අනියම් පෙම බිලිගත් රූමතිය | සිළුමිණ

අනියම් පෙම බිලිගත් රූමතිය

මට්ටක්කුලිය පොලිස් වසම කොළඹ උතුර පොලිස් කොට්ඨාසයට අයත් කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙසකි. වතු නිවාසවලින් සමන්විත මට්ටක්කුලිය පොලිසියට ආසන්න සමිට්පුරදී පසුගිය හත්වැනිදා තරුණියක ඝාතනය කැරුණේ ප්‍රදේශවාසීන් කම්පා කරවමිනි. ගිය වසරේ අගෝස්තු මාසයේදී ද මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ සිදු වූ මිනිස් ඝාතනයක් රටේම කතාබහට ලක් වූයේය. ඒ, එවකට සමිට්පුර ග්‍රාම නිලධාරිනිය විසින් මට්ටක්කුලිය, යුද හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වා එම යුද හමුදා සාමාජිකයා ඇතුළු නිලධාරින් කීප දෙනෙකු එක්ව ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කිරීම නිසාවෙනි.

පසුගිය 07 වැනිදා රාත්‍රී 8.30ට පමණ 23 හැවිරිදි වෙල්මුණි සුරංගි ඝාතනය කැරෙන්නේ ඇය වාසය කළ නිවෙසට ආසන්න නිවෙසකදීය. ඇගේ ඝාතනයට සම්බන්ධ තිදෙනෙකු එම ඝාතනයෙන් දින දෙකකට පසු එනම් පසුගිය 9 වැනිදා දෙමටගොඩ, දුම්රිය මාර්ගය අසල නිවෙසක සැඟව සිටියදී මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගයාන් නිරෝෂන් ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවය.

වෙල්මුණි සුරංගි අංක 47/බී/29, සමිට්පුර, වතු නිවාසයේ ඇය වාසය කළේ මාපියන් සහ වැඩිමහල් සහෝදරිය මෙන්ම ඇගේ 10 හැවිරිදි දියණිය සමඟිනි. අවිවාහක තරුණියක වන සුරංගී මීට කලකට පෙරදී ප්‍රේම සබඳතාවක් ඇති කරගන්නේ සුරංගිගේ නිවෙස පිහිටි ‘ලේන්‘ එකට ආසන්න ‘ලේන්‘ එකක පදිංචිව සිටින ප්‍රසාද් නමැති තරුණයකු සමඟිනි. වයස අවුරුදු 25ක් පමණ වන කදිරවේළු ප්‍රසාද් හෙවත් චලින්ද විවාහක අයෙකි. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් ද සිටිති.

ප්‍රසාද් සහ සුරංගිගේ ප්‍රේම සබඳතාව දෙදෙනාගේම නිවෙස්වල අය ද දැන සිටියහ. එම ප්‍රේමය නිසා දෙපාර්ශ්වය අතර නිතර ගැටුම් ද හට ගැනිණි. එම ගැටුම් තඹ දොයිතුවකට මායිම් නොකළ ප්‍රසාද් සහ සුරංගි ප්‍රේමයෙන් මුසපත්ව රට වටේ ගමන් කරන්නේ කිසිවකුට තමන් නතර කළ නොහැකි බව සිතමිනි. ප්‍රසාද්ගේ බිරිය කිරි සප්පයකු මෙලොවට බිහිකොට මාස කීපයක් ගත වෙද්දී ප්‍රසාද්, සුරංගි සමඟ මාසයක පමණ කාලයක් ආගිය අතක් නොමැතිව සිටියේ ප්‍රසාද්ගේ නිවෙසේ අයද වික්ෂිප්තව සිටියදීය.

මීට මාස තුනකට පමණ පෙරදී ප්‍රසාද්ලාගේ පවුලේ අයවලුන් සහ සුරංගිගේ පවුලේ අයවලුන් අතර එම ප්‍රේම සබඳතාව මත ඇතිවූ ගැටුම් නිසා මට්ටක්කුලිය පොලිස් පොතේ ද දෙපාර්ශ්වයෙන් පැමිණිලි කීපයක්ම ලියැවිණි. අනතුරුව මට්ටක්කුලිය පොලිස් නිලධාරින් විසින් එම ගැටුම් සමථයකට පත් කරන්නට උත්සාහ කළේ දෙපාර්ශ්වයේම අයට කීප විටෙකදීම අවවාද කරමිනි. එහෙත් එම අවවාද ‘ගඟට කැපූ ඉනි මෙන්‘ නිෂ්ඵල කාර්යක්ම විය.

