ඉදිරියේදී ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක් | සිළුමිණ

ඉදිරියේදී ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක්

අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ජනා­ධි­පති නීතිඥ ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

මෙහි මූලීක පරමාර්ථය විධායක ජනාධිපතිවරයා විසින් භාවිත කරන බලතල වගකීමකින් සහ වගවීමකින් යුතුව සිදුකරන බවට වගබලා ගැනීමයි එනම්; නීතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාදායකයා විධායක සහ අධිකරණය අතර බලතුලනය සහ සංවරණය සහතික කිරීම මේ 21වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේ මූලික අරමුණයි. ඊට අදාළ යන්ත්‍රණයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කිරීම සිදුවිය. ඒ හරහා ලක්ෂ 15කට අධික රාජ්‍ය සේවය ස්වාධීන කිරීම, ඵලදායිතාවයකින් යුතු සේවය ලබාගැනීම සහ වංචා දුෂණ වලට වැටබැඳීම මෙහි මූලික අරමුණයි. ප්‍රසම්පාදනයේ දි රාජ්‍ය යාන්ත්‍රණයේ 90%ක පමණ වංචා දූෂණ සිදුවෙයි. එසේම නොසැලකිල්ල අකාර්යක්ෂමතාවය යන සියලු කරුණුවලට බලපාන කරුණක් නම් ප්‍රසම්පාදනයයි.

ඒ සඳහා කොමිෂන් සභාව හඳුන්වා දී ඇත. එහිදී නිලධාරින් දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයට ගනුදෙනු කිරීමට නොහැකි වෙයි. එතැනින් නතර නොවී ඒ ප්‍රසම්පාදන කටයුතු සේම පාර්ලිමේන්තුවේ අවසරය ලබාදෙනු ලබන රාජ්‍ය වියදම් සියල්ල විගණනය කිරීම සඳහා ස්වාධීන විගණනය සභාවක් පත් ඇත. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම එක් පැත්තකින් වගකියන වගවීමක් ඇති යාන්ත්‍රණ තුනම සාර්ථක කිරීමයි. එනම් ව්‍යවස්ථාදායකය, විධායකය අධිකරණය යන ආයතන තුනම සාර්ථක කිරිම මෙහි අපේක්ෂාවයි. රාජ්‍ය සේවයේ ස්වාධීනතාවය තුළ රාජ්‍ය සේවයේ උපරිම සේවය ජනතාවට ලබාදීම, දේශපාලන ග්‍රහණයෙන් මුදවා ගැනීම සහ අධිකරණය සේවයේ ස්වාධීනභාවය 100% සහතික කිරීම මෙහි අරමුණයි. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවැති අඩුපාඩුකම් දුරුවෙයි. ඇමැතිවරයා ඉවත් වුවත් ලේකම්වරයාට බලය හිමිවෙයි. අමාත්‍යංශයේ කටයුතු කරගෙන යෑමට අවසර ලැබෙයි. වඩාත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගමන් කිරීමට අවශ්‍ය නිසා පනතක් අභියෝගයකට ලක්කිරීම දින 7ක කාලය දින 14 දක්වා දිර්ඝ කර ඇත. මහ බැංකු අධිපතිවරයා ලෙස නියම සුදුස්සෙක් පත් කිරිමේ බලය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව පමණක් ජනාධිපතිවරයා සිදුකළ යුතුයි. ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් සහ ඉහළ රජයේ නිලධාරීන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව සිදුකරන නිසා සුදුසු පුද්ගලයන් පත්වීම ඒ අනුව සිදුවෙයි. එසේම ස්වාධින කොමිෂන් සභාවලට දේශපාලනඥයන් මැදිහත් නොවී සිටිය යුතුයි.

