
- කලිසමට සවි කළ කැමරාවෙන් කාඩ් කුට්ටමේ රහස් ෆෝන් එකට
- පිටබැද්දරදී ඇල්ලූ සැකකරු ළඟ රුපියල් එක් ලක්ෂ අනූදාහක් විජිත සල්ගාදු
කොළ 52කින් සමන්විත කාඩ් කුට්ටම ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩා කිහිපයකට යොදා ගනු ලබයි. සිවුදෙනෙකු හෝ හයදෙනෙකු එකතු වී පැති දෙකකට හෝ පැති තුනකට බෙදී කාඩ් සෙල්ලම් කිරීම ඕනෑතරම් දැක ඇතිවාට කිසිම සැකයක් නැත. කාන්සිය විඩාව සංසිඳුවා ගන්නට, විනෝද චාරිකාවක් යන අවස්ථාවන්හිදී එම වාහනයේදී සහ නවාතැනේදී, දිනපතා දුම්රියෙන් රැකියාවට යන එන පිරිස් සිය ගමනේ විඩාව තුරන් කරගැනීමේ අරමුණින්, විනෝදයට සෙල්ලම් කිරීම, නිදි වර්ජිතව රැය පහන් කිරීමට, මැජික් පෙන්වන්නට මෙන්ම මුදල් ඔට්ටුවට කාඩ් කුට්ටම උපයෝගී කරගනී. මුදල් ඔට්ටුවට කාඩ් සෙල්ලම් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.
අපේ රටේ බූරුවා ගැසීම, බේබි කැපිල්ල, දෙකඩ බෙදිල්ල, ඕමි ගැසීම, අජූත ගැසීම, බ්‍රිජ් සෙල්ලම් කිරීම, කොළ දෙකේ සූදුව, තුන්සිය හතර යනුවෙන් කාඩ් කුට්ටම් උපයෝගී කරගෙන කරනු ලබන කාඩ් සෙල්ලම් වර්ග කිහිපයක්ම ඇත. කාඩ් කුට්ටමක ස්කෝප්ප, රුවිත, කලාබර, හාරත යනුවෙන් වංශ හතරක් ඇතත් අපේ රටේ මුදල් ඔට්ටුවට බූරුවා ගැසීම සඳහා යොදාගන්නේ 'තනි වංශයේ' කාඩ් කුට්ටමකි. හතර වංශයේ කුට්ටම් 04ක් ගෙන එක් වංශයකින් කොළ 13 බැගින් කුට්ටම් හතරෙන් කොළ 52 ක් සාදා ගෙන ඔට්ටුවට බූරුවා ගසති. මුදල් ඔට්ටුවට කාඩ් සෙල්ලම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඈත පිටිසර ගම්මානවල ඔට්ටුවට බූරුවා ගැසීම ජයටම සිදුවේ. නාගරික ව්‍යාපාරිකයින්, මුදල් උපයා ගැනීමේ අරමුණින් පවත්වන බූරුවා සූදු පිටි ද සුලබව ඇත. ඔට්ටුවට බූරුවා සෙල්ලම් කිරීම ඒක පුද්ගල සෙල්ලමකි. බූරු පිටියේ අයිනක වාඩිලාගෙන ඔට්ටම් ඇල්ලීම තවත් ක්රමයකි. බූරුවා ගැසීම තම ජීවන වෘත්තිය කරගත් පුද්ගලයින්ද ඇතැම් ගම්මානවල ජීවත්වෙති. වැඩි වශයෙන් බූරුවා පිටි පැවැත්වෙන්නේ රාත්‍රී කාලයේය. බූරුවා ක්‍රීඩාවට අති දක්ෂ පුද්ගලයින් බූරු සූදු පිටි පැවැත්වෙන ස්ථාන සොයාගෙන සැතපුම් ගණන් මඟ ගෙවාගෙන යන අවස්ථාද එමටය. විශේෂයෙන් මළ ගෙවල්වල තනි රැකීමට බූරුවා පිටි පැවැත්වේ. බොහෝ අවස්ථාවල එම ස්ථානවල සිදුවන රණ්ඩු සරුවල්වල කෙළවරක් නැත. අධිකරණයෙන් කෙළවර වන 'බූරු පිටි' නැතුවාද නොවේ. බූරුවා ගැසුවත් බලා සිටියත් දෙකම එකම වරදයැයි සමාජයේ කියමනක්ද ඇත.
