සුළු පියාගේ පිහි පහරෙන් පුංචි සදෙව් අවසන් ගමනේ | සිළුමිණ

සුළු පියාගේ පිහි පහරෙන් පුංචි සදෙව් අවසන් ගමනේ

 

කලාකරුවකුට ඇත්තේ ගිනිගත් සිත් නිවා දැමීමේ අපූරුතම හැකියාවකි. පීඩාකාරි මනසක් මෙහොතින් සන්සුන් කිරීම සඳහා හොඳ ගීතයකට මහා බලයක් ඇත. ගායකයකු, වාදකයකු ලබා දෙන වින්දනාත්මක රසය විඳ ගන්නට බාල මහලු කියා භේදයක් නැත්තේය. ඒ කලාවේ ඇති ඉහළම වටිනාකමයි. එහෙත් සංගීතයෙන් තම ජීවිතය ජයගත් කලාකරුවකු මල් කැකුළක් වන් දරුවෙකුගේ ජීවිතය ඛේදනීය ලෙස බිලිගන්නේනම් එය අවධානයෙන් බැලිය යුතු කරුණක්ම වන්නේය.

දිනය පසුගිය ඔක්තෝබර් මස 28 වැනිදායි. මාතර දිසාවේ වරල්ල, උවරගල, බොරළුවහේන, අංක 526 නි‍ෙවසේ පදිංචිව සිටි සදෙව් මෙත්සර පුංචි පුතු අකාරුණික පියකුගේ පිහි පහරකින් ඝාතනයට ලක්ව ඇතැයි යන පුවත ප්‍රදේශය පුරා පැතිර ගියේය. එම ඝාතනයේ සැකකරු දකුණේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයකු යන්න හෙළි වීමත් සමඟ ඒ වෙනුවෙන් විවිධ කතා පැතිරෙන්නට පටන්ගත්තේ ඝාතනය වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටි සිසුවකුද වූ බැවිනි. සැකකාර සංගීත ශිල්පියා සදෙව්ගේ සුළු පියාය.

සදෙව්ගේ මව පිළිබඳ සුළු පියා තුළ ඇතිව තිබූ සැකය මත දිනපතාම දෙදෙනා අතර ආරවුල් ඇතිවීම පුරුද්දක්ව පැවතියද දෙදෙනාම දරුවන් පිළිබඳ සොයා බැලීමේ 'වගකීම' නිසි ලෙස ඉටුකරන්නට කටයුතු කළහ. ඒ නිසාම දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්නා දෙමාහල්ලන්ගේ ගැටුම් බාධාවක් නොවූව ද දරුවන්ට ඇතිවන පීඩනයනම් දිනපතාම තදින් ඇතිවෙමින් තිබුණේය.

පසුගිය 27 වැනි දින සවස සංගීත ශිල්පියා වැඩ නිමවා නි‍ෙවසට පැමිණෙමින් සිටියදී මිදුලේ යම් පුදගලයකු සිට වහා ඉවත්ව යාම ඔහුගේ සැකයට තුඩු දුන්නේය. මිදුල පුරා පැතිර ගිය දුම්වැටි ගඳ ද සැකය තවත් වැඩි කරන්නට හේතු වන්නට ඇත. නි‍ෙවසට ඇතුළුවන විට බිරියද වැඩ නිමවා නි‍ෙවසට පැමිණ සිටීම සැකය තව තවත් තීව්‍ර කළේ ගැටුමකට මඟ පාදමිනි.

“කවුද ඒ මම එනකොට මෙතන ඉඳල මාරු වුණේ. මට ඇත්ත කියපන්” සංගීත ශිල්පියාගේ වේගවත් විමසීම අඹුසැමියන් අතර ගැටුමක ආරම්භය විය. ඒ සමඟ බිරියගෙන් ලද සැර පිළිතුර ද සංගීත ශිල්පියාගේ කේන්තිය වැඩි කළ අතර ඒ සමඟ දෙදෙනා අතර පෙර දිනවලටත් වඩා උච්ච වූ වාග් සංග්‍රාමයක් ඇතිවන්නට ගත වූයේ නිමේෂයකි.

මව සහ බාප්පා එකිනෙකාට චෝදනා එල්ල කරගනිද්දී සදෙව් සහ ඔහුගේ අයියා බියෙන් පසෙකට වී සිටියහ. ගැටුම තව තවත් උත්සන්න වද්දී වහා ක්‍රියාත්මක වූ සදෙව්ගේ මව සදෙව් සහ ඔහුගේ අයියා ද කැඳවා යතුරුපැදියේ නංවාගෙන වහා කොස්මෝදර පොලිසිය වෙත යන්නට ගමන් ඇරඹුවේ ඇතිවෙමින් තිබෙන ගැටුම්වලට විසඳුමක් සොයා පොලිස් පැමිණිල්ලක් කිරීමේ අරමුණෙනි.

ඒ සමඟින් පලා ගිය සංගීත ශිල්පියා තේ ගස් කැපීමට භාවිත කරන පිහියක් ද ගෙන මඟ රැක සිටියේ පොලිසියට යාමට පැමිණෙමින් සිටි තම බිරියගේ ගමන වැළැක්වීමේ අරමුණිනි. බිරිය මෙන්ම සැකකරු ද දැඩි කේන්තියකින් පසුවූ අතර අතරමඟ රැඳී සිටි සැකකරු ඉදිරියට පැමිණෙමින් තිබූ යතුරුපැදියට මඟ හරස් කර ඉදිරියට යාම වළකා යළි බිරිය සමඟ ගැටුමක් ඇති කර ගනිද්දී කෙන්ති ගත් සැකකරු බිරියට පිහි පහරක් එල්ල කරද්දී එය යතුරුපැදියේ ඉදිරිපස සිටි සදෙව්ගේ හිසට වැදී මාරාන්තික තුවාල සිදු විය.

