ඉන්ධන මිල අඩු කළත් බඩු මිල අඩු නොවීම ගැන ජනතාව කියන කතා | සිළුමිණ

ඉන්ධන මිල අඩු කළත් බඩු මිල අඩු නොවීම ගැන ජනතාව කියන කතා

ප්‍රසන්ති දිසානායක (49)
- ගම්පහ - පිළිගැනීමේ නිලධාරිනී

පෙට්‍රල් මිල පොඩි ගාණකින් අඩු කළා කියලා හයර් කුලිය හා අනිත් බඩුවල මිල අඩු කරලා නෑ. මේ වෙද්දි දුප්පත් ජනතාව හා කුඩා දරුවන් ඉතා අසරණ භාවයට පත්වෙලා. සමෘද්ධි හෝ වෙනත් සහන වුණත් ඇත්තටම දුප්පත් අයට නොලැබෙන අවස්ථා තියනවා. ඇති හැකි කෙනා ඒ ප්‍රතිලාභත් ලබා ගන්නවා. මෙහිදී ආකල්පමය වෙනසක් තමා අවශ්‍ය වෙන්නේ. වගකිවයුතු නිලධාරින් නැති බැරි අය ගැන මානුෂික මට්ටමින් බලලා අතහිත දීම අත්‍යවශ්‍යම දෙයක්. මෙහිදී නීති රීති වලටත් වඩා මනුස්සකමයි වැදගත් වෙන්නේ සාමාන්‍ය ජනතාවට සහන දීම රජයේ යුතුකමක්.

ඉන්ධන මිල පහළ දැම්මට භාණ්ඩවල මිල පහළ දාලා නැහැ 
- අනුෂා නෙල්කා ප්‍රනාන්දු (48) දංකොටුව - ස්වයංරැකියා

පෙට්‍රල් මිල රුපියල් සිය ගාණකින් වැඩි කරලා රුපියල් 20,30 න් අඩු කළාට හයර් එක අඩු කරන්නෙ කොහොමද කියලා එයාලා කියනවා. ත්‍රිවිල් ගාස්තුව විතරක් නෙමෙයි හැම දේකම මිල ඉහළයි මේ වෙද්දි මිනිසුන්ට ජීවන වියදම දරාගන්න බෑ. ඒ නිසා දැන් අත්‍යවශ්‍යම ගමනකට පමණයි ත්‍රිවිලරයකින් යන්නේ. නැත්නම් පයින් යන්න සිදු වෙලා තියෙන්නේ. වෙනකක් තබා දුම්රිය බස් ගාස්තුත් වැඩිනේ. ඒ නිසා මිනිස්සු වුවමනා ගමනකට හැර එළියට බහින්නෙත් නැති තරම්. පෙට්ට්‍රල්, ඩීසල් වැඩි කළ ගමන්ම ඊට සාපේක්ෂව වෙ‍ෙළඳපලේ අනිත් හැම දේකම මිල වැඩි වුණත් පෙට්‍රල් මිල අඩු කළා කියලා ඒ කිසිම දේක මිල පහළ හෙ‍ෙළන්නේ නෑ. ජනතාවගේ පැත්තෙන් මේක හරිම අසාධාරණයි.

ජනතාවට සහන සැලසෙන ලෙස සියල්ලේම මිල අඩු කළ යුතුයි
- සිනේකා ආරියසිංහ (27) රාගම - ගෘහ නිර්මාණ ශිල්පිනී

ඉස්සර අපිත් ළඟ පාත ගමන්වලදී වගේම දුර ගමනටත් ත්‍රිවිල් තමා යොදා ගත්තේ. ඒත් පෙට්‍රල් මිල වැඩි වුණාට පස්සේ ත්‍රිවිල් කුලිය අස්ස ගාණට නැග්ගා. දැන් පෙට්‍රල් ගාණ ටිකක් අඩු කළත් ත්‍රිවිල් කුලිය අඩු කරලා නෑනේ. හදිසියකට ලෙඩකට බේත් ටිකක් ගන්නවත් යන්න පුළුවන්ද? ත්‍රිවිල් රියදුරන්ටත් අපිටත් අසාධාරණයක් නොවන විදිහට යම් ක්‍රමවේදයක් සකස් කරනවා නම් හොඳයි. පෙට්‍රල් කුලිය වැඩි කළාම වෙ‍ෙළඳපළේ අනිකුත් සෑම දේකම භාණ්ඩවල මිල වැඩි වුණා පෙට්‍රල්, ඩීසල් අඩු කළාට බඩු මිල කීයක්වත් අඩු නෑනේ.