මැජික් පෙන්වන්නන්ද කාඩ් කුට්ටම උපයෝගි කරගෙන අදහාගත නොහැකි අයුරින් විවිධ මැජික් පෙන්වන්නේ ප්‍රේක්ෂකයින්ගේ දෑස් වසමිනි. අද අප කියන්නට යන්නේද මැජික් නොවුණත් මැජික් මෙන් බූරුවා ක්‍රීඩාවේ යෙදෙන්නෙකු යැයි කියවෙන්නෙකු පිළිබඳවයි.
පිටබැද්දර පොලිස් වසමේ හත්තොටුව ප්‍රදේශයේ ඔට්ටුවට බූරුවා ගසන බූරු පිටියක් පවතින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම බූරු පිටිය බැලීමට යුහුසුලු වූහ.
හත්තොටුව ප්‍රදේශයේදී තරුණයින් කිහිප දෙනෙකු සැක සහිත අයුරින් හැසිරෙන අයුරු දුටු පොලිස් නිලධාරීන් එම තරුණ පිරිස පරීක්ෂා කිරීමට කටයුතු කළහ. ඉන් එක් තරුණයෙකුගේ හැසිරීම් විලාසය පිළිබඳව සැක සිතූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ සිටි ඩෙනිම් කලිසමේ පහළ වාටියට ඉහළින් විශේෂ යමක් තිබූ බව නිරීක්ෂණය කරමින් සාක්කු පරීක්ෂා කිරීමේදී බැටරි ආරෝපණ උපකරණයකට (POWER BANK) සම්බන්ධ කරන ලද වයර් පද්ධතියක් (DATA CABEL) කලිසමේ ඇතුළු පැත්තට සම්බන්ධව තිබෙන බව දුටු බැවින් ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පරීක්ෂා කරන ලදි.
මේ තරුණයාව පූර්ණ පරීක්ෂාවට ලක්කිරීමට ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කළහ. පොලිස් නිලධාරීන්ද වික්ෂිප්ත කරමින් සැකකාර තරුණයාගේ ඩෙනිම් කලිසමේ පාදාන්ත වාටියට ඉහළින් කුඩා සාක්කුවක රඳවා තිබූ කුඩා අධි තාකෂණික කැමරාව හසු විය. ඉතා සූක්ෂම අයුරින් කැමරාවට හසුවන දර්ශන ‘බ්ලූ ටූත්‘ (BLUE TOOTH) තාක්ෂණය ඔස්සේ විශේෂ ස්මාර්ට් දුරකතනය මඟින් නැරඹීමට හැකි බව අනාවරණය කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබිණි. අධි තාක්ෂණික විශේෂ කැමරාව රුපියල් ලක්ෂ 07 ක් පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන් වේ. අධි තාක්ෂණයෙන් යුතු මෙම නවීන උපකරණ පද්ධතිය, ඩෙනිම් කලිසම සමඟ මෙම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.
මහා පරිමාණයෙන් මුදල් ඔට්ටුවට බූරුවා සෙල්ලම් කරන සූදු පිටිවලට ගොස් කලිසමේ පහළ වාටියට ඉහළින් සකසා ඇති සාක්කුවේ ඉතා සූක්ෂම ලෙස රඳවන ලද කුඩා කැමරාව තුළින් ඔට්ටු වන කාඩ් කුට්ටමෙන් බෙදන කාඩ් පත් රහසිගතව කැමරාවට හසුකරගෙන ඔට්ටුවන කාඩ් පතේ වර්ගය ටක්කෙටම කියා වංචනික ලෙස ඔට්ටු දිනා ගනිමින් මුදල් උපයා ගැනීමේ ක්‍රියාවන්වල නිරතවී ඇති බව අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි. මෙලෙස වංචනික අයුරින් උපයන ලද මුදල් යැයි සැක කෙරෙන ඔහු සන්තකයේ තිබූ රුපියල් 1,91,000/= ක මුදලක්ද පොලිස් භාරයට ගැනිණි.
කරුණු සියල්ල අනාවරණය කරගත් පොලිසිය, මෙම විශේෂ කැමරාව ඇතුළු නවීන තාක්ෂණික උපකරණ පද්ධතිය යොදා ගනිමින් වෙනත් අපරාධ, වංචනික ක්‍රියාවන් සිදුකර තිබේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කරන්නේ ඉන් පසුවය.
සැකකාර තරුණයා මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණ.
පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.අයි. සමරනායක, සැරයන් 60788 සම්පත්, 73004 චතුර, 25017 දිසානායක, 25231 සඳරුවන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
අකුරැස්ස මධ්‍යම විශේෂ