සුරංගි ඝාතනයට දින තුනකට පෙරදී ප්‍රසාද් තම පවුලේ උදවියට නොසෑහෙන ලෙස බැණ වදින්නට වූයේ සුරංගිලාගේ පවුලේ උදවියට කරදර කන බවට දොස් කියමිනි. ප්‍රසාද් එදින එතෙක් කිසිම දිනක නොකළ දෙයක්ද කෙළේය. ඒ තම කුසෙන් ප්‍රසාද් මෙලොවට බිහි කළ මවටද පිහියක් පෙන්වා තර්ජනය කරමින් බැණ වැදීමයි. එදින ප්‍රසාද් මවට පිහියෙන් අනින්නට තරම් දාමරිකයකු කළේ සුරංගි යැයි ප්‍රසාද්ගේ පවුලේ උදවිය දෙස්දෙවොල් කියමින් සුරංගිලාගේ පවුල සමඟ ගැටුමකට පැටලිණි. දැඩි සේ ‘අයිස්‘ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි ප්‍රසාද් එලෙස ගැටුම් ඇති කරගන්නේ ද ‘අයිස්‘ මත්ද්‍රව්‍ය පානය කරමිනි.

කෙසේ හෝ එදින එම ගැටුම ආසන්නයේම පිහිටි මට්ටක්කුලිය පොලිසියට සැලවීමත් සමඟ ප්‍රසාද් පොලිසියට කොටු වූයේ ‘අයිස්‘ මත්ද්‍රව්‍යද සමඟිනි. ඒ සමඟම ප්‍රසාද්ගේ මාපියන් පියවර ගත්තේ ප්‍රසාද්ව මාස 6ක පමණ කාලයකට පුනරුත්ථාපන කඳවුරකට යොමු කිරීමයි.

ප්‍රසාද්ගේ බාල සහෝදරයා වන ‘සූරියා‘ හෙවත් ‘සූරි‘ ප්‍රසාද්ගේ එදින ක්‍රියාකලාපයෙන් දැඩි සේ කිපී සිටියේය.

“බලපං බං අපේ අයියා කරන වැඩ... ඌ... උගේ ගෑනිටත් ලොකු අපරාධයක් කරන්නේ... ඒ මදිවට දැන් අම්මවත්... මෙච්චර කල් ඕකා අම්මට අත ඉස්සුවේ නෑ. අද ඌ අම්මටත් පිහියෙන් අනින්න ගියා... ළඟදි ඉපදුණු පොඩි එකාවත් ඕකා අනාථ කරනවා...“

ප්‍රසාද් සිය මවටද පිහියෙන් අනින්ට යාමත් සමඟ කෝපයෙන් පිපිරෙමින් සිටි ප්‍රසාද්ගේ සහෝදරයා ‘සූරි‘ සිය මිතුරන් වූ මධුෂංක හෙවත් ‘සමපෝෂ‘ සහ ‘හංසා‘ යන දෙදෙනාට පැවැසුවේ එවැනි කතාවකි. මේ අතරේ පසුගිය 7 වැනිදා රාත්‍රී 8.30ට පමණ සුරංගි ඝාතනය වන්නේ ඇය සිටි ‘ලේන්‘ එකේම නිවෙසකදී පපුවට එල්ල වූ පිහි පහරවලිනි.

එම නිවෙස ‘අනාස්‘ නමැති අයකුට අයත් වූවකි. අනාස්, ප්‍රසාද්ගේ සොයුරු සූරියාගේ මිතුරෙකි. එම ඝාතනය වන මොහොතේ අනාස් එම නිවෙසේ නොසිටියේය. එම නිවෙස බොහෝ අවස්ථාවල අනාස්ගේ මිතුරන් මත්ද්‍රව්‍ය පානයට යොදාගත් නිවෙසකි. සුරංගිගේ ඝාතනය ඇසූ අවට සිටි පිරිස විලාප දෙද්දි ඒ ආසන්නව පිහිටි මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිරෝෂන් ඇතුළු කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණියේය.

ඒ අතරේ එදින රාත්‍රී 11ට පමණ මට්ටක්කුලිය පොලිසියටද සුරංගි ඝාතනය පිළිබඳ ඇගේ හොඳම යෙහෙළිය චමෝදි පැමිණිල්ලක්ද කළාය. ඒ පිළිබඳ මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහික ද සිල්වා ප්‍රදේශය බාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ද දැනුම්වත් කෙළේය. අනතුරුව පොලිස් ස්ථානාධිපති මහික ද සිල්වාගේ උපදෙස් මත මේ ඝාතනය පිළිබඳ මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිරෝෂන් ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළහ.

