කොළඹ පාතාලේ ලොකුම වෙඩික්කරු අල්ලන්න පොලිසිය කළ මෙහෙයුම | සිළුමිණ

කොළඹ පාතාලේ ලොකුම වෙඩික්කරු අල්ලන්න පොලිසිය කළ මෙහෙයුම

සැප්තැම්බර් 28 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නව කැලණි පාලම යටදී වෙඩි තැබීමක් සිදු වන්නේ ඔය අතරය. ඒ සම්මුගන් රාජා සංජුවන් නොහොත් 'අරුන්' නමැත්තකු ඉලක්ක කරගෙනය. නාඳුනන වෙඩික්කරුගේ වෙඩි ප්‍රහාරයෙන් 'අරුන්' දිවි බේරා ගන්නේ අනූනවයෙනි. ඒ පණ එපා කියා දිව යාමෙනි.

ඒ මොහොතේම වෙඩි තැබීම පිළිබඳ විමර්ශන අරඹන ග්‍රෑන්ඩ්පාස් පොලිසියට 'ආමි සම්පත්' නමැති ජාවාරම්කරුගේ මත්කුඩු සේදවත්තේ බෙදා හරින ප්‍රධාන නියෝජිතයා ගැන තොරතුරක් ලැබෙන්නේය. මේ වෙඩි තැබීමටත් මත්කුඩු ජාවාරමක කොතැන හෝ සම්බන්ධයක් ඇත්යි සිතා විමර්ශන අරඹන පොලිසියට වෙනස්ම තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය. එම ජාවාරම්කරුගේ බිරිය සමඟ 'අරුන්' ඇති කර ගෙන තිබුණු සමීප සම්බන්ධයක් මුල් කරගෙන ජාවාරම්කරු විසින් කළ ඉල්ලීමකට අනුව 'ආමි සම්පත්' එම වෙඩි තැබීම කර ඇති බවට පසුව කරුණු අනාවරණය විය. ඉන්දියාවට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රන්සෙම්බුවගේ චාමර සම්පත් නොහොත් 'ආමි සම්පත්' ගැන ද පොලිසිය මේ දිනවල පසුවන්නේ දැඩි විපරමෙනි. ඒ 'ආමි සම්පත්' ඉන්දියාවේ සිට මෙරට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් නිසාය.

දිගින් දිගටම පරීක්ෂණ පවත්වන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය 'අරුන්ට' වෙඩි තැබීමට 'ආමි සම්පත්ට' කොන්ත්‍රාත්තුව දුන් සේදවත්තේ පදිංචිකරුවකු වන ටී. දුෂ්‍යන්ත නොහොත් 'කන්නා' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු බව කියන සී. සුරේන්ද්‍රන් නොහොත් 'සුමන්' නමැති පාතාල අපරාධකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී 'කන්නා' නමැති සැකකරු සතුව තිබී රිවෝල්වරයක් ද පොලිසිය සොයා ගන්නා ලදී. එසේම එම වෙඩි තැබීමට වෙඩික්කරු ගමන් කළේ යැයි කියන යතුරුපැදිය ද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් සොයා ගන්නේ ඉන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් 'සුමන්' ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බැවින් ඔහු පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙනම විමර්ශනයක් අරඹන්නේ ඉන් පසුවය. ඒ 'සුමන්' සමඟ 'අරුන්' ඝාතනයට පැමිණි වෙඩික්කරු කවුරුන් ද යන්න හෙළි කර ගැනීමටය. දිගින් දිගටම සිදු කරනා ප්‍රශ්න කිරීම් හමුවේ 'සුමන්ට' පොලිසිය හමුවේ ඇත්ත කියන්නට සිදු වන අතර එහිදී නම සඳහන් පුද්ගලයකු පිළිබඳ පොලිසියේ උකුසු ඇස යොමු වන්නේ ඉන් අනතුරුවය.

