මා මිය යන්නේත් ජීවි­ත­යක් බේරා ගෙනයි | සිළුමිණ

මා මිය යන්නේත් ජීවි­ත­යක් බේරා ගෙනයි

මගේ තාත්තා රණවිරුවෙක්. රණවිරු තාත්තලා මැරුණහම ඒ අයගේ දරුවන් අඬන්නේ නැහැනේ. මගේ තාත්තත් මට ආඩම්බරයි. ඒ නිසා මමත් අඬන්නේ නැහැ.........” නව හැවිරිදි අනුත්තර හැමෝටම එහෙම කිව්වේ තාත්තගේ දේහය දිහා බලා කිසිදු බරපතළක් නොගෙන.

මේ පුංචි පුතාට තාත්තාගේ වියෝව තවමත් සිහිනයක්. සිය පියාගේ දේහය හමුදාවේ මාමලා විසින් ඔසොවා ගනු ලැබ නිවෙසින් රැගෙන ගියත් මරණය යන අකුරු හතරේ ගැඹුර තේරුම් ගන්නට මේ පුංචි පුතාට තවමත් නොහැකිය. නිතර රැකියාවට යන එන සිය පියා මේ යන්නේද සදාකාලිකවම බව සිතන්නට මේ පුංචි සිතට තේරුමක් නැත.

මේ පියා ෆ්ලයිට් සාජන් , සහන සේවා ගුවන් භට වයි.එම්.එස් යාපාරත්න ය. රැකියාව සිය ජීවිතයට දෙවැනි නොකොට ජීවිතයකට ජීවයක් දෙන්නට ගොස් ඔහු සිය ආදරණීය බිරියගෙන් මෙන්ම පණවැනි ආදරණීය පුතණුවන්ගෙන්ද සදහටම සමු ගත්තේය. ඔහු දිවියෙන් සමුගත්තේ සිය මව හා සමාන වූ තවත් මවකට ජීවිතයක් දෙන්නට ගොස් සිටියදී ය.

පසුගියදා නොකඩවා ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් සිදුවූ මහා විනාශයෙන් නෙළුව දූලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවක ජීවිතයත් මරණයත් අතර සිටි ඒ මව අද ජීවත් වෙන්නේ මේ අභීත සෙබළා නිසාය. ආගමක් ජාතියක් නොව ජීවිතයකට ජීවිතයක් දන්දී රෝහලක සයනයක් මත ප්‍රතිකාර ලබන මේ මවටද අද උරුම වී ඇත්තේ සදාකාලික වේදනාවකි.

“ අද මම ජීවත් වෙනවා. ඒත් මාව බේරගන්න ආපු පුතා මාව දාලා ගිහින්. මාව බේරගෙන ඒ දරුවා මැරුණු එක මට වාව ගන්න බැහැ.........” මේ මව සුසුම් ලන්නී ය.

“ මගේ ගම සූරියවැව. මෙතැන වැඩට ඇවිත් දැන් අවුරුදු 9 ක් විතර වෙනවා. අපි තේ වත්තේ වැඩ කරලා රෑට ඉන්නේ මේ කර්මාන්තශාලාවේ නේවාසිකාගාරයේ. මෙතැන වැඩ කරන කාන්තාවන් 8 ක් 9 ක් පමණ ඉන්නවා. 25 වැනිදා මගේ සේවා මුරය තිබුණේ හවස. මමත් ලීලාවතිත් නවාතැනට ආවේ රෑ 10.30 ට විතර. මොර සූරන වැස්ස. ඒ වගේම තද සීතල.

අපි දෙන්නා රාත්‍රි ආහාරය අරගෙන නිදා ගන්න ගියා. වැස්ස අඩු නැහැ. රාත්‍රි දොළහට විතර අපේ වත්තේ ආරක්ෂක සර්ලා ඇවිත් අපිට කිව්වා කන්ද නාය යන්න පුළුවන් කයලා. ඒ නිසා අයින් වෙන්න කියලා. හැමෝම නැගිටලා හිටියේ. එහෙම කියනවත් එක්කම කන්ද නාය යන්න ගත්තා. අපි දෙන්නෙක් විතර ඉතුරු වෙලා අනිත් අය පස් කන්දට යටවුණා. අපි දෙන්නා හිරවුණා. අපි විලාප තිබ්බා. වැස්ස නිසා කාටවත් අපේ සද්ද ඇහුණේ නැහැ.

පස්වලට යටවෙලා හිටිය අපේ අය බේරගන්න කියලා කෑ ගහන විලාපය අපිට ඇහුණා. ඒ සද්දත් ටිකෙන් ටික නැතිවෙලා ගියා. මමයි ලීලාවතියි එළිවෙනකම් මරණ බයෙන් දිගටම කෑ ගැහුවා. සර්ලා ඇවිත් ගන්න හැදුවත් ගන්න බැරිවුණා. තෙමි තෙමී උදේ වෙනකම් හිටියා. උදේ 6.30 ට විතර හෙලිකොප්ටරයෙන් මහත්වරු ආවා.

ඇවිත් අපිව අරගෙන රෙද්දක් අන්දලා බෝට්ටුවක් වගේ එකකින් මාව උඩට ගත්තා. බඳ පටියක් වගේ එකක් දාලා මාව උඩට ගත්තෙත් මේ පුතා. එහෙම ගත්තු මම අද ජීවතුන් අතර. ඒත් මේ දරුවා නැතිවුණා කියලා මම දැනගත්තේ රෝහලේදි. මේ මරණ දැක දැක පණ ආපු මගේ ජීවිතය අද මට දුකක්.....”ඒ. ඩී. ඥනවතී පවසන්නී ය.

