ඒෂියා විෂන් අධ්‍යක්ෂවරයාගේ සම්මානය ජාතික රූපවාහිනියට | සිළුමිණ

ඒෂියා විෂන් අධ්‍යක්ෂවරයාගේ සම්මානය ජාතික රූපවාහිනියට

වසරේ හොඳම ප්‍රවෘත්ති මෙහෙයුම්කරණය වෙනුවෙන් සම්මානය හිමි වෙන්නේ පළමු වරට

ආසියාවේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ හොඳම ප්‍රවෘත්තිය ලෙස නිර්දේශ වෙයි

ප්‍රසාද් දොඩංගොඩ සහ විමුක්තිකා කාරියවසම් සම්මානය අතැතිව

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විදේශ ප්‍රවෘත්ති ප්‍රසාද් දොඩංගොඩ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රාදේශීය ප්‍රවෘත්ති විමුක්තිකා කාරියවසම් සම්මානය ලබා ගනිමින්

 

2022 වසර අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලබන්නට ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය සමත් විය. ආසියා ශාන්තිකර විකාශන සංගමය මඟින් පිරිනමනු ලැබූ මෙම සම්මානය වසරේ හොඳම ප්‍රවෘත්ති මෙහෙයුම්කරණය වෙනුවෙන් ඒෂියා විෂන් අධ්‍යක්ෂවරයාගේ සම්මානය ලෙස මෙවර සම්මාන උලෙළට එක්වූවක් වීම ද විශේෂත්වයකි. රාජ්‍යයන් 33ක සහභාගීත්වයෙන් ඉන්දියාවේ දී පැවති මෙම සම්මාන උලෙළ සඳහා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විදේශ ප්‍රවෘත්ති, ප්‍රසාද් කෞෂල්‍ය දොඩංගොඩ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රාදේශීය ප්‍රවෘත්ති විමුක්තිකා කාරියවසම් සහභාගි වූහ.

 

ජාතික රූපවාහිනී සේවය නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් දොඩංගොඩ ඔවුන් ලද සම්මානයේ තොරතුරු අප හා බෙදාගත්තේ මෙලෙසිනි.

“ආසියා ශාන්තිකර කලාපීය විකාශන සංගමය කියන්නේ මේ කලාපයේ තියෙන මාධ්‍ය විකාශන කටයුතු පිළිබඳ නියාමන ආයතනය. කලාපීය ප්‍රවෘත්ති හුවමාරුව සඳහා ආයතනයක අවශ්‍යතාවක් පැවති 1984 වර්ෂයේ තමයි මෙය ආරම්භ කර තිබෙන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගීත්වයෙන් රටවල් 9 ක සහභාගිත්වයෙන් ආරම්භ කර ඇති මෙය මේ වනවිට රාජ්‍යයන් 33ක සාමාජිකත්වයෙන් යුක්තයි. සම්බන්ධතාව අපේක්ෂාවෙන් ඉන්න රටවල් තවත් තියෙනවා.

ඒෂියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුව කියන ඒකකය හරහා තමයි කලාපයට අයත් සෑම රටකින්ම ලැබෙන ප්‍රවෘත්ති කලාපය පුරා බෙදාහැරෙන්නේ. මේ සංගමය සඳහා සාමාජිකත්වය ලබාදෙන්නේ ආසියා ශාන්තිකර කලාපීය රටවල ජාතික රූපවාහිනී ආයතනවලට පමණයි. රටක ප්‍රතිරූපය ආරක්ෂා වීම වගේම වගකීම් සහිත බව තමයි එය තෝරා ගැනීමට විශේෂිතම හේතුව. ඒ ඒ රටවල අන්තර්ජාතික වැදගත්කමකින් යුතු දෛනික ප්‍රවෘත්ති තමයි මේ සඳහා යොමු කෙරෙන්නේ. ප්‍රවෘත්ති අප්ලෝඩ් කිරීම සඳහා ප්‍රධාන වීඩියෝ ෆ්ලැට්පෝර්ම් එකක් තියෙනවා. දිනපතා අපි එයට ප්‍රවෘත්ති අප්ලෝඩ් කරනවා. දවසකට මෙච්චරයි කියලා සංඛ්‍යාත්මකව කියන්න බැහැ. ප්‍රවෘත්තියේ වැදගත්කම මත තමයි එය තීරණය වෙන්නේ. කලාපීය රටවල් සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රවෘත්ති ජාලයක් විදියට මෙය ක්‍රියාත්මක වන නිසා කලාපීය රටකට අවශ්‍ය ප්‍රවෘත්ති සියල්ලම වගේ ලබාගන්න පුළුවන්.

