කුවේටයේදී අසරණ වී ගුවනින් ආ රොස්කෝට ජීවිතය දුන් මිනිස්සු | සිළුමිණ

කුවේටයේදී අසරණ වී ගුවනින් ආ රොස්කෝට ජීවිතය දුන් මිනිස්සු

- රුපියල් 100-200 පවා පරිත්‍යාග කළ අය සිටියා
- රොස්කෝ වෙනුවෙන්ම හිමිකාරිනිය යළි ලංකාවට
- අනතුරට පත්වූ රොස්කෝගේ ජීවිතය බේරාගන්න තිබුණේ එක් දිනක් පමණයි 
- රොස්කෝ ලංකාවට ගෙන්වා ගැනීමට ලක්ෂ 13.5ක්

මිහිපිට උපන් සැමටම ජීවත් වීමේ අයිතිය හිමිය. නමුත් එවැනි අයිතීන් පවා අහිමි කරමින් ආදරයෙන් තමන් හැදූ වැඩූ දෙමවුපියන් පවා පාරට ඇද දැමූ සිදුවීම් ඕනෑ තරම්ය. යාන්ත්‍රික වූ ලෝකයේ මහ පොළොව මිනිසාටම සතු කරගන්නට වෙහෙස දැරීම නිසා අද පෙර නොවූ විරූ ගැටුම් ඇති වී ඇත්තේය. මානුෂීය සබඳතා පවා බිඳ දමමින් සතුන්ටත් හිමි මේ ලොව ඩැහැ ගන්නට වෙර දරන්නා වූ කාලයක මානුෂීය මෙහෙවරක යෙදුණු මිනිසුන්ගේ මේ කතාව හදවත් නැත්තන්ට හදවත් විවර කරවන්නට සමත් වන්නකි. 

විථී සුනඛයකු ලෙස කුවේට් රටේ වැලි කතරක උපන් පුංචි රොස්කෝට තම මවුබිමේ ජීවත් වීමේ වරම් අහිමි වන්නේ අකාරුණික ලෙසය. ඒ කුවේට් රැකියාවේ නියුතු ලාංකික තරුණියක් විසින් රොස්කෝව ආදරයෙන් හදාවඩා ගැනීමේ සාපය නිසාවෙනි. කුවේට් රටේ සේවය කරන ඇය තක්ෂිය. තවමත් තරුණ වියේ පසුවන ඇයට මේ සුනඛ පැටියා හමු වන්නේ කුවේට් කාන්තාරයක සීතලේ ගැහෙමින් කිසිදු හවුහරණක් නොමැතිව සිටි මොහොතකය. සතුන් කෙරේ දයානුකම්පිත හදවතක් ඇති තක්ෂි මේ සුනඛ පැටියා ගෙනැවිත් හදා වඩා ගන්නේ කුවේට් රටේ වූ දැඩි නීති පවා නොදැනය. කුවේට් වැසියන්ට ඇති තරමට සතුන් හැදීමේ නීතිමය බලපෑමක් නොතිබුණ ද, පුරවැසියන් නොවුණු තක්ෂි වැනි අයට සතුන් හැදීමට අයිතියක් නොමැත. ඒ කුවේට් රටේ සතුන් හැදීමේ නීතියේ ස්වභාවයයි.

කාන්තාරයේ තනිවූ මේ සුනඛයාට නම වැටුණේ රොස්කෝ කියාය. හැදී වැඩුණු රොස්කෝගේ පෙනුමද ගාම්භීරත්වයක් ඉස්මත් කළේය. පුංචි රොස්කෝ දිනෙන් දින ලොකු වන්නේ තක්ෂිගේ ආදරය කරුණාව මධ්‍යයේය. දිනෙන් දින ලොකු වෙන රොස්කොගේ කටහඬ ද ශබ්දය. තක්ෂිගේ මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ රොස්කෝගේ ඒ බිරීම දිනෙන් දින මහල් නිවැසියන්ට නොරුස්සන කරුණක් විය. රොස්කෝට විරුද්ධව කුවේට් නීතිය ඉස්මතු වන්නේ රොස්කෝගේ බිරිල්ලත් සමඟය. මහල් නිවැසියන් එය රපෝර්තු කරන්නේ මහල් නිවාස හිමිකරුටය. දිනක් නීතිය අතට ගත් කුවේට් ජාතික මහල් හිමිකරු පැමිණ පවසන්නේ ඇයට රොස්කෝ ඉවත් කිරීමට දින 20 ක් කාලයක් දෙන බවත්, එසේ නොවුණහොත් රොස්කොගේ ජීවිතය අනතුරට පත්වන බවත්ය.

කුවේට් නීතිය හමුවේ කිසිවක් කර කියා ගැනීමට අපොහොසත්ව අසරණ වූ තක්ෂි මේ බව මුහුණු පොත හරහා කියන්නේ තමන්ගේ දරුවෙක් වැනි වූ රොස්කෝව බේරා දෙන ලෙස ආයාචනා කරමිනි.

නීතීඥ විශාකා සූරියබණ්ඩාර මේ කතාවට සම්බන්ධ වන්නේ ඇගේ ෆේස්බුක් සටහනේ වූ මේ පණිවිඩය දැකීමෙන් අනතුරුවය. නීතීඥ විශාකා සූරියබණ්ඩාර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපතිනියයි. එසේම ඇය රබර් පර්යේෂණායතනයේ සභාපතිනිය වූයේ 2019 වසරේදීය. එසේම සත්ත්ව සුරැකීමේ කටයුතු වෙනුවෙන් ඇය නිහඬ සේවයක් ඉටු කරන්නියකි. නීතිඥවරිය හා කුවේට් රටේ රොස්කෝගේ හිමිකාරිණිය අතර විශ්වාසයක් ගොඩනැඟෙන්නේ රොස්කෝගේ ජීවිතය ආරක්ෂා කිරීමේ මේ බාරදූර කර්තව්‍යය හරහාය.