ඒ අනුව පොලිස් නිලධාරින් විමර්ශන අරඹමින් මුලින්ම ප්‍රකාශයක් සටහන් කරගත්තේ සුරංගි පිහි පහර කා අනාස්ගේ නිවෙසේ පුටුවක් මත වැටි සිටි ආකාරය මුලින්ම දුටු සුරංගිගේ වැඩිමල් සොයුරිය වන සඳමාලිගේ දියණිය වන 10 හැවිරිදි හංසිගෙනි.

“මමයි... චමෝදි නැන්දයි... නිශාන් මාමායි එක්ක පුංචි බත් කකා හිටියේ... ඒ වෙලාවේ කවුදෝ මාමා කෙනෙක් ඇවිත් පුංචිට කතා කළා. එතකොට ලයිට් තිබුණේ නෑ... විනාඩි දෙකකින් විතර ලයිට් ආපු ගමන් පුංචි එළියට බැහැලා ගියා... මාත් පුංචි ගිහින් ටික වෙලාවකින් පුංචි බලන්න ගියා... මම දැනගෙන හිටියේ නෑ පුංචි ගියේ කොහේද කියලා... ඒ යනකොට අනාස් මාමාලගේ ගෙදර ගාවදි ‘අම්මෝ‘ කියලා කෑගහන සද්දයක් ඇහුණා... මට තේරුණා ඒ පුංචිගෙ කටහඬ කියලා... කෑගහන සද්දෙ ආවේ අනාස් මාමාලගේ ගේ ඇතුළෙන්... මං ඒ ගේ ඇතුළට යන්න හදනකොට ගෙදර ඉස්සරහම කොණ්ඩෙ වවාගෙන සිටිය අයිය කෙනෙක් ‘යන්න එපා... යන්න එපා... ඒ පැත්තට... කියලා මාව නතර කළා. ඒත් මට පුංචිගේ කටහඬ ඇහුණේ ඒ ගේ ඇතුළෙන් නිසා මං ඇතුළට යන්න ගියා... ඒ වෙලාවේ පුංචි පුටුවකට හාන්සි වෙලා ලේ පෙරාගෙන හිටියා... මං කෑගැහුව්වා...“

එම ප්‍රකාශයත් සමඟ හෙළි වූ කොණ්ඩය වවාගෙන සිටි පුද්ගලයා හඳුනනවාද යන්න දැරියගෙන් පොලිසිය විමසීය.

“ඒ කෙනා දැක්කොත් අඳුරන්න පුළුවන්...“ දැරිය කීය.

අනතුරුව මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එම ‘කොණ්ඩයා‘ සොයා විමර්ශන ආරම්භ කළහ. විමර්ශන ඇරැඹීමත් සමඟ මට්ටක්කුලිය පොලිසිය හඳුනා ගත්තේ කුඩා දියණිය නිවෙසට යාම වැළකූ පුද්ගලයා ඝාතනය කැරුණු සුරංගි පෙම් පලහිලව්වක පැටලී සිටි ප්‍රසාද්ගේ සොහොයුරු සූරියාගේ මිතුරෙක් වන ‘හංසා‘ නමැත්තා බවටයි.

ඒ වන විට ‘හංසා‘ සිටියේ එම ප්‍රදේශයෙන් පලා ගොසිනි. විමර්ශන නිලධාරින් මුලින්ම ‘හංසා‘ සොයා විමර්ශන සිදු කළහ. පොලිසියට තොරතුරක් ලැබුණේ ‘හංසා‘ කැලණිය දුම්රිය මාර්ගය යාබද නිවෙසක සිටින බවටයි. ඒ සුරංගිගේ ඝාතනයෙන් දින දෙකකට පසු එනම් පසුගිය 9 වැනිදාය. සැණින් ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් කැලණිය එම නිවෙසේ සැඟවී සිටියදී නව වැනිදා දහවල් හංසා නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ තවත් දෙදෙනෙකුද සමඟිනි. ඒ ප්‍රසාද්ගේ සොහොයුරු සූරියා සහ සමපෝෂ හෙවත්

මධුෂංක නමැත්තා ද සමඟිනි. අත්අඩංගුවට ගැනුණු තිදෙනා සමඟ සුරංගි ඝාතනය කරන විට හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම්ද පොලිසිය සොයා ගත්තේ සිදුකරන ලද විමර්ශනවලදීය.