රොයිටර්, සීඑන්එන් වගේ අතරමැදියෙක් හරහා නොගොස් ප්‍රවෘත්තිය කෙළින්ම ඒෂියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුවෙන් ලබාගත හැකි වීම තමයි මෙහි විශේෂතාව. ඒ වගේම යුරෝපා විකාශන සංගමය (EBU) හරහා යුරෝපීය රටවල් 40කට මෙම පුවත් ලබාගත හැකියි. දැන් මෙය ගෝලීය වශයෙනුත් ව්‍යාප්ත වෙලා නිසා සමහර අරාබි රටවලටත් මේ වීඩියෝ ෆ්ලැට්ෆෝම් එකට ඇක්සස් තියෙනවා. පහුගිය අරගල සමයේ අපේ රටේ සිදුවුණු වැදගත්කමක් සහිත සෑම ප්‍රවෘත්තියක්ම සෑම රටක්ම වගේ ලබාගෙන තිබුණා.

ඒෂියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුවට දෛනිකව අපි යවන ප්‍රවෘත්ති ඇගයීමකට ලක්කර වාර්ෂික සම්මාන උලෙළකට යොමු කරනවා. එය සිදුවන්නේ සංගමයට අයත් රටවල ප්‍රවෘත්ති විධායක නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයේ දී. ප්‍රවෘත්ති මෙහෙයුම් කටයුතු පිළිබඳ ප්‍රශ්න, ගැටලු සාකච්ඡා කිරීම තමයි විශේෂයෙන්ම එහිදී සිදුවෙන්නේ. ඊට අමතරව ඒෂියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුවට ලැබෙන ප්‍රවෘත්ති කාලීන, දේශපාලනික, ආර්ථික, සමාජයීය, දේශගුණික වෙනස්වීම් ආදී විවිධ කැටගරි ඔස්සේ විශ්ලේෂණය කිරීමකුත් සිදුවෙනවා. විශේෂයෙන්ම එහි කාලීන බව, ගුණාත්මක බව, දර්ශනවල ගුණාත්මක බව, පිටපත යන මේ සියල්ලක් ගැනම අවධානය යොමු කෙරෙනවා. සාමාන්‍යයෙන් පිටපතක් ඉදිරිපත් කිරීමේදී පියවරෙන් පියවරට පැහැදිලිව ඉදිරිපත් කර තිබීම වගේම දර්ශන විස්තර කරමින් අංග සම්පූර්ණ ප්‍රවෘත්තියක් යොමුකර තිබිමත් වැදගත්. මේ ක්‍රියාපටිපාටියට සමගාමීව තමයි සම්මාන උලෙළ පැවැත්වෙන්නේ.

2022 වසර සඳහා අපි ඉදිරිපත් කළ ප්‍රවෘත්ති ඇගයීමට ලක්වෙලා තමයි මෙම සම්මාන උලෙළේ ප්‍රධානතම සහ හොඳම සම්මානය වන වසරේ හොඳම ප්‍රවෘත්ති මෙහෙයුම්කරණය වෙනුවෙන් ඒෂියා විෂන් අධ්‍යක්ෂවරයාගේ සම්මානය අපට හිමිවුණේ. මෙය මේ සම්මාන උලෙළේ අවසාන සම්මානය වගේම මෙවර එක්වූ සම්මානයක්. ඊට අමතරව වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්නා සම්මානය සඳහාත් නිර්දේශ වුණා. TRT, NHK වැනි ලෝකයේ ප්‍රබල ආයතන වගේම චීනයේ චයිනා සෙන්ට්‍රල් ටෙලිවිෂන්, ඉන්දියාවේ දූර දර්ශන් වගේ ප්‍රබල ආයතන එක්ක තරග කරමින් තමයි අපිව නිර්දේශ වුණේ. ජපානය එය හිමිකර ගත්තා.”

එමෙන්ම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක රුක්ෂාන් කොඩිතුවක්කු විසින් ගෝලීය දේශගුණික වෙනස්කම් පිළිබඳ ඉදිරිපත් කරනු ලැබූ පුවත ආසියාවේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ හොඳම ප්‍රවෘත්තිය ලෙස නිර්දේශ වීම ද මාධ්‍ය ක්ෂේත්‍රය ලැබූ තවත් ජයග්‍රහණයකි.

Comments