එම පහරත් සමඟ වහා ක්‍රියාත්මක වූ බිරිය සංගීත ශිල්පියාගෙන් බේරී යතුරුපැදිය පණ ගන්වා පවනක බඳු වේගයෙන් කොස්මෝදර රෝහල වෙත දරුවා රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර දරුවාගේ තත්ත්වය බරපතළ වූයෙන් වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය සදෙව් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර හැරියේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණෙනි. එහිදී ශල්‍යකර්ම දෙකක් සිදු කළ ද සදෙව්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ අතර ඉකුත් 28 දින උදෑසන සදෙව් මෙලොව හැර ගියේ අවාසනාවන්ත ලෙසිනි.

සදෙව් මියයාමත් සමඟ ඔහුගේ පාසල් බෑගයේ තිබී හමු වූ චිත්‍රයක් සැමගේ වේදනාව තව තවත් වැඩි කරවන්නක් විණි. සදෙව් දෙනියාය විද්‍යාලයේ “කූඹියෝ” බස් රථයට තදින් අාදරය කළ අයෙකි. ඒ නිසාම දිනක් සදෙව් තමන් බෙහෙවින් ආදරය කළ “කූඹියෝ” බස් රථය චිත්‍රයට නඟා එහි “නිවන් සැප ලැබේවායි” යනුවෙන් ලියා තම පාසල් බෑගය තුළ දමාගෙන සිටියේ ඔහු නොදැනුවත්වම මේ අකල් මරණයට කල් තියාම සූදනම්ව සිටියේද යන සැකය ද ඉතුරු කරමිනි. එම චිත්‍රය දැකීමෙන් පවා සිතට ඇති කරන්නේ වේදනාවකි.

“දරුවන්ගෙ අසරණ ජීවිත මේ වගේ අකාලයේ රටට නැතිවී යන්නේ දෙමාපියන්ගේ වරදින්. සදෙව් මෙත්සර හරිම හොඳ අහිංසක දරුවෙක්. ගෙදරදොරේ කුමන ගැටලු තිබුණත් දරුවා පාසලේ අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන ගියා. එක ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා මෙත්සර පුතා ඉගෙන ගත්තේ අපේ ඉස්කෝලේ. පහ ශ්‍රේණියට තමයි වෙනත් විද්‍යාලයකට ගියේ. මේ ගැටලුවලට අපි අපේ මට්ටමෙන් උදවු කළා. ඒත් මේ වගේ මහා අපරාධයක් වෙයි කියා හීනෙකින්වත් හිතුවේ නෑ.”

සුළු පියාගේ තේ ගස් කපන පිහි පහරින් ජීවිතක්ෂයට පත් හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර පුංචි පුතුගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරල්ල එම්. ඩී. යාපා මහ විදුහලේ විදුහල්පති ගාමිණී ගුණසේකර මහතා පැවසුවේය.

මෙලෙස ජීවිතක්ෂයට පත් දස හැවිරිදි සදෙව් මෙත්සර මොරවක වැලිව බෞද්ධ මහා විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිටියේය.

සිද්ධියෙන් පසු පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණයේදී දරුවාගේ ඝාතනයට සම්බන්ධ හතළිස් හතර හැවිරිදි සැකකරු කොස්මෝදර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර සැකකරු දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායකයකු මෙන්ම ඔක්ටපෑඩ් වාදන ශිල්පියා ලෙස සේවය කරන පුද්ගලයෙකි. ඔහු දෑරංගල ප්‍රදේශයේ පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මුරකරුවකු ලෙස ද සේවය කරන අයෙකු බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද විවාහ දෙකක් කරගෙන සිටින දෙදරු පියෙකු වන අතර මේ ඔහුගේ තුන්වන විවාහය බවත් බිරියද මීට පෙර විවාහ දෙකක් කරගෙන එක් විවාහයක පුතෙක් සහ දෙවැනි විවාහයේ පුතුන් දෙනෙකු සිටින තැනැත්තියකි. මේ ඇගේ තෙවන විවාහය බවත් දෙදෙනාම පෙර විවාහවලින් වෙන්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොරවක ප්‍රදේශයේ කලක් ජීවත්ව ඇති මෙම පවුල මීට මාස දෙකකට පෙර කොස්මෝදර පොලිස් බලප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත. ලොකු උත්සවයක් පවත්වා පෝරු චාරිත්‍ර ද සිදුකොට මේ දෙදෙනාගේ විවාහය සිදුකොට ඇතත් ඔවුන් අතර දිගින්දිගට ආරවුල් සිදුව ඇති බවට වාර්තා වී ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා මඟ රැක සිටියේ නි‍ෙවසේ සිට පලා ගිය පුද්ගලයා අල්ලා ගැනීමට බවත් ඒ අතර යතුරුපැදියෙන් පැමිණි බිරිය තමන් දෙසට යතුරුපැදිය අල්ලද්දී ආරක්ෂාව සඳහා පිහිය දෙපසට වැනීමේදී දරුවාට වැදුණු බවයි. තමන් පාසල් ගෙන ගිය දරුවා මෙලෙස මියයාම තමාට ද මහා වේදනාවක් බව ද සැකකරු පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 29 දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ද සිල්වා, පොලිස් පරීක්ෂක විජිතානන්ද යන මහත්වරු ඇතුළු කණ්ඩායම වැඩි දුර පරීක්ෂණ පවත්වති.

Comments