කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

 රූමස්සල සිරි අසිරිය

වැල්ල සිඹින

රැල්ල වැදෙන

නිල් ගිරි හිස

රූමස්සල

නිල්ල වැසෙන

රැල්ල රුදුරු

වැද්ද නොගෙන

යළි හරවන

නිල් ගිරිහිස

රූමස්සල

පද්ද පද්ද

ගස්ස ගස්ස

රොනට ඇදෙන

ඹබර කැලගෙ

නිල් ගිරි හිස

රූමස්සල

දසබිම්බර

මාර සෙනඟ

රුක් දෙවිවරු

බිමට හෙළුණු

නිල් ගිරි හිස

රූමස්සල

නන්දසිරි වැලිගමගේ

**

මා දමා යන්න

මගෙ නෙතු පියෙන්න කලියෙන්

මා දමා නුඹ යන්න

නුඹ දුන් සෙනෙහස

මගෙ තනි මැකෙන්න

සඳ එපා එන්න

හෙට මම විතරයි

ඇය නෑ මට

තනි රකින්න

ජයන් උඩුගම

**

දිවිමඟ ජය ගැනුමට

දුක් කම්කටොලු හා කරදර ඇති වීම

කාටත් පොදු දෙයකි මේ ලොව සැමදාම

ඔබ සැම පුරුදු කළහොත් ඉවසීම

වැඩිදුර නොවෙයි අත ළඟමයි සැනසීම

 

දුක සැප දෙකම එකලෙසකින් සිතන්නට

යුත්තිය දුටු තැනදි ඔබෙ හිස නමන්නට

රට දැය සමය වෙනුවෙන් වැඩ කරන්නට

හැකි නම් ඔබ සැමට මේ ලොව රඳන්නට

 