මින් ඉදිරියට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විය නොහැකියි. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ සිටී නම් අධිකරණයට යෑමෙන් ඒ අය ඉවත් කළ හැකියි. මෙය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථා සංශෝධනයකි. මේ සංශෝධනය සිදු නොවන්නට අපි ලොකු අවදානම් තත්ත්වයක තිබුණි. මක්නිසාදයත් යුරෝපයේ හා ඇමරිකාවේ පසුගිය කාලයේ GSP අත්හිටුවීමේ අවදානයක් සහ IMF සහනය අත්හිටුවීමේ තත්ත්වයක් තිබුණි. මේ සංශෝධනය ගෙන එනු ලැබූයේ ද කුසගින්නෙන් ජනතාව ගලවා ගැනීමේ වෑයමක් ලෙසයි. රට ගැන හැඟීමෙන් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයෙකුට මෙය වැරදියැයි කිව නොහැකියි. මෙය වැරදියැයි තර්ක කළහැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය ගණන් නොගන්නා අවස්ථාවාදියෙකුට පමණි.

මේ රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා පළාත් පාලන ආයතන ඡන්ද තුනක් මේ රටේ ක්‍රියාත්මක වෙයි . පාර්ලිමේන්තු කාර්ය සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවයක් මතු වී ඇත. මහජනතාවට වගකියන, කොට්ඨාසයට වගකියන නියෝජිතයන් පත් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමට ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම මගේ අදහසයි. අපේ ව්‍යවස්ථාවේ ඇති බරපතළ අඩුපාඩු 50%ක් මේ ව්‍යවස්ථා සංශෝධනය මඟින් සකස් කර ගත් අතර, ජනතාවට වගකියන සාධාරණ මැතිවරණ ක්‍රමයක් සකස් කළහොත් දූෂිතයන්ට හොරුන්ට පාර්ලිමේන්තුවට පත්විය නොහැකි ඡන්ද ක්‍රමයක් සකස් කිරීමෙන් ඉතිරි 40% පමණ නිවැරදි කරගත හැකියි.


කොමිසම් සභාවලට සුදුස්සන් පත් විය යුතුයි 
- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස්

පාර්ලිමේන්තුව විසින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත. එය දැන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාරව එය කාරක සභා අවස්ථාවේදී යම් යම් සංශෝධනයන්ට යටත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වූයේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රට පුරා පැන නැඟුණු මහජන විරෝධයේ ප්‍රතිඵලයක් ලෙසයි. විධායක බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 19 වන සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද බොහෝ සංවරණ හා තුලන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කොට ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කර නැති අතරම; විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන එමඟින් ඇති කර නොමැති බව කනගාටුවට කරුණකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරනු ලබන නාමයෝජනා බහුතරයක් ආණ්ඩු පක්ෂය හෝ බලයේ සිටින පක්ෂ විසින් මෙහෙයවීමේ අනතුරක්, එහි ප්‍රතිඵලයක් ලෙස එහි ස්වාධීනත්වය හීනවීමක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා පත් කිරීම් සිදු කරන තනතුරු සහ ආයනවල ස්වාධීනත්වයට සහ සුපිළිපන් බවට එමඟින් සිදුවන බලපෑම එම නිවේදන මඟින් පෙන්වාදෙන ලදී. එසේ වුවද දැන් 21 වැනි සංශෝධනය නීතිගත කර ඇති බැවින්, ඒ යටතේ පත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ඉන් අනතුරුව ප්‍රතිසංවිධානය කෙරෙන ස්වාධීන කොමිෂන් සභා, ස්වාධීන, අපක්ෂපාතී සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට උපකාර වන ආයතන බවට පත්වීම අත්‍යවශ්‍ය වේ.

එබැවින් පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලබන නාමයෝජනාවල සුපිළිපන්භාවය තහවුරු කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. එවැනි නාමයෝජනා පක්ෂග්‍රාහීත්වයෙන් තොර මහජන විශ්වාසය ඇති කරන ආකාරයෙන් සිදුවන බවට තහවුරු කළ යුතුය. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් සහ මන්ත්‍රීවරුන් නොවන අය අතරින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල බලයෙන් පත් නොවන සාමාජිකයින්ගේ පත්වීම් විනිවිදභාවයෙන් යුතුව හා විවෘතව සිදු කිරීමට වගබලාගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති මඟින් ස්ථාපිත කර ඇති ස්වාධීන කොමිෂන් සභාවල සහ වෙනත් ආයතනවල සභාපතිවරුන් සහ සාමාජිකයින් නම් කිරීමේදී විනිවිද පෙනෙන, විවෘත හා ඇතුළත් කරගන්නා ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීමෙන් පසු, ස්වාධීන කොමිසන් සභා ප්‍රතිසංවිධානය කරනු ලැබූ විට එම කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන්ගේ ධූර දැරීම නතර වන බව ද සඳහන් වේ. එසේ කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව යන ආයතනවලට පත් කරන ලද පුද්ගලයන් අවශ්‍ය සුදුසුකම් සහ හැකියාවන් සහිත අය වීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන ආයතන ඇති කිරීමේ ගැටලුව විසඳීමට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසියම් ආකාරයකින් අපොහොසත් වුවහොත් යෝජිත සංයුක්ත දූෂණ විරෝධී නීතිය වැනි අනාගත නීති ප්‍රතිසංස්කරණ මූලාරම්භයක් කෙරෙහි ද එය බලපානු ඇති අතර, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.


