පුංචි කැස්සකට ජීවිතය වෙනස් කළ හැකිද? පිළිකා රෝගීහු වේදනා විඳිමින් වුව ජීවත් වෙති. වකුගඩු රෝග ඇත්තෝ ද රුධිරය මාරු කරමින් ජීවිතය අල්ලාගෙන සිටිති. වකුගඩු බද්ධ කරයි. අක්මාව ද බද්ධ කරයි. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු කාලයක කැස්ස යනු කුමක් ද? එය රෝගයක් නොවේ යැයි ඔහු කල්පනා කළේය.
බණ්ඩාරගේ පළමු ප්‍රතිකාරය වූයේ පවුලේ වෛද්‍යවරයා හමුවීමය. ඔහුගේ උපදේශනය වූයේ සෙම ගතිය වැඩි නිසා උණුවතුර පානය කළ යුතු බවය. වෛද්‍යවරයා සෙම වියළා දැමීමට පෙති හා කරල් ලබා දුන්නේය. ප්‍රතිකාරය සාර්ථක වූයේ නැත. සෙම වියැළීම නිසා කැස්ස වැඩි වූ අතර ශාරීරික අපහසුව ද වැඩි විය. බණ්ඩාරගේ දෙවැනි ප්‍රතිකාරය වූයේ සෙමට ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යෑමය. ඔහුගේ උපදේශනය වූයේ සෙම කරවීම නිසා කැස්ස තදබල වන බවය. අපථ්‍ය ආහාර ගැනීම නවතා දමන ලෙස ද සන්ධ්‍යාවේ ස්නානය මුළුමනින්ම නතර කර දමන ලෙස ද වෛද්‍යවරයා කියා සිටියේය. ඔහු පැණියක් ලබා දුන් අතර එය මාසයක් පුරාවට උදේ හවස පානය කළ යුතු විය.
පැණිය නිසා සෙම බුරුල් විය. කැස්ස තවදුරටත් වැඩි වූ අතර කහින වාරයක් පාසා අප්‍රසන්න ශබ්දයක් නිකුත් විය. පාන්දර යාමයට කැස්ස හා ශාරීරික අපහසුව හොඳටම වැඩි විය. ගෙදර කිසිවකුට නින්දක් නැත. අසල්වැසියෝ ද බණ්ඩාරගේ නිවෙස දෙසට විස්මයෙන් හා සැකයෙන් එබී බලන්නට පටන් ගත්හ.
"සෙම සෙම කියලා බලාගෙන ඉඳලා හරියනවද?"
"දේශගුණේ වෙනස් වුණාම සෙම ඇවිස්සෙනවා! අපි තව ටිකක් බලමු!"
"දැන් සති දෙකක් වෙනවා! අපි හොස්පිටල් ගිහින් නවතිමු!"
"කලබල වෙන්ඩ එපා! කැස්ස කියන්නෙ මාරාන්තික රෝගයක් නෙමෙයි!"
බණ්ඩාරගේ බිරිය වාද කළා පමණක් නොව ටිකෙන් ටික ඔහු වෙතින් ඈත් වීමට ද පියවර ගත්තාය. පළමුව ඇය නිදන කාමරය වෙනස් කොට දරුවෝ සමඟ නිදන්නට පටන් ගත්හ. දෙවැනුව කුඩා දරු දෙදෙනාට සිය පියා ළඟට නොයන ලෙස තරවටු කළාය. තෙවැනුව බණ්ඩාරගේ පිඟාන හා කෝප්පය වෙනම තියන්නට පටන් ගත්තාය.
බණ්ඩාරගේ ජීවිතය මේ දිනවල ගෙවී යන්නේ පාළුවෙන් දුකෙන් හා වේදනාවෙන්ය. ඔහු ඉස්තෝපුවේ වේවැල් පුටුවට බර දී මිදුලේ කෙළවරක සෙල්ලම් කරමින් සිටින දරු දෙදෙනා දෙස බලා සිටියේය. ඔවුන් කැඳවා තම ඔඩොක්කුවට ගෙන හිස සිපගත යුතුයැයි සිතුණ ද වහා ම එම සිතිවිල්ල යටපත් කර ගත්තේ ය. බිරිය දරුවන් ගැන ඇස ගසාගෙන සිටී. බණ්ඩාරට නැමීබියාවේ ජීවිතය සිහිපත් විය.
