් පැන ගන්නේ කීයකට හෝ මේ බඩු තොගය විකුණා දමා ලැබෙන මුදලින් මත්ද්‍රව්‍ය පානය කිරීමටය. ඔහුගේ දින චරියාව ගෙවී යන්නේ මේ ආකාරයටය.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා 'මහසෝනා' නැමැති පුද්ගලයා කැලණිය ප්‍රදේශයට එන බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය ස්ථානාධිපති කේ. ඒ. මුදිත ප්‍රියංකරට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය.

ලෙහෙසියෙන් අල්ලා ගැනීමට නොහැකිව පොලිසිවලට කට්ටි පනිමින් සිටින මේ පුද්ගලයා ගැන තොරතුර ලද සැණින් ඔහු කළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක ඒ පිළිබඳව දැනුවත් කිරීමය. කැලණිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජේ. වයි. බී. ක්‍රිශාන්ත මෙන්ම සහකාර පොලිස් අධිකාරි 1 මහින්ද විල්ලෝරාච්චි යන මහත්වරුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගත් ස්ථානාධිපතිවරයා මෙහෙයුමට අවශ්‍ය කටයුතු සූදානම් කර දුන්නේ නොපැකිළිවය. තවත් නිලධාරීන් කීපදෙනෙකු සමඟ මුදිත ප්‍රිංකර කැලණිය, බියගම පාරේ, 04 කණුව කළු පාලම අසල රැඳී සිටියේ ඒ අනුවය.

'මහසෝනා' පැමිණියේ තනිවමය. මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඔහු ආපසු යමින් සිටියේය. ඔහුගේ සාක්කුව පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකි වූයේ හෙරොයින් මත් කුඩු ග්රෑම් 6 යි මිලිග්රෑම් 200 කි. ගමන් බෑගයේ ලැප්ටොප් පරිගණකයක් මෙන්ම නිල් පාට ඩෙනිම් කලිසමක් හතරට පහට නවා තිබෙනු දුටුවේ තවදුරටත් පරීක්ෂා කිරීමේදිය. මෙම කලිසම දිග හැරිය විට ඒ තුළ සඟවා තිබු ජීව අත් බෝම්බය පොලිසියේ ඇස ගැටෙන විට ඔහුගේ ඇස් උඩ ගියේ කර කියාගත හැකි දෙයක් නොමැතිවය. එය විදේශීය රටක නිෂ්පාදිත එකකි. රංගන හෙවත් 'මහසෝනා' කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට රැගෙන ආවේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. වෙළෙඳ සැලක් බිඳ සොරකම් කළ මුදල්වලින් මත්කුඩු පානය කළ මොහු පරිගණකය රැගෙන යමින් සිටියේ තවත් කුඩු තොගයක් සඳහා එය මුදල් කර ගැනීමටය.

“යාළුවෙක් දුන්නු එකක් මේක... එයාට ආපහු දෙන්නයි මං අරන් ආවේ...“

ඔහු අත් අබෝම්බය ගැන පැවසුවේ එවැන්නක් වුවත් පොලිසිය සිතන්නේ එය මුසාවක් විය හැකි බවය. කැලණිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, වත්තල, බියගම ආදි පොලිස් වසම්වල වෙළඳසැල් 15 ක් කඩා ඇති බව අනාවරණය වන්නේ ඉන් පසුවය.

ඉන් අපරාධ තුනකට විසි හැවිරිදි තරුණයෙක් ද හවුල් කර ගැනීමට කටයුතු කර තිබුණේ මේ තරුණයා මත් කුඩුවලට ලොල් විමේ හේතුව නිසාය. ඔහු අත්අඩංගුවට ගත්තේ වනවාසල ප්‍රදේශයේදිය. මෙම වෙළඳසැල් බිඳ භාණ්ඩ පැහැර ගැනීම්වලට මොහු ඍජුවම සම්බන්ධ බවට පොලිසිය සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් තහවුරු කර ගැනීමට කටයුතු කළේ ඔහුගේ රුව එම දර්ශනවලට සැසදන බැවිනි.

එමෙන්ම මේ සඳහා ගමන් කිරීමට යොදා ගත් පාපැදියක් සහ යතුරු පැදියක් ද පොලිසිය භාරයට ගත්තේ සැකකාර තරුණයාගේ නිවෙසේ තිබියදීය.

වෙළඳසැල් බිඳ සොරා ගත් කිරිපිටි, මිරිස් කුඩු, සබන්, සිගරට්, බිස්කට්, පරිප්පු, රින්සෝ ඇතුළු මෙකී නොකී සියලු දේපළවලින් කොටසක් මට්ටක්කුලිය, කඳාන, හුණුපිටිය ආදි ප්‍රදේශවල පුද්ගලයින්ට විකුණා ඇති අතර කොටසක් පොලිසිය භාරයට ගත්තේ ඔහුගේ නිවෙසේ සඟවා තිබියදීය. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් බිඳ සොරා ගත් හිල්ටි මැෂිම් 03, වයර් රෝල්, කටර් එක ඇතුළු දේපළ සඟවා තිබුණේ මොහුගේ කැලණිය ප්‍රදේශයේ ඇති තාවකාලික නිවෙසේය.

පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි ඇප මත සිටින තිස් දෙහැවිරිදි විවාහකයෙකු වන 'මහසෝනා' හා ඔහුගේ අඩි පාරේ යමින් තවමත් ශිල්ප ප්‍රගුණ කර ගනිමින් සිටි ගෝලයාගේ ද දෑත්වලට මාංචු වැටුණේ ඒ ආකාරයටය.

සැරයන් 38636 අධිකාරි සමඟ කෝසතාපල්වරුන් වන 68475 කුමාර, 77930 ගයාන්, 82159 කුමාර, 92347 දුනුකාර, 102544 රාජපක්ෂ හා පොලිස් සැරයන් රියදුරු 3966 ජයකොඩි යන නිලධාරි පිරිසගේ සහය ද නියෝජ්‍ය ස්ථානාධිපති කේ. ඒ. මුදිත ප්‍රියංකරට නොඅඩුව ලැබුණේ මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහාය.

 

Comments