කාටත් ආදායම බෙදී යන පරිදි සහනදායි වැඩපිළිවෙළක් සකසන්න
- මොහොමඩ් නාසීම් (50) මහරගම - වෙ‍ළෙඳ විධායක

පෙට්‍රල් මිල වැඩිවීමට සාපේක්ෂව වෙළඳපළේ හැම භාණ්ඩයකම මිල වැඩිවුණා නමුත් පෙට්‍රල් මිල අඩු වුණා කීවා සැලකිය යුතු ගාණකින් අඩු වුණේ නැහැ. රුපියල් 100න් තෙල් වැඩි කරලා රුපියල් 20න් අඩු කලාට හයර් එක අඩු කරන්නෙත් නෑ. බඩු මිල අඩු කරන්නෙත් නෑ. ලෝක වෙ‍ෙළඳපළේ තෙල් මිල අඩු කිරීමට අනුව සංස්ථාව රුපියල් 250 බැගින් ලාබ ලැබුවත් ඒ ලාබය ජනතාවට දෙන්නේ නෑ. පොඩි ගාණකින් තෙල් මිල අඩු කළාට හයර් වල හා භාණ්ඩවල මිල පහළ දාන්නත් බෑ. මේ හැම දේකින්ම පීඩාවට පත්වෙන්නෙ සාමාන්‍ය ජනතාවයි. මෙහිදී රජයට විශාල වගකීමක් තියනවා සාධාරණව කාටත් ආදායම බෙදී යන පරිදි සහනදායි වැඩපිළිවෙළක් සකසන්න.

ජනතාවට සහන දීම වගේම තනිව නැඟී සිටීමට දිරි දිය යුතුය
- දිමුතු ද සිල්වා (40) බණ්ඩාරගම - වෛද්‍යවරයෙක්

පෙට්‍රල්, ඩීසල් අඩු වුණාට ත්‍රිවිලර් හා කුලී වාහනවල අමතර කොටස්, ඔයිල්, අලුත්වැඩියා ගාස්තු අඩු වෙලා නැතුව හයර් කුලිය අඩු කරන්න බෑනේ. මීට වසර ගණනකට පෙර රජය ත්‍රිවිලර් මිල අඩු කළා. ඒ නිසා මහන්සියෙන් රැකියාවක් කරලා ආදායමක් උපයා ගන්න හැකි පිරිස ත්‍රිවිල් එකක් අරන් ලේසියෙන් කීයක් හරි හොයන් නිකන් ඉන්න පුරුදු වුණා. ඒ නිසා හැමදාම පහළ ආදායමක නතර වෙලා. මේ වෙද්දි බදු හා වක්‍ර බදු වැඩි කරලා. ආදායමට වඩා වියදම ඉහළ නිසා තමයි බහුතරය පීඩා විඳින්නේ. ඒ නිසා ජනතාවට සහන සැලසීම වගේම තනි තනිව නැඟී සිට ආර්ථික ශක්තිය ඇති කර ගැනීමට ජනතාවට දිරි දීම රජයේ යුතුකමක්

ඉන්ධන ලබා දීම සීමා කළාම හයර්වල ගාණ අඩු කරන්නෙ කොහොමද?
- මුනයන්ඩි චන්ද්‍රසේකරන් (63) කුරුඳුවත්ත - ත්‍රිවිල් රියදුරු

පෙට්‍රල් මිල ඉහළ ගියේ රුපියල් සිය ගණනින් ඒත් එක්කම අමතර කොටස් මිලත් වැඩි වුණා. රුපියල් 30,40 දැන් පෙට්‍රල් මිල අඩු කළාටම ඉන්ධන ලබා දෙන ප්‍රමාණය සීමා කරලා ලීටර් 4න් දවස් දෙකක්වත් දුවන්න පුළුවන්ද? ඊට වැඩිය පෙට්‍රල් ගන්නවා නම් කළු කඩ මිලටයි ගන්න වෙන්නේ. ත්‍රිවිල් රස්සාවෙන් ජීවත් වෙන්න බැරි තරමට ගැටලු ඇතිවෙලා. ඉතින් කොහොමද කුලිය තවත් අඩු කරන්නේ. ත්‍රිවිල් එකකින් වෙළඳාම් කරන කෙනෙක් වුණත් අනිත් බඩුවල මිල අඩු වෙන්නෙ නැතුව කොහොමද භාණ්ඩවල මිල අඩු කරන්නේ. එහෙනම් පෙර තිබු මිලට හැමදේකම මිල නැවත පහළ දැමිය යුතුයි.

Comments