“ තක්ෂිට දින 20ක කලයක් පමණයි තිබුණේ රොස්කෝව ඉවත් කිරීමට. දින 20න් ඉවත් නොකළොත් මේ රටේ නීතිය අනුව රොස්කෝගේ ජීවිතය අනතුරේ. අපි හිතුවේ නැහැ රොස්කෝව ලංකාවට ගෙන්වා ගැනීමට මෙතරම් විශාල මුදලක් වැය වන බව. නමුත් ලක්ෂ 13.5ක්. සතෙක්ගේ ජිවිතයට ලක්ෂ 13.5ක තරම් වටිනාකමක් දෙන්නේ කොහොමද? මම ඒ ගැන දිවා රෑ කල්පනා කළා. කුවේටයේ සිටි තක්ෂිත් තමන්ගේ රොස්කෝ ලංකාවට එවීම ගැන කිසිත් දැන සිටියේ නැහැ. නමුත් ඒ වන විටත් තක්ෂි රොස්කෝ වෙනුවෙන් යම් මුදලක් එකතු කර තිබුණා. ඇය පවා සිතා ඇත්තේ රුපියල් ලක්ෂ පහක් වැනි මුදලකින් රොස්කෝව ලංකාවට එවීමට හැකි වෙයි කියලා. නමුත් රොස්කෝව ගෙන්වීම හිතාගෙන හිටියට වඩා අමාරු කාර්යයක් වුණා. අපිට ඉතිරිව තිබුණේ දින හතයි. මගේ හිතවතුන් එක්කරමින් මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. කොපමණ වියදමක් ගියත් රොස්කෝව කෙසේ හෝ බේරා ගැනීමට මට ඕන වුණා. නමුත් සමහරුන්ට මෙය විහිළුවක් වුණා. කැලිෆෝනියාවේ ලලිනි නම් වෛද්‍යවරිය ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වූණා, මෙයින් වැඩි මුදලක් ලබා දෙන්නට. සමහරු රුපියල් 100 - 200 පවා පරිත්‍යාග කර තිබුණා. අවසානයේ රොස්කෝගේ ජිවිත ඉරණම තීරණය වීමට කලින් දිනයේ රුපියල් ලක්ෂ 13.5 ක වියදමින් රොස්කෝව ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවුණා“ඒ නීතිඥ විශාකා සූරියබණ්ඩාරය.

රොස්කෝ ලංකාවට ගෙන්වා ගැනීමේ කාර්යයේදී දායක වූවන් ඇය සිහිපත් කරන්නේ හදවතින්මය. ඇමරිකාවේ ජීවත් වන වෛද්‍ය ලලනි, ශ්‍රී ලංකාන් ගුවන් සේවයේ කුවේට් කළමනාකරු, පශු වෛද්‍ය මහාචාර්ය දංගොල්ල, ගුවන් තොටුපළ බලධාරීන් ඇතුළු සියලු දෙනා මෙන්ම රොස්කෝ වෙනුවෙන් රුපියල් 100-200 පවා පරිත්‍යාග කළ අය මේ උතුම් සත්කාර්යයට දායක වූවෝය.

රොස්කෝට යළිත් ජීවත්වීමේ අයිතිය හිමි විය. දැනටමත් නීතිඥ විශාකා සූරියබණ්ඩාර රොස්කෝ වෙනුවෙන් මහරගම පිහිටි සිය නිවෙස වෙන් කර ඇත්තේය.

“ රොස්කෝ මගේ මහරගම පිහිටි ගෙදර මේ වන විට සුවෙන් ඉන්නවා. වෙලාවකට රොස්කෝ සාංකාවෙන්. තවමත් රොස්කෝට මේ පරිසරය හුරු නැහැ. අපේ පරිසරයේ සතුන් ඌ දැක නැහැ. වැස්සක් දැකලා නැහැ. හරියට පිටසක්වලින් ආපු ජීවයෙක් වගෙයි. නමුත් මේ වන විට පරිසරයට හුරු වෙමින් ඉන්නවා, වෛද්‍ය අධීක්ෂණය ඇතුව”ඇය පවසන්නීය.

රොස්කෝට මේ පරිසරය ආගන්තුක වුවද ඊට රොස්කෝ සෙමින් සෙමින් අනුගත වන්නේය. සමහරක් දිනක රොස්කෝගේ ශ්‍රී ලාංකික ආහාර වේල ඌට රසවත් ය. තවත් විටක ඒවා ප්‍රතික්ෂේප කරමින් කල්පනා කරමින් සිටින්නේ තම හාම්පුතා ගැන විය යුතුය. මේ හේතුවෙන් රොස්කෝගේ හාම්පුතා නියමිත දිනට කලින් යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ රොස්කෝ වෙනුවෙනි. රොස්කෝ වෙනුවෙන් තක්ෂිගේ ආදරය එතරම්ම ඉහළය.

“ මහ පොළොවේ ජීවත් වීමේ අයිතිය අපිට වගේම සතුන්ටත් හිමියි. එය ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. බලහත්කාරකමෙන් කුහකමෙන් ඔවුන්ගේ නිජබිම් අත්පත් කර නොගත යුතුයි. ආදරයෙන් ඇති දැඩි කළ සතුන් පවා පාරට ගෙනැවිත් දමා යන යුගයක මෙවන් තරුණියකගේ ඒ ආදරය, කැපවීම රටටම ආදර්ශයක්.“ නීතිඥ විශාකා සූරියබණ්ඩාර පවසන්නීය.

Comments