
මේ මුළු රටටම මහ වැසි ඇද හැලෙන සමයකි. වැස්ස නිසා මේ වන විට සිදුවුණු අනතුරු සංඛ්‍යාවද නිමක් නැත. පස් කඳු කඩා වැටී මාර්ග අවහිර වී ගංවතුරට යට වී සිදුවී ඇති අලාභ හානියද සැලකිය යුතු තරම්ය. වැස්සත් සමඟ ඇතිවන අකුණු නිසා සිදුවන අනතුරුවල ද අඩුවක් නැත. අකුණු අනතුරුවලින් බේරී සිටීම සඳහා වගකිවයුත්තන් මහජනතාව කොපමණ දැනුවත් කළත් ඇතැමුන් ඒවා පිළිපදින අයුරක් පෙනෙන්නට නැත.
අකුණු අනතුරු නිසා සිදුවන ජීවිත හානිවල ද යම් වැඩිවීමක් පෙනෙන්නට ඇත්තේ මේ නිසාය. අකුණු අනතුරුවලින් මියයන පුද්ගලයන් නිසා ඔවුන්ගේ පවුල්වල අයට ද දුක් කරදර රැසකට මුහුණ දීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. තමන්ගේ සැමියා බිරිය දරුවන් ඥාතීන් මෙවැනි අනතුරුවලින් මිය යාම නිසා අසරණ වන අය ද මේ සමාජයේ විරල නැත.
අකුණු අනතුරකින් පුද්ගලයකු අකාලයේ මරුමුවට පත්වීමේ සිද්ධියක් පුත්තලම දිසාවේ නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයෙන් වාර්තා වූයේ පසුගියදාය. නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරකදී මේ සිද්ධිය වූයේ පසුගිය 13 වැනිදා සවස් යාමයේයි.
කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි තිදෙනකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් කාන්තාවන් දෙදෙනෙක් රෝහල් ගත කරන ලද්දේ එදින සවස් කාලයේය.
13 වැනිදා සවස එම ප්‍රදේශයට ඇදහැළුණු සුළු වර්ෂාවත් සමඟ කුඹුරේ වැඩ කරමින් සිටි මෙම පිරිසට අකුණු සැර වැදී තිබිණි. පසුව ප්‍රදේශවාසීන් 1990 ගිලන්රථ සේවයට මේ බව දැනුම් දීමෙන් අනතුරුව තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කැරිණි. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මිය ගොස් තිබුණේ අවාසනාවන්ත ලෙසිනි.
නවගත්තේගම, රඹකනයාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වන්නිනායක මුදියන්සේලාගේ සුමිත් කුමාර නමැති 39 හැවිරිදි අයකු එලෙස අකුණු සරින් මිය ගියේය. ඔහු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවයේ නිරතව සිටි අයෙකි.
අකුණු සර අනතුරින් බරපතළ පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඔහුගේ බිරිය වන 35 හැවිරිදි අතපත්තු මුදියන්සේලාගේ සුනේත්‍රා අතපත්තුය. ඇය නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරිනියකි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
අකුණු සර වැදී දැඩි කම්පනයට පත් කහදව හේරත් මුදියන්සේලාගේ මානෙල් කුමාරි නැමැති පනස් හැවිරිදි කාන්තාවක් ගල්ගමුව රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන්නීය.
මේ සිද්ධිය ඇසින් දුටු අයකු පවසන්නේ මෙවැනි කතාවකි.
“එදා 13 හවස අපි කුඹුරේ වැඩ කරමින් හිටියේ... ලොකු ශබ්දයක් ඇහුණා. ඒක අකුණක් කියලා දැනගත්තේ පස්සේ. අකුණු වැදුණු හැටියේම කීප දෙනෙක් තැන් තැන්වල වැටිලා හිටියා. එක ගෑනු කෙනෙක්ගේ ඇඳුම් පවා පිච්චිලා තිබුණා. කනේ තිබුණු කරාබුව කරේ මාලේ පවා ගොඩක් පිච්චිලා තිබුණා. අපි ඒ එක්කම හූ කියලා කෑ ගැහැව්වා. කට්ටිය දුවගෙන ආවා. 1990ට කතා කරලා තුන්දෙනාම ඉස්පිරිතාලෙට යැව්වා. එක්කෙනෙක් මියගියා කියලා දැනගන්න ලැබුණා.“
ස්වාභාවික අනතුරු නිසා සිදු වූ තවත් ඛේදවාචකයක් එලෙස ඉතිහාසයට එක් වූයේ නවගත්තේගම කිරිමැටියාව පමණක් නොව රටම කම්පාවට පත් කරවමිනි.