කෝටි ගණන් වංචා කළ කහතුඩුවේ ‘සක්විති’ | සිළුමිණ

කෝටි ගණන් වංචා කළ කහතුඩුවේ ‘සක්විති’

 

ඉකුත් 14 වැනිදා සුපුරුදු පරිදි කහතඩුව පොලිස් ස්ථානයද රාජකාරිවලින් බහුලව තිබුණේය. එදින සවස දෙකට පමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයෙකු ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට පැමිණියේය.

“සර්... පාලගම පැත්තේ ගෙදරක් වට කරලලු... පනහකට වැඩි පිරිසක් ඉන්නවලු...“ කොස්තාපල්වරයා එලෙස පවසා සිටියේ පාලගම ඇටගහවත්ත ප්‍රදේශයේ නිවෙසක් කිසියම් පිරිසක් විසින් වට කරගෙන නිවෙසේ අයිතිකරුට තර්ජනය කරන බවට හදිසි ඇමැතුම් අංශයෙන් දැනුම් දුන් බවයි.

ඒ අනුව ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පැමිණිල්ල විභාග කිරීම වෙනත් නිලධාරියකුට පවරා නිලධාරී කණ්ඩායමක් සමඟ අදාළ ස්ථානයට ගියේය. ඒ වන විටත් හතළිහක පනහක පමණ පිරිසක් ඉදිකරමින් පවතින දෙමහල් නිවසකට ඇතුළු වී එහි හිමිකරුට තර්ජනය කරමින් මුදල් ගනුදෙනුවක් විසඳා ගැනීමේ උත්සහයක නිරත වන බවට පොලිස් ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය විය.

“මොකද... මොකද මේ කලබලේ..“ සැණින් නිවසට ඇතුළු වූ ස්ථානාධිපතිවරයා විමසීය. අනතුරුව එම ස්ථානයේ සිටි සියලු දෙනා තම තමන් මුහුණපා සිටින ගැටලු පැවැසූහ.

“හැමෝම නිශ්ශබ්ද වෙන්න... මොකක්ද මෙතන වෙලා තියෙන්නේ...? ස්ථානාධිපතිවරයා පැමිණ සිටි අයගෙන් යළි විමසුවේ එලෙසය.

“සර්.. මගේ ලක්ෂ 50 ක් මෙයාට දුන්නා දැන් සල්ලිත් නෑ... පොලියත් නෑ... සර් මගේ කෝටියක්... පොලිත් නෑ සල්ලිත් නෑ... මගේ ගෙදර ඔප්පුව තියලා සල්ලි ගත්තෙ සර්... මම යාළුවෝ හතර පස් දෙනෙකුගෙන් එකතු කරලා ඒ අයට මං ඇප වෙලා ලක්ෂ විස්සක් හදලා මේ මිනිහට දුන්න... මගේ රත්තරන් බඩු ටික උකස් තියලා සල්ලි අරන් දුන්නෙ සර්...“ එහි සිටි පනහකට අධික පිරිසකගේ තම දුක් අඳෝනා එකපෙළට ස්ථානාධිපතිවරයාට පැවැසුවේ නිවෙස් හිමියා නිරුත්තරව සිටියදීය.

“සර් මෙයාගේ බිස්නස් එකකට අපි සල්ලි ආයෝජනය කළා... ඒකට අපිට පොලියක් දෙනව කිව්වා... දැන් මාස තුනක් වෙනවා මුකුත්ම නෑ. මාස තුනකින් පොලිය කාටවත් ගෙවලා නෑ... අපි හැමෝම කෝටි පනහකට වැඩිය මේ මිනිහාට දීලා තියෙනවා... මාස ගාණක් වෙනවා සත පහක් අපට දුන්නෙ නෑ. අහිංසක අපේ සල්ලි අරගෙන කාලා බීලා ගෙවල් හදලා... ජොලි කරලා. සර් කොහොම හරි අපේ සල්ලි ටික අරන් දෙන්න...“

පැමිණ සිටි පිරිස නිවෙස් හිමියාට දෝෂාරෝපණය කරමින් පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේ එවැනි කතාවකි.

මේ පිළිබඳව සාවධානව අසා සිටි ස්ථානාධිපතිවරයා පැවසුවේ, “හැමෝම පොලිසියට ගිහිල්ලා පැමිණිලි දාන්න... අපි බලමු මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.“ යන්නය. ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීමට අනුව එහි සිටි පිරිසක් කහතුඩුව පොලිසියට පැමිණ පැමිණිලි දැමීමට පියවර ගත්හ. එහෙත් එහි සිටි ඇතැමුන් මුදල් ගනුදෙනු කර ඇත්තේ කොට්ටාව, මිරිහාන, පිලියන්දල සහ කැස්බෑව වැනි ප්‍රදේශවලදී නිසා ඔවුන් අදාළ පොලිස් ස්ථානවලට යොමු කෙරිණි.