නැඟුමක් ලැබෙන්නේ බැස්මක කෙළවරය

එළියක් සොයන්නට හේතුව කළුවරය

මේ බොරුවක් නොවෙයි ලෝ දහමක තිරය

මතු ජය ලබන සුභ ලකුණය කරදරය

ධම්මික ජයරංජන

**

හද පතුලේ කවිය

ගල් තලයක් යට

සිලි සිලි ගාගෙන

ගලා බසින දිය දහරක් වාගේ

මා හද පතුලේ පොපියන නලියන

කවියක් ඇත මතු වී නොමඑන

සිසිලස දැනුණත් නිරන්තරව එහි

වතුර බිංදුවක් මතුවන්නේ නෑ

ඉවසිලි නැතිමුත් නිසලව ඉන්නෙමි

කිසියම් දවසක

කිසියම් මොහොතක

දියවර මංගල්ලය සිදුවන තුරු

සිරිනිමල් ලක්දුසිංහ

**

අප්පච්චි

නැති බැරිකම හංගා ගෙනා

ඇති හැකි කෙනෙක් විදිහට

අපි ඉදිරියේ හිනැහෙනා

ගතේ දිරිය දිය කරන්

හිසෙහි මහ මෙරක් දරාගෙන

ඉන්න අප්පච්චි

ඔබ මහ විරුවෙකි

මගේ හදේ ලැගුම් ගෙන ඉන්න

විජේරත්න වනසිංහ

**

කාක්කියක්

කාක්කියක්

තනියට තනියේ

කාක් කාක් ගාමින්

තම කාක් හිමිට

ඇරියුම් කරමින්

සිටී ආදරයෙන්ම

තමන් ප්‍රසූත කළ

කාක් පැටියාව

දකින්නට යෑමට

ඉක්මනටම,

පරක්කු නොකරම

ඉඩෝර පිටියක

අහස් තලයට දිස් වූ

දිරාපත් කුටුරිටක

චලනය වෙවී ලැග සිටිමින්

ඔන්න මෙන්න කියා

දෙදර දෙදරා වැටෙන්නට මත්තෙන්

පියඹා පියඹා යන්නට නොහැර

නාමෙල් වීරමුනි

**  

කතා කරයි කවියක්

අතැර දැමුණා ළඳක්

කුවේණිය නම් වූ

නොදත් කෘතගුණ

මහා පුරුෂයකු අතින්

නම් වු විජය

සමඟ දරු දෙදෙනකු

බිද වැටුණා ලෙනක්

තැනු ගලෙන්

ලොවක් දුටුවා හැරි ලෙන් දොරින්

නැසුනා පියෙක්

සීහ අත්වලින් සිංහබා නම්

පුතු අතින්

කෙරුණා සිර

එක්ටැම් ගෙයක

දියණියක් චිත්‍රානම්

ගාමිණී නම් පුතු රහසිගතව

මුණ ගැස්සුවා ඇයට

කර්කටකයක්

ඉපදුනා පුත් පණ්ඩුකාභය නම්

කළා ඇති දැඩි දොරමඬලාවක්

බිහි වුණා රාජ පරපුරක්

ජාතියක පිනට

සරත් කුමාර වික්‍රමගේ

**

වියෝ වූ පුතුට

නැළවිලි ගීත රාවය දෙසවනට ගෙන

නගමින් දෙඅත් සහ පා යුග ඔසවමින

නෙත් පිය සල සලා යහනෙහි නිරත වුන

පුතු ගැන මතක සටහන් ඇත සියලු දින

 

ඇති දැඩි කළ පුතුන් ආදර සෙනෙහෙ ගඟේ

දුක සැප සොයා සිටියේ ඔබ පමණි මගේ

පාළුව, කාන්සිය, ශෝකය හදෙහි නැගේ

කවදා යළි දකින්නද පුතු රුවැති අගේ

 

බව කතරෙහිදි නැවතත් ඉපදුණ විටෙක

අම්මේ කියන්නට යළි එනු මැන දිනෙක

රුව ගුණ දමින් සුපිපුණු රන් මල් විටෙක

සුවඳින් පුතුගෙ හද සැනසෙත්වා! නිසැක

 

මේ වැනි දුක් කඳුළු දෙනෙතට නැඟෙනු එපා

අමිහිරි වදන් අඳුරැලි එක් වෙන්න එපා

දිවි මඟ ගෙවෙන තුරු ගත සිත සැලෙනු එපා

මිණි, මුතු, පබළු, මා ළඟ බැබළෙන්න එපා

ලීලා අමරසිරි ගුණවර්ධන

**

නාට්ටාමි

හිරු උදාවන පැයේ

පා නඟා යුහුසුළුව

පිටකොටුව හංදියේ

වීදි කෙළවර කඩෙන්

කරත්තය මුදාගෙන

කුලිය දෙන ගිවිසුමට

හිඳින සඳ නොඉසිලිව

අණක් ලද නිමේෂයෙ

පටවගෙන බඩුමුට්ටු

යනෙන දන - ඇදෙන වාහන

අතර තල්ලුකර

බාන්නට - පටවන්න

විඳින දක, මහන්සිය

ඩහදියෙන් තෙමීගත

දෑතෙ කරගැට පිරී

දෙපා වෙර සිඳී යයි

ජීවිතේ පුරාවට

අනුන්ගේ බර අඳින

ලැබෙන සොච්චම් මුදල

ගෙන පවුලෙ බර අදිමි

ජගත් පද්මසූරිය

**     

මාගේ පැලේ වෙසක් පහන

මන්දිරවල පාට පාට

විදුලි බල්බයෙන් ඔපවුණු

සිත් අලවන

රටා මවන

නේක වෙසක්

පහන් අතර

යාන්තමින්

දුරට පෙනේ

මගේ පැලේ

උගුරැස්සා ගස අතුඅග

තද සුළඟේ

නිවෙන්න හෝ

ගිනිගත්තම

මෙන් තනනන

ඉටි පන්දම් එළි තිතකින්

සිනා සලා

රැයක් පහන්

කරනු පිණිස

පෙරුම් පුරන

කිරි සුදු පැහැ

වෙසක් පහන

කේ.පී.ඩබ්. ප්‍රියන්ත ජයලත්

**

ඔරු

ගංදියේ

පාවෙන

කඩදාසි ඔරු!

ගාමිණී දළුවත්ත

**

කඳුළු

කඳුළු මියැදෙන්න පෙර

නුඹේ වත සොයමි

නොමැති තැන නුඹෙ පහස

මිලින වී හිඳිමි

නුඹ නැතත් නුඹ එක්ක

හීනයක වෙලෙමි

නෙත පුරා සිතේ රැඳි

රුව රිසි සේ විඳිමි

ඉනෝකා වීරසිංහ

**

බිරිය

උදයෙම නැඟිට ලිප ගිනි මොළවන දෑත

බත් පත උයන තේ පැන් සාදන දෑත

කම්මැළිකමට ගුලිවී නිදියන සීත

මට මම ගැන මතක සිත යනවා ඈත

 

අවුරුදු හතළිහක් වැනි ඈත දිනයක

ඇඟලුම් හලට යන එක්තරා උදයක

හමුවී සිනාසී පළ කෙරුව ඉඟියක

ප්‍රතිඵල මෙසේ ලියවුණි සතුටු දිවියක

 