අනතුර විමට පෙර දින සිය නිවෙසට පැමිණෙන බව කී සිය ස්වාමියාගේ වියෝව බිරිය වන ලක්මාලිට තවමත් දරා ගත නොහැකිය. මේ සියල්ල සිහිනයක් වැනි වූ සිතුවම් පෙළක් පමණක් යැයි සිතා සිත රවටා ගැනීමට ඇය උත්සාහ කළද, මේ පුංචි කැදැල්ලේ පුංචි පුතු දකින වාරයක් වාරයක් පාසා ඇය සිය දහස් වාරයක් හඬා වැටෙන්නී ය.

“නංගිට තවමත් කතා කරන්නවත් බැහැ.......එයා ලොකු කම්පනයකින් ඉන්නේ......” ඒ මේ රණවිරුවාගේ සොහොයුරු ශාන් යාපාරත්නය. සොහොයුරු පෙම ගැන පවසන්නට ඔහුට ඇවැසි වුවද ඔහුද පසුවන්නේ දිගු සිහිනයකින් අවදි වූවකු ලෙසය.

“මට තාම මේ දේවල් සිහිනයක් වගේ. මල්ලි නැතිවුණු දවසේ එයාගේ ඔෆීස් එකේ යාළුවෙකුගේ මගුල් ගේකට යන්න මල්ලි හිටියේ. මට කතාකර කිව්වා අයියේ මගේ යාළුවෙකුගේ වෙඩින් එකක් තියෙනවා මාවනැල්ලේ . ඒ නිසා මම කලින් දවසේ ගෙදර එනවා ඒකට යන්න කියලා. ඒත් මම කිව්වා වහින නිසා බයික් එකේ යන්න එපා, මගේ වාහනය අරගෙන යන්න කියලා.

ඒත් මල්ලි රෑ වෙනකම් ගෙදර ආවේ නැහැ. මම කෝල් කළහම එයා කතා කර කිව්වා ඩියුටි බාර දීලා එන්න කෙනෙක් නැහැ. ඒ නිසා මම උදෙන්ම එන්නම් කියලා. උදෙත් බලාගෙන හිටියා. ඒත් ආවේ නැති නිසා මම ආයිත් කෝල් කළා. මල්ලි ෆෝන් එක ගත්තේ නැහැ. ඒ නිසා මම එයාගේ ගෙදරට කතා කළා. ගෙදරින් කිව්වා හදිසියේම ගං වතුරින් අනාථ වුණු අය බේරගන්න ගාල්ලට යන්න වෙලා තියෙන නිසා ගාල්ලේ ගිහින් තියෙනවා.

ඒනිසා මඟුල් ගෙදර යන්නේ නැහැ කිව්වා කියලා. ඒක කිව්වෙත් එයාගේ නෝනා. ඒත් දවල් 12ට විතර මට පණිවිඩයක් ආවා මල්ලිට පොඩි කරදරයක් වුණා. කකුල ටිකක් තුවාල වෙලා කරාපිටිය රෝහලට ගෙනිච්චා කියලා. මම යාළුවෝ කිහිප දෙනෙකුත් එක්ක කරාපිටිය රෝහලට ගියා. යනකොට මල්ලි අයි.සීයූ එකේ. ගොඩාක් අමාරුයි. මෙෂින්වලින් හිටියේ. වෛද්‍යවරු කිව්වා මල්ලිගේ තත්ත්වය බරපතළයි.

අභ්‍යන්තර රුධිර වහනය වැඩියි කියලා. ඒත් ටික වේලාවකින් මල්ලි අපි සේරම දාලා ගියා. මගේ මල්ලි මේ ගැන පළපුරුද්ද නැති කෙනෙක් නෙමේ. එයාට අවුරුදු 17 ක පුහුණුවක් තියෙනවා මල්ලිගේ එකම ආසාව තිබුණේ මේ වගේ දේවල් කරන්න. මේ දේවල් අවදානම් කියලා එයා දැනගෙන හිටියා. ඒත් මේක එයාගේ දෛවය.......” සොහොයුරු ශාන් පවසන්නේ ය.

සිය ජීවිත අවදානම දැන දැනත් යාපාරත්න රණවිරුවා ඒ අවදානම නොතකා ජීවිත බේරා ගැනීමට නොපැකිළව ඉදිරිපත් වූයේ එය ඔහුගේ රාජකාරියට එහා ගිය යුතුකමක් හා මිනිසත්කම සලකාය. ඔහු ජීවිත බේරා ගත්තේ සිය දිවි නොතකමිනි.

මරණයෙන් පසු ඔහු උසස් වීමක් ලැබ ඇත්තේ ඔහු කළ සේවය නිසාවෙනි. සිය සේවයේ මතකයන් පමණක් ඉතිරි කරමින් මිනිසත්කම සමාජයට දායාද කරමින් ඔහු නික්ම යන්නට පෙරාතුව සිය ෆේස්බුක් ගිණුමේ ඔහු විසින්ම කළ අමරණීය සටහනක් මෙසේ සටහන් කරන්නේ ඒ අමරණීය විරුවාට උපහාරයක් ලෙසය.

If one day fire kills me, Don't worry. I was doing what I love- “මා මිය යන්නේ මා විසින්ම නිවමින් සිටි ගින්නකට නම් , පසුතැවිලි නොවන්න. මා කරමින් සිටියේ මා ආසා කළ දේයි.!” අවසානයේ ඔහු ගංවතුර නිසා මිනිස් සිත් සතන් වෙළාගත් ගිනි නිවමින් සිටියදී කියූ ආකාරයෙන්ම අප අතරින් වෙන්ව ගියේ ය. 

Comments