ප්‍රේක්ෂක ආදරය තමයි මම ලැබූ සම්මානය | සිළුමිණ

ප්‍රේක්ෂක ආදරය තමයි මම ලැබූ සම්මානය

 

 

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු සිඳු ටෙලි නාට්‍යය වයස් භේදයකින් තොරවම ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් ටෙලි නාට්‍යයක්. එහි තෙරුණි චරිතයකට පණ පෙවූ ඇය ගැනයි අද කතාබහ. ඇය නමින් මනීෂා චංචලා.

 

මේ දවස්වල මනීෂා නිදහසේ ඉන්නව කියලයි ආරංචිය?

මේ දවස්වල මං සංගීත විශාරද විභාගයේ අවසාන විභාගයට සූදානම් වෙමින් ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි වැඩි කාලයක් යොදවන්නේ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ හද රැඳි පැයේ නිවේදන කටයුතු කරනවා.

 

මනීෂා ගොඩක්ම ප්‍රේක්ෂකයන් හඳුනාගත්තේ තෙරුණි හරහා නේද? කොහොම ද ලැබෙන ප්‍රතිචාර?

සිඳූ ටෙලි නාට්‍යයේ තෙරුණි කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. සිඳූ, සෝරත පොඩි හාමුදුරුවෝ වගේ ළමා චරිතවලට වගේම තෙරුණි කියන චරිතයටත් එහි ලොකු ඉඩක් දුන්නා. වයස් භේදයක් නැතුව ප්‍රේක්ෂකයන් එය ආදරයෙන් වැලඳ ගත්තා. මනීෂා චංචලා කියන නම නොදන්න කෙනෙක් වුණත් තෙරුණිව දැනන් හිටියා. ඒ ලැබුණු ආදරය මට ගොඩක් වටිනවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයා වැලඳගත්තා නම් ඇත්තටම එය ඔහුට හෝ ඇයට ලොකු ආශීර්වාදයක්. මටත් ඒ ආශීර්වාදය තෙරුණි නිසා ලැබුණා.

 

මනීෂා කලාවට සම්බන්ධ වුණ හැටි කිව්වොත්?

මම ළමා වියේදීමයි කලාවට සම්බන්ධ වුණේ. ඒ කඳුරට ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක් හා ළමා ගායිකාවක් විදියට. ඒ ලැබුණු අත්දැකීම් මෙතෙක් ආපු ගමනට ලොකු පන්නරයක් වුණා. ඉන්පස්සේ තමයි දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් වුණේ. නමුත් හැමෝම මාව අඳුනගත්තේ රංගන ශිල්පිනියක් විදියට. මුලින්ම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු ජානක සිරිවර්ධනගේ වස්සාන සිහිනය ටෙලි නාට්‍යයේ මනූෂා කියන ළමා චරිතයෙන්. ඒ 2009 දී. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ආරාධනයක් අනුවයි එයට සම්බන්ධ වුණේ. ඊට පස්සේ දිගටම ටෙලි නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා. කිරුළි, කුමී, සිහින සමාගම, සිල්ලර සමනල්ලු, ලොකු අයියා, අක්ක නගෝ, අමුතු රසිකයා, ගුග්ලි, හාර්ට් chart වගේ ඒවා ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ අතරේ ඒකාංගික ටෙලි නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වුණා.

 

සිනමාව, වේදිකාව තාමත් ඔබට ආගන්තුකයි නේද?

මම තවම සිනමාවට රංගනයෙන් දායක වෙලා නෑ. ඒත් වී. සිවදාසන් මහතාගේ චිත්‍රපට 3කටම ගායනයෙන් දායක වෙලා තියෙනවා. හොඳ චරිතයක් සඳහා ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. වේදිකාව කියන්නේ මං ආසම තැනක්. තවමත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ සඳහා ඉතාම ආසාවෙන් බලා ඉන්නවා.

 

ඔබ එක දිගටම ජනප්‍රිය තලයේ හිටිය නිළියක්. සම්මානය තවම හීනයක් ද?

ඔව්. වසර ගණනක්ම එක දිගටම රයිගම් සහ සුමති සම්මාන උලෙළවල ජනප්‍රිය නිළියට නිර්දේශ වුණා. මං හිතන්නේ ඒ ප්‍රේක්ෂක ආදරය තමයි මම ලැබූ සම්මානය. ඒක ගැන නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක් තියෙනවා. ගිය වසරේ සුමති ටෙලි සම්මාන උලෙළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ මධුරිගේ චරිතයට වසරේ නැඟී එන නිළියට නිර්දේශ වුණා. එය මං ලැබූ ලොකු ජයග්‍රහණයක්.

 

රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනව ද?

රංගනය කියන්නේ මං හීනෙකින්වත් නොහිතපු පැත්තක්. නමුත් අද මම විශ්වාස කරනවා මම ලබපු වටිනාම සහ සුන්දරම අවස්ථාව රංගනය කියලා. ඒ ගැන හැදෑරීමක් කර නොතිබුණත් ඉදිරියේදී එය හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ක්ෂේත්‍රය තමයි මගේ රංගන පාසල වුණේ. ඒවගේම මෙහි ප්‍රවීණයන් තමයි මගේ ගුරුවරු.

 

මෙච්චර සුන්දර යුවතියක් ආදරයෙන් ඈත්වෙලා ඉන්නව කියන එක නම් පිළිගන්න අමාරුයි නේද?

ආදරය කියන්නේ පුළුල්ව කතා කළ යුතු දෙයක්. මමත් ආදරය කරලා තියෙනවා. ඒත් මං හිතන්නේ ආදරය කියන්නේ මානසික නිදහස. අපි හැමෝම පොඩි කාලේ ඉඳන්ම මනස නිදහසේ රැඳුන තැන තමයි ආදරේ පිරුණු තැන විදියට දැක්කේ. ඒක ජීවිත කාලෙම එහෙම වෙන්න ඕන කියලයි මං හිතන්නේ.

 

මනීෂාගේ ඉදිරි බලාපොරොත්තු?

මේනක රාජපක්ෂගේ අලුත් ටෙලි නිර්මාණයකට මම මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව සංගීත විශාරද විභාගෙ වැඩකටයුතු හොඳින් කරගැනීම තමයි ලොකුම බලාපොරොත්තුව. තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩ ටිකත් කරගෙන මගේ පෞද්ගලික කටයුතුත් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

 

 

Comments