
- පෑලියගොඩින් මීගමුවට ජීප් එකෙන් කුඩු යවලා
- සැකකරුවන් තිදෙනා වත්තල සහ නාත්තන්ඩියේ පදිංචිකරුවෝ
- ත්‍රීරෝද රථයකින් සුඛෝපභෝගී ජීප් රියකට පටවද්දී පොලිසියට කොටු
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට විවිධ ප්‍රදේශවල සිදු කරන ජාවාරම් නිසා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වන අය විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනිමේ අරමුණෙන් මනුෂ්‍ය ඝාතන, කොල්ල කෑම් සහ සොරකම් සිදු කිරීමට පෙලඹීම නිසා ජනතාවට මුහුණ පාන්නට සිදු වී ඇත්තේ ලොකු පීඩාවකටය.
මත්ද්‍රව්‍ය පානය කරන අය සිහි විකල් වී අපරාධ සිදු කිරීමට පෙලඹීමේ වර්ධනයක් පෙනෙන්නට ඇත.
පොලිසියද මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රෑ නොමැතිව විමර්ශනවල නිරත වන්නේ සමාජ යහපත සඳහාය.
රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පෑලියගොඩ - මීගමුව ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන බැංකු ශාඛාවක් අසල දී ඉකුත් අගෝස්තු මස 28 වන දින රුපියල් කෝටි 25ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වීමද පොලිසිය ලද ලොකු ජයග්‍රහණයකි.
එහිදී එම සැකකරුවන් සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 27 ග්රෑම් 252 ක්ද 'කෘෂ්' නමැති මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්රෑම් 288 ක් ද, කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්රෑම් 142ක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වත්තල සහ නාත්තණ්ඩිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 49, 35, 37 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ අදාළ මෙහෙයුම සිදු කළ පොලිස් නිලධාරින් විසිනි.
පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින්ට ලැබුණ තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් කැබ් රථයකින් ගමන් ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ මාර්ගය අසල නතර කර තිබු සැක කටයුතු ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් එම නිලධරයනට නිරීක්ෂණය වන්නේ ක්ෂණයකිනි.
එහිදී අදාළ ත්‍රිරෝද රථයෙන් ජීප් රථයට පෙට්ටි කිහිපයක් පටවමින් තිබී ඇත. විමර්ශන නිලධාරීන් දුටු එම පිරිස කලබල වීම ගැන සැක කළ පොලිස් කණ්ඩායම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ ඒ මොහොතේදීමය. එහිදී එම පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙරත් මෙම ආකාරයට මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.
ඉතාලියේ වසර ගණනාවක්ම රැඳී සිටින පුද්ගලයකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය විය. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා මීට පෙර කිසිම අවස්ථාවක පොලිසියට හසුවී නැත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ද මේ විමර්ශනවලට සහභාගි විය. මෙම මත්ද්‍රව්‍ය තොගය පෑලියගොඩ සිට මීගමුවට රැගෙන යාමට සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණ සිටි නාත්තණ්ඩියේ පදිංචිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ද කාලයක් ඉතාලියේ පදිංචිව සිටි අයෙකු බව හෙළි විය. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දි හෙළි වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයා ඔහු හඳුනාගෙන ඇත්තේ ඉතාලියේදී බවය.
ඉතාලියේ සිටින එම පුද්ගලයා දුරකතන ඇමතුම්වලින් දෙන නියෝගවලට අනුව මත්ද්‍රව්‍ය තොග පෑලියගොඩ සිට මීගමුවට රැගෙන යන බවත් මීගමුවේ සිටින පිරිස් එම මත්ද්‍රව්‍ය තොග බාර ගන්නා බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළි විය. මෙම මත්ද්‍රව්‍ය තොග බහාලුම්වල සඟවා මෙරටට රැගෙන එන බවට පොලිසියට සැක ඇති වී තිබෙන අතර, මේ වන විට ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබේ.
මීට අමතරව මෙම මත්ද්‍රව්‍ය බොහෝ විට ආසියාතික නොවන රටකින් රැගෙන එන ඒවා බවද විමර්ශන නිලධාරියෙක් පැවසීය. මෙහිදී හමු වු කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍යවල මිල අධික වන අතර ඒවා ඇතැම් සුපිරි ධනවත් ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් භාවිත කරන බවට හෙළි වී තිබේ.
එහිදී එම විමර්ශන පොලිස් නිලධාරීන් කණ්ඩායම බාරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් නන්දලාල් ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ 30ක මුදල් අල්ලසක් ලබා දී සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී යාමට උත්සාහ කළ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ නිලධාරීන් එම රුපියල් ලක්ෂ 30 නඩු භාණ්ඩ ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය තොගය සමග කොළඹ මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයට බාර දී තිබේ. ඒ අනුව මේ වන විට මේ වැටලීම සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි. සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය, අදාළ මුදල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 72 ක කාලයක් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට අවසර දුන්නේය.
මේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීට ප්‍රථම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව නඩුවක් පවරා ඇති බවට විමර්ශනවලදී හෙළි විය. මේ වන විට මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජීප් රථය සහ ත්‍රිරෝද රථය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බාරයේ පවතී. මේ සැකකරුවන් තවත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකතන හතරක් ද සොයාගෙන ඇති අතර, එම ජංගම දුරකතන භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ සෙසු පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වත්තල සහ නාත්තණ්ඩිය පදිංචි වයස අවුරුදු 49, 35, 37 යන සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණගේ උපදෙස් මත එම පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් නන්දලාල්, සැරයන්වරුන් වන (36428) ශාන්ත, (13215) බටුවත්ත, කොස්තාපල්වරුන් වන (98192) චන්ද්‍රසිරි, 99249 චතුරංග යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.