කොප් කමිටුවට මීට වඩා බලතල දිය යුතුයි
- මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොවෙයි; 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සම්මත විය; මෙහි ද්විත්ව පුරවැසිභාවය දරන කිසිම තැනැත්තෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හෝ ඇමැතිවරයෙකු විම සම්බන්ධයෙන් මූලික වශයෙන් නුසුදුසු කමක් වෙයි. ද්විත්ව පුරවැසියකු ලෙස අසුනක් හොබවන්න හෝ නුසුදුසු වන්නේ කුමන අවස්ථාවේදී යන්න ගැටලු මතුවෙයි. ද්විත්ව පුරවැසිකම පිළිබඳව පාර්ලිමේන්තුවේ කෙටුම්පත නීතියක් බවට පත්වි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ පසු පාර්ලිමේන්තුවට කිසිවක් කළ නොහැකියි. ද්විත්ව පුරවැසිභාවය දරන අය සිටී නම් එසේ සිටිම තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඒ සඳහා තීරණයකට එළඹිය යුතුයි.

ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව කතා කළ හොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට තිබූ බලය සීමිතයි. එයට හේතුව 19 ව්‍යවස්ථා යටතේ සිවිල් පුරවැසියෝ තුන්දෙනෙක් සිටි අතර, පත්වීම් සම්බන්ධයෙන් තේරීම් සිදු කළේ ඒ අය විසිනි. 19 අනුව ජනාධිපතිවරයා කැමැති වුවත් අකැමැති වුවත් ව්‍යවස්ථාදායක සභාවේ යෝජිත නම් ජනාධිපතිවරයා පත් නොකළොත් ඉබේම පත්වෙයි. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලකේන්ද්‍ර තුනක් මේ අනුව නිර්මාණය විය. එනම් විධායක ජනාධිපතිගේ පර්ලිමේන්තුවේ සහ කථානායකගේ බලකේන්ද්‍ර නිසා ස්වාධින යැයි කියාගන්නා කොමිෂන් සභා හරහා විශාල බලයක් ගොඩනඟා ගෙන තිබිණි. මෙහිදී ඒ පිළිබඳව යම් වෙනස්කම් සිදුවී ඇත.

ස්වාධින කොමිෂන් සභා පත් කළ ද එහි පත් කරන පුද්ගලයෝ අනුව ව්‍යාවස්ථාදායක සභාව නිර්ණායකන් තීරණය කිරීම අවශ්‍යයි. මේ ස්වාධීන කොමිෂන් සභාවලින් මම දකින හොඳම කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දේශපාලන පත්වීම් නොකිරීමට වගබලාගත යුතුයි. පොලිස් කොමිසමට තිබුණ බලතල රාශියක් රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල වැඩිකිරීම හොඳ ප්‍රවණතාවයකි. පාර්ලිමේන්තුවට බලතල දිය යුතුයි. මේ සංශෝධන තුළ අපි අපේක්ෂා කළ GSP බදු සහන අපිට නැවත ලැබෙයි ද යන්න ගැටලුවක් ඇත. විශේෂයෙන් ඡන්ද ක්‍රමයේ සමානුපාතික නියෝජනය වෙනසක් සිදුවී නැත. මූලික මිනිස් අයිතිවාසිකම් වෙනස්වී නැත. මෙහිදී විධායක බලතල තවදුරටත් විධායක ජනාධීපතිවරයාට වෙයි. අනිවාර්යයෙන් ආරක්ෂක අමාත්‍යංශය විධායක ජනාධිපතිවරයාට තිබිය යුතු සේම පරිසර අමාත්‍යංශයත් ජනාධිපතිවරයා සතුව තිබිය යුතුයි. එසේම මුදල් පාලන ප්‍රතිපත්තිය තිබිය යුතු වන්නේ පාර්ලිමේන්තුවටයි. කොප් කමිටුවට මීට වඩා බලතල දිය යුතුයි.