අත්අඩංගුවට ගැනුණු තිදෙනාගෙන් ප්‍රශ්න කරද්දී සුරංගිගේ ඝාතනයේ සුල-මුල හෙළිදරවු විය. එහිදී අනාවරණය වූයේ සුරංගි ඝාතනයේ සියලු සැලසුම් ප්‍රසාද්ගේ සොහොයුරු ‘සූරියා‘ විසින් සිදු කර ඇති බවයි. සූරියාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පොලිසියට කීවේ මෙවැනි කතාවකි.

“සර්... සුරංගි නිසා අපේ පවුල විනාශ වුණා... අපේ අයියා... ඒකි නිසා එයාගේ නෝනටත් ලොකු අසාධාරණයක් වුණා... පස්සෙ අයියා... අපේ අම්මටත් පිහියෙන් අනින්න හැදුවේ... ඒකා කවදාවත් එහෙම කරපු කෙනෙක් නෙවේ... ඒත් පහුගිය දවසක එයා ඒ දේත් කරන්න හැදුවා... ඉතින් මට සුරංගි එක්ක පුදුම තරහක් තිබුණේ අපේ පවුල විනාශ කරන්න හදන නිසා... අන්තිමට අපේ අතින් මේ දේ සිද්ධ වුණා...“ ප්‍රසාද් සිය මවටද පිහියෙන් ඇනීමට තැත් කිරීමත් සමඟ සුරංගි සමඟ දැඩි සේ වෛරයෙන් පසු වූ ‘සූරියා‘ සිය සෙහොයුරු සමඟ තිබෙන සම්බන්ධය නතර කරන ලෙසට සුරංගි සමඟ කතා කිරීමට සූදානම් වූහ.

ඒ අනුව සූරියා, මධුෂංක හෙවත් සමපෝෂ සහ හංසා යන මිතුරන් දෙදෙනා සමඟ කතිකා කරගත්තේ සුරංගි, ඇය සිටින ‘ලේන්‘ එකේම සිටින සිය මිතුරෙක් වන අනාස්ගේ නිවෙසට කැඳවාගෙන විත් ඒ ගැන කතා කිරීමටයි. ඒ, පසුගිය 7 වැනිදා රාත්‍රී 8.30ට පමණය. සූරියා, මධුෂංක සහ හංසා සමඟ දුම්වැටියක් පානය කරමින් අනාස්ගේ නිවෙසට එමින් සිටියේය.

“අද මං අරකිට අනිනවා පිහි පාරක්...“ සුරංගි සමඟ මහත් වෛරයෙන් සිටි සූරියා අනාස්ගේ නිවෙසට එන අතරමඟදී කීවේය.

“උඹ අනිනවනම් මාත් ඕකිට පිහියෙන් අනිනවා...“ එසැණින් මධුෂංකද සූරියාගේ ප්‍රකාශය අනුමත කළේ එලෙස පවසමිනි. එහෙත් හංසා ඊට උඩගෙඩි දෙන්නට ගියේ නැත.

“ඒයි... හංසා උඹ පලයං සුරංගිව හම්බ වෙන්න... ගිහිං කියපං ප්‍රසාද්ගෙන් පණිවිඩයක් තියෙනවා... ඒක කියන්න අනාස්ලගේ ගෙදරට එන්න කියලා...“

සූර්යා එසේ කීමත් සමඟ හංසා සුරංගිගේ නිවෙස ඉදිරිපිට ගේට්ටුව අසලට ගොස් ඒ බව සුරංගිට කීවාය. ඒ වන විට විදුලියද විසන්ධි වී තිබුණේය. සුරංගි, ඇගේ හොඳම මිතුරිය චමෝදි, නිශාන් සහ සුරංගිගේ වැඩිමල් සොයුරිය සඳමාලිගේ දියණිය හංසි සමඟ රාත්‍රී ආහාර ගනිමින් සිටියාය.

“ඒයි සුරංගි වරෙන් බං පොඩ්ඩක් එළියට... ප්‍රසාද්ගේ පණිවිඩයක් තියෙනවා... ප්‍රසාද්ගේ මල්ලි සූරියා උඹට පොඩ්ඩක් කතා කරනවා...“

‘ප්‍රසාද්ගේ පණිවිඩයක්‘ කී සැණින් සුරංගිගේ ‘ඉහේ මලක් පිපුණාක්‘ මෙන් විය. ආහාර ගැනීමද පසෙක දැමු සුරංගි සැණින් මඳ දුරකින් පිහිටි අනාස්ගේ නිවෙසට දිව ගියාය. ඒ වන විට එම නිවෙසට සූරියා සහ මධුෂංකද පැමිණ සිටියේය. සුරංගි නිවෙසට ගොස් පිරිස හමු වූහ.