ඒ අනුව කහතුඩුව පොලිස් වසමේ පදිංචි 8 දෙනකු පමණ එදින පැමිණිලි කෙරිණි. මේ බව සැළවී තවත් ‘ගනුදෙනුකරුවෝ‘ හතර දෙනෙක් පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ වන විට රුපියල් දෙකෝටි දාහතර ලක්ෂ පනස් දහසක ගනුදෙනු සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

මේ ගනුදෙනුකරුවෝ හැම දෙනාම මුදල් ලබාගත් තැනැත්තා හඳුනාගෙන ඇත්තේ මිතුරන් මාර්ගයෙනි. සැවොම ඉතාම ඉහළින් එම පුද්ගලයා විශ්වාස කර තිබිණි. ඊට හේතු වී ඇත්තේ පෙරදී මුදල් ආයෝජනය කළ අය සමඟ ඔහු විශ්වාසව ගනුදෙනු කළ හෙයිනි.

එම තැනැත්තා ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලබා ගන්නට පෙර ගනුදෙනුකරු සමඟ ගිවිසුමකට අත්සන් කරන අතර එහි සඳහන් වන්නේ මෙරට සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සැල් ජාලයකට අතරමැදියකු ලෙස තමා භාණ්ඩ සපයන බවයි. ඒ සඳහා කෝටි ගණනින් මුදල් අවශ්‍ය නිසා තමාගේ ව්‍යාපාරයට හවුල් වී මුදල් ආයෝජනය කරන ලෙසයි. ඒ සඳහා සියයට තිහක පොලියක් ගෙවන බවත් එම පොලී මුදල ආයෝජනය කළ දින සිට දින අනූවක් කල් පිරුණු දිනයේදී ගෙවන බවත් එම ගිවිසුමේ සඳහන්ය.

සාමාන්‍යයෙන් ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේදී චෙක් පතක් ලැබෙන්නේ දින අනූවකදී මුදල් ලබා ගැනීමට හැකි වන පරිද්දෙනි. එම නිසා දින 90කින් පොලිය ගෙවන බවට ගනුදෙනුකරුවන්ට ඔහු පොරොන්දු වී තිබිණි. ඒ අනුව වසර පහක පමණ සිට එම ගනුදෙනු සිදු කළ ඔහු ගනුදෙනුකරුවන්ට නිසි ලෙස පොලියත් මුදලත් ගෙවා තිබිණි.

ඇතැමුන් රුපියල් ලක්ෂ දහයක් ලබා දුන් විට මාස තුනෙන් රුපියල් ලක්ෂ 13ක් ලැබිණි. යම් ගනුදෙනුකරුවෙක්ගේ කැමැත්ත අනුව මාස තුන කල් පිරුණු විට එම මුදල නැවත ආයෝජනය කිරීමටත් ගිවිසුමේ අවසර දී තිබිණි. ඒ අනුව ඇතැම් ගනුදෙනුකරුවෝ තම මුදලත් පොලියත් අවස්ථා ගණනාවකදී නැවත නැවත ආයෝජනය කළ බවද පොලිසියට කීවේය. ඒ අනුව ඇතැමුන්ගේ මුදල රුපියල් කෝටි ගණන් දක්වා ඉහළ ගොස් තිබේ.

පැමිණිලිවලට අනුව කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගස්ඕවිට, පාලගම, ඇටගහවත්ත, අංක 107/ බී නිවසේ පදිංචි 27 හැවිරිදි එගොඩ රාජාගේ චාමර මධුශංක නමැති දෙදරු පියකු අත්අඩංගුවට ගැනිණි. මොහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. කහතුඩුව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ චාමර දිවයිනේ ප්‍රසිද්ධ අලෙවි ජාලයක කලක් සේවය කළ පුද්ගලයෙකු බවයි. එම සබඳතාව මත කිසියම් ව්‍යාපාරික කටයුත්තක මොහු නියැළෙන්නෙකු බවයි.

අත්අඩංගුවට පත් සැකකරු දෙමහල් සුඛෝපභෝගී නිවසක් ඉදි කරමින් පවතින අතර එහි වටිනාකම කෝටි තුනකට ආසන්න වන බව ගනුදෙනුකරුවෝ පවසති. එම නිවෙසේ රැඳී සිටිමින් මොහු මෙකී මුදල් වංචාව කරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් චාමර මධුශංක සැකකරු මූල්‍ය වංචාව, විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ ඉකුත් 15 දා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා නියෝග කළේ සැකකරු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එසේම මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පොලිසියට නියෝග කළේ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ජගත් පුෂ්පකුමාරගේ අධීක්ෂණයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රන්දිම, සැරයන් (5205) අසංක, කොස්තාපල් (92440) චාමර ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ සිදු කරති.

Comments