21 නමට පමණක් සංශෝධනය වූවක් 
- සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක සහ හිටපු ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ජනතාව බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි; මෙය නමට පමණක් සීමා වූ සංශෝධනයක් යැයි පැහැදිලිවම සඳහන් කිරීමට හේතුව වන්නේ මෙහිදී සිදුවූයේ සුළු වෙනස්කම් ප්‍රමාණයක් පමණයි. යම් සාධනීය පියවරක් වූයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දැරීමට නොහැකි බවට වන ප්‍රතිපාදනය පමණයි; . අනෙක් සම්මත යෝජනා එතරම් බරක් නැහැ. මේ සංශෝධන සියල්ල සිදුවුයේ ද ජාත්‍යන්තර ප්‍රජාවගේ පීඩනයට අනුව කුමක් හෝ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදි වෙනස්කම් සිදු කළ යුතුයි යන අදහසයි. එනම් ලෝක ප්‍රජාවගේ අවශ්‍යතාවයට ලෝකයට පේන්න මේ යෝජනා ගෙන ඒමක් සිදු වූවා මිස අවංක චේතනාවක් එහි නොතිබුණ බව පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොතිබුණ බව අප දැනුම්වත් වී සිටිය ද පැවැතියාට වඩා සුළු හෝ සාධනීය වෙනසක් ඇති නිසා අපි මේ සඳහා ඡන්දය ලබාදීමක් සිදු කළා.

යහපාලන ආණ්ඩු සමයේදී 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය සිදු කර ඉන් අනතුරුව පත් වූ ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන එනු ලැබිණි. එය සිදු කරපු පසුගාමි පියවර අල්පමාත්‍ර වශයෙන් සංශෝධනය කිරීමක් මේ 21 වැනි සංශෝධනය තුළ වෙයි. ඒ අල්පමාත්‍රය හෝ රටට වටින නිසා ජනතාව වෙනුවෙන් මෙයට කැමැත්ත පළ කිරීම සිදු කළ බව කිව යුතුයි. අපේ රටේ දේශපාලන බලතල තිබිය යුතු වන්නේ අපේ රටට පමණක් පක්ෂපාතිත්වය ප්‍රකාශ කරපු පුද්ගලයන්ටයි. ඇමෙරිකානු එක්සත් ජනපදයට හෝ එංගලන්තයට පක්ෂපාතිත්වය ප්‍රකාශ කර දිවුරුම් දුන් පුද්ගලයන්ට ස්වාධීනව ලංකාවේ අයිතිය පිළිබඳව කටයුතු කිරීමට හැකියාව නැති බව ඉතා පැහැදිලි කරුණක්. සාමාන්‍ය පුරවැසියන්ට මෙන් නොව, දේශපාලනික බලය හිමිකරගෙන ගත් පුද්ගලයන් රට ගැන සිතිය යුතුයි. එවැනි තීන්දු තීරණ ගනු ලබන තැන්වල සිටින පුද්ගලයන් කකුල් දෙක දෙපැත්තේ තියාගෙන සිටීම රටට අහිතකරයි. කොන්දේසි විරහිතව රට පැත්තේ සිටගත යුතුයි.

ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ ප්‍රමාණවත් තරමට ස්වාධීනත්වයක් ඇති කිරීමට පියවර ගෙන නැත. රටේ ජනතාව අපේක්ෂා කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ගොඩනැඟීමයි. අපේ පක්ෂය විසින් රටේ ආණ්ඩු බලය ලබාගත් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දේශපාලන ක්‍රමයක් ඇති කිරීම අපේක්ෂාවයි.

Comments