එතැන් පටන් වෙඩික්කරු පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ තීක්ෂණ ඇස යොමුව පැවතිණි. ඔය අතරතුර පසුගියදා වෙඩික්කරු කෑගල්ල ප්‍රදේශයේ සිටිනා බවට තොරතුරක් ලැබිණි. සැණින් පොලිස් නිලධාරීන් කෑගල්ලට ගොස් පරීක්ෂණ සිදු කළ ද සැකකරු අල්ලා ගැනීමට හැකි වන්නේ නැත. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංගට ඔත්තුකරුවකුගෙන් ආරංචියක් ලැබෙනුයේ වෙඩික්කරු රාජගිරියට පැමිණ සිටින බවටය. ඒ මොහොතේම උප පොලිස් පරීක්ෂක මධුරංග ඇතුළු නිලධාරීන් පිරිසක් රාජගිරියට පිටත්ව යන්නේ සැකකරු පිළිබඳ සොයා බැලීම සඳහාය. තොරතුර නිවැරදිය. රාජගිරිය මොරගස්මුල්ලේ නිවෙසකදී සැකකරු පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. එසේම සැකකරු සිටි නිවෙස පරීක්ෂා කිරීමේදී අල්මාරියේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්රෑම් 84ක්, ගිනි අවියක් සහ පතරොම් 11ක් මෙන්ම 'අරුන්ට' වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙලෙස අත්අඩංගුවට පත් වන්නේ විජේසිංහ ආරච්චිලාගේ දොන් ජෝන් ඇන්ටනී නමැත්තෙකි. මොහු පාතාලයේ අබිරහස් වෙඩික්කරුවකු ලෙස හැඳින්වෙන අතර පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පසුගිය කාලයේ සිදු කළ වෙඩි තැබීම් තුනක් පිළිබඳ තොරතුරු හෙළි වන්නේ ඉන් අනතුරුවය.

මත්කුඩු ආරවුලක් නිසා පසුගිය ජූලි 11 වැනිදා බ්ලූමැන්ඩල් පොලිස් වසමේ පිහිටි මාදම්පිටියේ මත්පැන් හලක් අසලදී සුමති ප්‍රසාද් කුමාර නොහොත් 'මුට්ටේ' නමැති අයට වෙඩි තබන්නේ ද මේ වෙඩික්කරු බව හෙළි වන්නේය. යතුරුපැදියකින් පැමිණ ඇති මේ වෙඩික්කරු ඔහුට වෙඩි තබා ඇත්තේ මාර්ගයේ රැඳී සිටියදීය. වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ ඔහු දිවි බේරා ගෙන ඇත්තේ දිව ගොසිනි. ඒ නිසා ඔහුට අඩුම තරමින් තුවාලයක්වත් සිදු වී නැත.

දෙවැනි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජූලි 12 වැනිදා වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදියේ, ජින්තුපිටියේදීය. ලෙටෝරියන් මිලාන් නොහොත් කිඹුලා ඇළ ප්‍රදීපන් නමැති අය ඉලක්ක කර ගෙන එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. එම පුද්ගලයා පෙර පාසලේ සිට යතුරුපැදියකින් සිය දරුවා රැගෙනවිත් බිරියට දෙන අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණ එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. එහිදී වෙඩි වැදීමකට ලක්වුණු ප්‍රදීපන් දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබා සුවය ලැබීය.

බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර ප්‍රදේශවල සිදු වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය බෙදා හැරීම් හේතු කොටගෙන මේ වෙඩි තැබීම් දෙකම සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අනාවරණය කර ගන්නා ලදී. එහිදී තෙවැනි වෙඩි තැබීම වන පසුගිය සැප්තැම්බර් 28 වැනිදා නව කැලණි පාලම යටදී 'අරුන්' නමැත්තාට වෙඩි තබා ඇත්තේ ද ඇන්ටනී බව පාපෝච්ඡාරණය කරන්නේය. මේ වන විට ඇන්ටනී නමැත්තා බන්ධනාගාර ගත කර තිබේ.

පූකුඩුකන්නා සහ කිඹුල ඇළ ගුණා දීර්ඝ කාලීනව ගැටුම් ඇති කරගෙන සිටින පාතාල පාර්ශ්ව දෙකකි. මේ වන විට කිඹුල ඇළ ගුණාගේ පාර්ශ්වයට 'ආමි සම්පත්ගේ' පාර්ශ්වය එක් වී සිටින අතර පූකුඩිකන්නාගෙන් පළි ගැනීමට මේ වෙඩි තැබීම් සිදුව ඇති බවට ද කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තොරතුරු අනාවරණය කර ගන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන (57241) උපුල්, (51235) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (73011) සමන්, (74400) ජනිත්, (3122) උදයංග, (88139) ලසන්ත, (11509) චතුරංග, (1117) මධුමාල් සහ පොලිස් කොස්තාපල් රියැදුරු (80215) විචක්ෂණ යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

Comments