හමු වූ දිනේ සිට අද වන තුරුම මගේ

දිවියේ සෙවණැල්ල ඔබ යයි මටම හැඟේ

සතුටට දුකට එක ලෙස ළඟ සිටිය අගේ

සංසාරයේ එන ගමනක් කියා හැඟේ

ගාමිණි චන්ද්‍රසේන

**

අහස වී මම

අහස වී මම පොළොව නුඹ දැකගමී

දුරින් හිඳ පෙම සිතේ පුරවා දෙමී

කිසිම දා හමුවෙන්න බැරිමුත්

වැස්ස සේ ඇද හැලී

නුඹට නොහැඟෙන ආදරේ ගැන

විටින් විට පවසමි...

 

ළං වෙන්න බැරි

එක් වෙන්න බැරි

දෙතැනකට හිමි අපි

සිත පුරා ආදරය පුරවා

ඔබ නමින් ඉවසමි ....

 

මගේ පොළොව ඔබ

අහස වී මම දුරින් ඉමූ

මේ ලෙසින් කිසිම දිනයක

වෙනස් නොකරම

පුදමි සෙනෙහස හදින්...

මේනකා දමයන්ති

**

දිවි මඟට දුන් සවිය

පොත් පැන්සල් ගන්න කියලා

සතෙන් සතේ එකතු කරලා

පිරුණු කැටේ කාසි ගැනලා

පෙර වයසෙදිම ඉතිරි කරන්න පුරුදු කළා

 

දවසින් දවස කාලය ගෙවී ගියා

උගත මනා ශිල්පය මතු රැකෙනු කියා

මවුපිය ගුරු සැමදා මතකයෙ තියා

දිවි ගමනට සවියක් වුණිය දයා

 

බොරුවට - සොරකටම නොබැඳුණිය සිත

වෛරය - ක්‍රෝධයටත් ඉඩ නොදුණි ගත

සොඳුරු සිතින් ආදරයෙන් බැඳුණි සිත

දිවි ඇතිතෙක්ම ලොවටම කරමි සෙත

සුසන්ත මලවීර

**

ආසිරි කුසුම්

පති කුලදම් පොදිබැඳ මා පසු පස්සේ

ගුරු මෑණියක ලෙස සිටියා හැම තිස්සේ

නෑ හිතවතුන් හට පෑ සෙනෙහස ඔස්සේ

දරුවන් සමඟ පතනෙමු ආසිරි වැස්සේ

 

හැත්තෑ පස් වසර ගතවුණි නොදැනීම

යහපත්කමයි ගුණ දහමයි සුරැකීම

වියපත් වුණේ නැත තුරුණුව හද තාම

බිම්බා දේවියකි ඔබ මට හැමදාම

ආනන්ද අබේවික්‍රම

**

කපිල වස්තු නුවර

සිඹ සිඹ හිමාලයේ උස් කඳු මුදුන් පෙළ

සීතල උරාබී එති මඳ පවන් රැළ

දුටුතෙක් මානයේ වෙල්යායකින් දුල

ඉපැරණි කපිලවත් පුරයයි නිසංසල

 

අක්කර පහක පමණැති වපසරිය මත

මාලිග පවුරු මුර කුටි තිබු ලකුණු ඇත

අැත්, අස්, පාබල හමුදාවෝ ඇතුළු රත

වාසල් දොරටු අවුරා නැති බලය නැත

 

බිම්බා බිසව, රාහුල පුත් කුමරු බදා

සිරි යහනේ වැතිර සිටියදි සැපට නිදා

සිදුහත් කුමරු පැනගිය දොරටුවද මෙදා

සලකුණු කර තිබේ බොදු ලොව කිරුළු රඳා

සිරිසෝම කළුකීර්ති

**

නාස්ති කරගත් ආදරය

නුඹ මා ගැනම සිත සිතා

සිත රිදුම් දෙන තුරා

විඳි ගැහැට මා නමින්

කප්පරක් තරම් වු

බව දැනී විඳිනවා

මේ තරම් ප්‍රේමයක්

මා නමින් තිබූ බව

නොදැන සිත හඬනවා

ගංගාව ගැන නොසිතා

ප්‍රේමයේ දිය කඩිතිවල එබී

මා නොවෙද ආදරය

නාස්ති කර ගත්තෙ

කියා අද සිතෙනවා

ඒ බැවින් ජීවිතය

තනිව අද විඳිනවා

සංජය ක්‍රිශාන්ත පයාගලගේ

 

Comments