නැමීබියාවේ කළු ජාතිකයන් අපේ මිනිසුන්ට වඩා කාරුණික යැයි වරෙක ඔහුට සිතෙයි. ඔහු රැකියාව කළේ නැමීබියානු කඳුවැටියට ආසන්න තඹ ආකරයකය. එහි කළු ජාතික කම්කරුවෝ තම සගයකුගේ කරදරයකදී වහා ඉදිරිපත් වෙති. තම සගයා වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ඔවුන් සූදානම්ය. ඉතා ශක්තිමත් පරපුරකට අයත් නැමීබියානුවෝ හිටිහැටියේ ගහ ගනිති. එහෙත් ඒ මොහොතකට පමණි. විරුද්ධවාදියා වුව විපතකට පත්වුවහොත් දිවි හිමියෙන් සාත්තු සප්පායම් කිරීම ඔවුන්ගේ සිරිත විය. ඔවුන්ගේ තද කළු හමට යටින් මනුෂ්‍යත්වය රුධිරයෙහි තැන්පත් වී ඇතැයි ගැඹුරු සිතිවිල්ලක් බණ්ඩාරට ඇති විය.
"හෙට ළය රෝහලට යන්ඩ ඕනෑ! මං ත්‍රීවීල් එකකටත් එන්ඩ කිව්වා!"
"තමන් හිතන්නෙ මට ක්ෂය රෝගෙ කියලද?"
"මොන රෝගෙ වුණත් කමක් නෑ මෙතන ළමයි දෙන්නෙක් ඉන්නවා!"
"ඇයි පුංචි දේකට මෙච්චර බය වෙන්නෙ!?"
"රට ඉඳල ආපු මිනිස්සු ගැන මට විශ්වාසයක් නෑ!"
බිරියගේ එක වචනයකින් බණ්ඩාරගේ හිත හොඳටම රිදිණි. අදටත් බිරිය හා දරුවන් යැපෙන්නේ තමන් උපයාගත් මුදලින්ය. මෙතෙක් ඔහු පවුලේ යුතුකම් හා වගකීම් මගහැර නැත. බණ්ඩාර නාස්තිකාරයෙක් නොවේ. නිවෙස අලුත්වැඩියා කිරීමටද, කුඩා මෝටර් රථයක් මිලට ගැනීමටද අවශ්‍ය මුදල් ඔහු ළඟ ඇත. එහෙත් මේ කිසිවක් පිළියෙල වී නැත්තේ අසනීපය නිසාය. කොටින් ම නොනවතින කැස්ස නිසාය. ඔවුහු පසුදා උදෑසන වැලිසර ළය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඉදිරිපිට පෙනී සිටියෝය. වෛද්‍යවරයා ඛේට පරීක්ෂණයක් කළ අතර එය "නෙගටිව්" විය. දෙවැනි පියවර ලෙස පෙණහල්ලට අදාළ "එක්ස්රේ" පිටපතක් ගත යුතු විය. එහි ද රෝගය පිළිබඳ සාධකයක් නොවූ බැවින් එච්.අයි.වී. රුධිර පරීක්ෂණයක් කළ යුතු බව වෛද්‍යවරයාගේ නිර්දේශය විය. එච්.අයි.වී. කියූ සැණින් බිරිය වෛද්‍යවරයාගේ කාමරයෙන් නික්ම ගිය අතර බණ්ඩාරගේ හිත ද ගැස්සීමකට ලක් විය. ඔහු පසුදා කොළඹ ජාතික රෝහලේ අංක 33 කාමරයට ගිය අතර ක්ලාන්ත ගතියක් ද දැනෙන්නට විය. පරීක්ෂණය සඳහා රුධිරය ලබා දුන් බණ්ඩාර ඊට අදාළ රිසිට් පත ද රැගෙන වහාම රෝහලෙන් පිටමං විය.
