හැර ගිය සැමියා ගෙන්වන්න යකැදුරාට බිලි වූ බිරියක් | සිළුමිණ

හැර ගිය සැමියා ගෙන්වන්න යකැදුරාට බිලි වූ බිරියක්

දිවි ගමනේදී හැම දෙනාම මුහුණ දෙන නොයෙකුත් බාධක අභියෝග ජය ගැනීම සඳහා නොපෙනෙන බලවේග පසුපස හඹා යාමටත් ඒවායෙන් අයහපත් ප්‍රතිඵල මෙන්ම නොසිතු විරූ කරදර බාධකවලට මුහුණ දීමට ඇතැමුන්ට සිදුවන අයුරුත් වර්තමානයේ සුලබ දෙයක් බවට පත්ව තිබේ.

දැනුම බුද්ධිය සහ අත්දැකීම් ඔස්සේ ජීවන අභියෝග ජය ගැනීමට වෙර දරන අය එම ගැටලු අභියෝග ජය ගන්නා අතර නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට ගොස් කරදර බාධක මෙන්ම සිය ජීවිත පවා අනතුරට පත් කරගත් අය ද ඒ අතර සිටිති.

මේ එවැනි කතාවකි. මේ සිද්ධිය පළමුවෙන්ම වාර්තා වන්නේ කුරුණෑගල පොලිසියටය. මුදල් ආරවුලක් පිළිබඳ පැමිණිල්ලක් පොලිස් නිලධාරීන් විසින් විභාග කරන අතරතුර ක්‍රම ක්‍රමයෙන් එම පරීක්ෂණය වෙනත් අතකට යොමු වන්නේ පැය කිහිපයකදීය. ස්ත්‍රී දූෂණයක් පිළිබඳ තොරතුරු එකින් එක පොලිසිය හමුවේ දිග හැරෙන්නේ ඔය අතරය. සාලාව ප්‍රදේශයේ සිදු වූවක් බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ පරීක්ෂණ කටයුතු කොස්ගම පොලිසියට භාර දෙන්නේ කුරුණෑගල පොලිස් නිලධාරීන් විසිනි. කොස්ගම පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කරද්දී හෙළි වන්නේ මෙවැනි කතාවකි.

සැකකරු රිමාන්ඩ්

ඇය මාලතීය. කුරුණෑගල පදිංචි තිස්හත් හැවිරිදි විවාහක කාන්තාවකි. ඇගේ ස්වාමි පුරුෂයා ඇය හැර ගොස් ඇත. මේ නිසා සිත් තැවුලට පත් ඇය නොයෙකුත් උපක්‍රම යොදමින් සිය සැමියා තමා වෙත නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ කිසිවකින් පලක් නොවීය.

මුහුණුපොතෙන් සහ අන්තර්ජාලයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදියෙක් ඇය හඳුනා ගන්නේ ඔය අතරදිය. ඔහු හතළිස් දෙහැවිරිදි විවාහක පුද්ගලයෙකි. හැර ගිය අඹුසැමියන් නැවත කැඳවා දීමට හැකි බව පවසමින් සහ වෙනත් ජ්‍යොතිෂවේදී කටයුතු ගුරුකම් ජීවන වෘත්තිය ලෙස කරගෙන යන මේ පුද්ගලයා සමන්තය. 'සමන්ත' සිය රැකියා කටයුතු කරගෙන යාමට කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සිටියේය. එම දෙමහල් නිවස තවමත් ඉදිකෙරෙමින් පවතී.

සමන්තගේ පුද පූජා බාර හාරවලට යොමු වී සිටියේ මෙරට පුද්ගලයන් පමණක් නොවේ. විදෙස් රටවල සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද ඒ අතර විය. 

සමන්තගේ පුද පූජා කටයුතුවලින් ලද ප්‍රතිඵල ගැන ආරංචි වී ඒ ගැන විශ්වාසය තැබූ මාලතී දුරකතනයෙන් සමන්ත අමතා සිය හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට උදවු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව සමන්ත ඒ වෙනුවෙන් පූජාවක් පැවැත්වීමට ඇයට වේලාවක් වෙන් කර දුන්නේ පසුගිය දිනකය.

කුරුණෑගලදී හෙළි වූ අපරාධය කොස්ගමදී විසඳෙයි

එම පූජාව පැවැත්වීමේ අරමුණෙන් මාලතී 2021 දෙසැම්බර් මස 30 දින කුරුණෑගල සිට අවිස්සාවේල්ලට බස් රථයකින් පැමිණියාය. ඒ පූජාවක් තබා සිය ගැටලුව නිරාකරණය කර ගැනීමේ අදහස පෙරදැරිවය. එතැන් සිට සමන්තගේ නිවස දක්වා ඇය රැගෙන යාමට යතුරුපැදියකින් සමන්ත පැමිණ සිටියේය. සමන්ත තමන් වෙසෙන නිවස වෙත මාලතී කැඳවාගෙන ගියේය. ක්‍රමයෙන් අඳුර වැටීගෙන එද්දී පූජා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබිණි. මේ අතර සමන්ත මාලතීට බීම සඳහා ලබා දුන් පානයක් නිසා ඇයට පියවි සිහිය නොමැති විය. ඉන්පසු සිදු වූ කිසිවක් ඇගේ මතකයේ නැත. නමුත් ඇය අවදි වන විට ඇය ඇඳ සිටි ඇඳුම් කිසිවක් ඇගේ ගතේ නොවීය. සිදු වී ඇති දේ වටහා ගත් පසු මාලතී කම්පනයට පත් වුවාය. සමන්ත සිය මනදොළ සපුරා ගැනීමට තමා යොදාගෙන තිබූ බව වැටහෙන්නට මාලතීට වැඩි වේලාවක් ගත නොවීය.

මුහුණුපොතෙන් හඳුනාගත් යකැදුරාගෙන් කුරුණෑගල කතක් අමාරුවේ වැටිලා

සමන්ත මාලතීට පියවි සිහිය නොමැති අවස්ථාවේ ලබා ගත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඇය බියවද්දා එදා සිට මේ දක්වා කීප වතාවක් ඇය සමග අඹුසැමි ඇසුර පවත්වා ඇයට තර්ජනය කරමින් ඇගෙන් මුදල් පවා ඉල්ලා සිටියේය. මේ කරදර ඉවසාගත නොහැකිව ඇය කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කළාය. මේ පැමිණිල්ල ඉදිරිපත් කළ පසු පැමිණිලි විභාග කරද්දි පොලිසියට ස්ත්‍රී දූෂණ සිද්ධිය හෙළි වූ අතර, ඉන් පසුව එහි පරීක්ෂණ කටයුතු කොස්ගම පොලිසිය වෙත යොමු කෙරිණි.

කොස්ගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

කිසියම් පුද්ගලයෙකු තවත් කිසිවකුගේ පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් තර්ජනය කරන්නේ නම් පළමු අවස්ථාවේදීම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් විය යුතුය. එමඟින් ඕනෑම අයකුට ආරක්ෂාව සලසාගත හැකිය.

කොස්ගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාධව විජේසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණතුංග, සැරයන් 50963 අජිත් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

කල්පනී පද්මපෙරුම - අවිස්සාවේල්ල විශේෂ

Comments