“ප්‍රසාද් මට රුපියල් දහදාහක් ඉල්ලලා කතා කළා... එයා ගිය දවසේ ඉඳන් කාලත් නැහැලු... මං එයාට ඊසි කෑෂ්වලින් රුපියල් දහදාහකුත් යැව්වා... ඒ දහදාහෙත් අයිස් ගහලා... ප්‍රසාද් ගැන එයා බැඳපු ගෑනිට වඩා දුක දැනෙන්නෙ මට... යැයි සුරංගි සූරියා ඇතුළු තිදෙනාට කීවේ ප්‍රසාද් ගැන විස්සෝප වෙමිනි.

එසැණින් පිහියක් ඉනේ සඟවාගෙන සිටි සූරියා එම පිහිය ඇද සුරංගිගේ පපුවටම ඇන්නේය. සූරි එක් පිහි පහරක් අනිද්දී මධුෂංකද ළඟ තිබූ පිහියක් ගෙන සුරංගිට පිහි පහර කීපයක්ම ඇන්නේ සුරංගි පළමු පිහි පහරෙන් ලේ වැගිරෙමින් අසල පුටුවකට වැටි සිටියදීමය.

පිහි පහර කෑ සුරංගි ‘අම්මෝ‘ යැයි කියමින් පුටුව මතට වැටෙනවාත් සමඟම මිය ගිය අතර සුරංගිගේ හඬ ඇසුණු ඇගේ සොහොයුරියගේ දියණිය හංසි එම නිවෙසට ඇතුළු වෙන්නට තැත් කරද්දී නිවෙසේ සිටි දෙදෙනා සහ පිටත සිටි හංසා ඇතුළු තිදෙනා එම ස්ථානයෙන් පැන ගියෝය.

එම ඝාතනයත් සමඟ මට්ටක්කුලියෙන් පැන ගිය තිදෙනා සැඟ වුණේ කැලණිය දුම්රිය මාර්ගය යාබද නිවෙසකය. එම නිවෙස සූරියාගේ සහෝදරියක මෙන්ම හංසාගේ පුංචි අම්මා කෙනෙකුට අයත්ය.

“කෝ... උඹලා සුරංගිට ඇනපු පිහිය...“ පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

“සර්... අපි මට්ටක්කුලිය කෑම්ප් එක පහුවෙලා තොටළඟ පැත්තට ත්‍රිවිල් එකේ යද්දි පිහිය ගඟට විසි කළා...“ යැයි සූරියා කීවේය. අනතුරුව පොලිසිය එම ප්‍රදේශය පිරික්සමින් පිහිය සෙව්වේය. එහිදී අනාවරණය වූයේ එම පිහිය ගඟට වැටි නැති බවයි. ගං ඉවුරේ තිබී එම පිහිය සමඟ තවත් පිහියක්ද සොයා ගැනිණි.

“පිහි දෙකක් මොකද...?“ පොලිස් නිලධාරියෙක් විමසීය.

“අපි දෙන්නා සුරංගිට ඇන්නේ පිහි දෙකකින් සර්...“ සුරංගි ඝාතනය සැලැසුම් කළ සූරියා කීවේ තමන් සිදුකළ ඝාතනය පිළිබඳ පසුතැවිලි වෙමිනි.

අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා පසුගිය 10 වැනිදා අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් පසුගිය 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජීවිතය පිළිබඳ හයක් හතරක් නොතේරෙන ආකාරයෙන් කටයුතු කිරීම නිසා අනියම් පෙමක පැටලෙමින් කුරුලු කැදැල්ලක්ද කඩා බිඳ දැමීමට තරම් පාප කර්මයක් කරගත් සුරංගිට මෙලොව හැර යන්නට වූයේද අවාසනාවක මහිමය කියාපාමිනි.

කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්. අඹේපිටියගේ උපදෙස් මත කොළඹ උතුර 2 සහකාර පොලිස් අධිකාරි ටී.ඒ.ඩී.ටී. සේනානායකගේ අධීක්ෂණයෙන් මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහීක ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එච්. වි. ගයාන් නිරෝෂන් සහ සැරයන්වරුන් වන 45782 හේවාවිතාරණ, 39045 හේරත්, කොස්තාපල්වරුන් වන 102050 ශෂික සහ කාන්තා කොස්තාපල් 10642 සඳමාලි යන නිලධාරිහු විමර්ශන සඳහා එක් වූහ.

 

Comments