ඔහු අතීරණාත්මකව මරදාන දෙසට ඇවිදිමින් සිටියේය. බණ්ඩාර නැමීබියාවේ තඹ ආකරයේ වැඩ කරමින් සිටින අතර වරක් බොට්ස්වානා බලා ගියේය. තව වරක් දකුණු අප්‍රිකාව බලා ගියේය. එම රටවල් දෙකෙහිම ශීඝ්‍රයෙන් ඒඩ්ස් පැතිර යයි. එහෙත් අප්‍රිකානුවෝ ඒ ගැන විශාල තැකීමක් නොකරති. ඔවුන්ගේ ලිංගික චර්යාවන් නිදහස්ය. ආහාර වේලක් භුක්ති විඳින්නා සේ ඔවුහු එකිනෙකා සමඟ ලිංගිකව එක් වෙති. බොට්ස්වානාහි අගනුවර වූ ගැබරොන්හි නවින විලාසිතාවෙන් සැරසුණු සුන්දර ස්ත්‍රීහු සිටිති. දකුණු අප්‍රිකාවේ දුඹුරු පැහැති යුවතියන් ලිංගික ආකර්ෂණයෙන් වැඩිය. බණ්ඩාර මේ චාරිකාවලදී දෙවරක් හෝ තුන් වරක් ස්ත්‍රීන් සමඟ පැටලුණු බව ඔහුට මතකය. එහෙත් ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්ය. දැන් ඔහුගේ සිත කියන්නේ සුළු වැරදීමක් සිදුවන්නට ඉඩ ඇති බවය. කෙසේ වුව තීරණයක් ගත යුතුව තිබේ. එක්කෝ දිවි නසා ගත යුතුය. නැතහොත් යළි නැමීබියාව බලා යා යුතුය. තීරණය කුමක් වුව මරණය නිසැක ය. "ඒඩ්ස් මාරාන්තිකයි!" යන පාඨය දෝංකාර දෙමින් ඇසෙන්නට විය.
දින හතරකින් එච්.අයි.වී. පරීක්ෂණ වාර්තාව ලබා දෙන දිනය උදා විය. ඒ වන විට ගෙදර කිසිවකු බණ්ඩාර සමඟ කතාවක් නැත. ආහාර වේල් හා වතුර වීදුරුව කාමරයට තල්ලු කරනු ලැබේ. ඔහු අඳින ඇඳුම් ගොඩ ගැසී තිබුණු අතර ඒවා සේදීමට බිරිය ඉදිරිපත් වූයේ නැත. බණ්ඩාර සුදුමැළි වූ ගතින් යුතුව කොළඹ බලා පිටත් විය.
රෝහල් සේවකයන් තමන් දෙස බලමින් සිනාසෙන බවක් ඔහු දුටුවේ ය. වාර්තාව ලබා දෙන ස්ථානය වෙත ළඟා වෙත්ම බණ්ඩාරගේ ඇඟ ගැහෙන්නට විය. රිසිට්පත පරීක්ෂා කර බැලූ සේවකයා කිසිදු කතාවක් නැතිව වාර්තාව සහිත කවරය බණ්ඩාර අත තැබීය. එය රැගෙන වහා පිටමං වූ ඔහු බොහෝ දුරක් පයින් ඇවිද වාර්තාව කවරයෙන් එළියට ගෙන එහි සටහන් පරීක්ෂා කළේය. එච්.අයි.වී. යන්න සඳහන් වී ඇති කොටුවෙහි නෙගටිව් යන්න ලියා තිබිණි.
ගෙදරට කඩා වැදුණු බණ්ඩාර වාර්තාව සහිත කවරය මේසය මතට වීසි කොට කාමරයට වැදී දොර වසා ගත්තේය. ඔහුට දීර්ඝ නින්දක් අවශ්‍ය වී තිබිණි.