
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳව මෙම දිනවල සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ. ඒ අධ්‍යාපන අංශයෙන් ලබන ජයග්‍රහණ නිසා නොව මාස හයක් වැනි කෙටි කාලයකදී විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු සියදිවි නසා ගැනීමට පෙලඹීම හේතුවෙනි. ඒ අතරින් දෙදෙනකුම ඉන්ජිනේරු පීඨ සිසුන්ය. කලා පීඨයේ සිසුවෙකුද පසුගිය දිනක මහවැලි ගඟට පැන සියදිවි හානිකර ගත් අතර රැල්ලක් මෙන් පැතිරී ගිය සියදිවි නසා ගැනීම් ඉන් හමාර වේයැයි සැවොම සිතූහ. එහෙත් පසුගිය 02 වැනි දින යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිවුවන වසරේ සිසුවෙකු අතුරදන් වීමත් සමඟ තවදුරටත් මෙය සුළුවෙන් තැකිය නොහැකි කාරණයක් බවට පත්ව තිබේ. මෙම වසරේ මාර්තු මස 29 වැනි දින ඉන්ජිනේරු පීඨයේ සිවුවන වසරේ සිසුවකු සේනක බිබිලේ නේවාසිකාගාරය තුළ ගෙල වැලලා ගෙන මියගොස් සිටියේය. ඔහු සිය දිවි හානි කර ගෙන තිබුණේ මරණයට හේතු දක්වමින් ලිපියක්ද ලියා තබමිණි. කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම සිසුවා මට සමා වෙන්න මේ පීඩනය මට දරා ගන්න බැහැ යනුවෙන් ලිපියේ සඳහන් කර තිබිණි.
ඊට මාස පහකට පසු අගෝස්තු මස 27 දින පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පැන ඉන්ජිනේරු පීඨයේ තෙවන වසරේ සිසුවකු සියදිවි හානි කර ගත්තේය. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නැමැති මෙම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙකි. ඔහුගේ මළ සිරුර ගන්නෝරුව වරාතැන්න හක්කිඳ දූපත් ආශ්‍රිතව තිබී සොයා ගනු ලැබුවේ දින හතකරට පමණ පසුය. ඒවන විටත් මළ සිරුර හඳුනා ගැනීමට නොහැකි ලෙස නරක් වී තිබිණි. එම මරණයේ කම්පනය මැකී යන්නටත් මත්තෙන් සැප්තැම්බර් මස 16 වැනි දින ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවකු අතුරුදන්ව ඇති බවට රාවයක් පැතිර ගියේය. පැණිදෙණිය ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන සිටි අංජන කුලතුංග සිසුවා ද ඉන් බැහැර ගොස් තිබුණේ දැඩි පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් සියදිවි හානි කරගන්නා බවට ඉඟියක් දනවන ආකාරයේ ලිපියක් ලියා තබමිනි. යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු ශාස්ත්‍ර පීඨයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ මනෝවේදී විශේෂ උපාධිය හදාරමින් සිටි අයෙකි. කඩවසම් රූපකායක් හිමි ඉගැනීමටද දක්ෂයකු වූ අංජන ගේ සිරුර ද මහවැලිය ජල කඳ දින පහක් තිස්සේ දියයට සඟවා තබාගෙන මුදා හැර තිබුණේ හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙනි. ඒවන විට ඔහුගේ සිරුර හඳුනා ගැනීමට නොහැකි ලෙස නරක් වී තිබිණි. එක දිගට වාර්තා වූ මෙම මරණ වලින් විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්ය මණ්ඩලය පමණක් නොව පොදු සමාජයද සිටියේ විපක්ෂිප්ත භාවයට පත්වය. එය දෙගුණ තෙගුණ කරමින් ඉන්ජිනේරු පීඨයේ තවත් සිසුවකු නේවාසිකාගාරය තුළ ලිපියක් ලියා තබා අතුරුදන් වූයේ පසුගිය 02 වැනිදා ය. ඊට දින 10 කට පමණ පසු 12 දින පස්වරුවේ ඔහු යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසුවේය. ඒවන විටත් සිද්ධියෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය, සිසුවාගේ මවුපියන් සහ හිතමිතුරන් දැඩි කලබලයට පත්ව සිටියහ.
![]() |
වමේ සිට - උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ, මනෝ වෛද්‍ය විෙශ්ෂඥ ඩබ්ලිව්.ඒ.එල් වික්‍රමසිංහ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් සහ පුස්තකාලාධිපති ආචාර්ය ආර්.මහේෂ්වරන් |
මෙම මරණ වාර්තා වීමට පෙර 2017 වසරේ ජූනි 03 වැනි දිනා විද්‍යා පීඨයේ සිසුවියක කළු පාලම මතදී දුම්රියට ගෙලදී ජීවිතයට සමු දුන්නේ උපාධි ප්‍රදානෝත්සවය නිමවී සතියක් ගත්වන්නට මත්තෙනි. ඊට මාස කි හිපයකට පසු තවත් සිසුවකු එම ස්ථානයේදීම මිය ගියේ තම පියා ගේ මරණය ඇසීමෙන් ඇති වූ සිත් තැවුල නිසාය. ඔහු යාපනයෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිටි අයෙකි. එම මරණවලින් පසු මෙම වසර දක්වාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එවැනි ශෝකී පුවත් අසන්නට නොලැබිණි. කොවිඩ් නිසා වසා දමා තිබුණු විශ්වවිද්‍යාලය යළි විවෘත වීමත් සමඟ දිගින් දිගටම වාර්තා වූ මෙම සියදිවි නසා ගැනීම් වලින් ළමුන් මුදා ගැනීම සඳහා උපකුලපති මහචාර්ය එම්. ඩී. ළමාවංශ මනෝ උපදේශන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මඟින් පසුගිය අගෝස්තු මස සිට මෙය ක්‍රියාවට නඟා ඇති අතර අවසන් සති පහක කාලය තුළ සිසු සිසුවියන් 140 දෙනකු එමඟින් සේවා ලබා ගැනීමට පැමිණ තිබේ. මේ අතරින් 10 % ක පමණ පිරිසක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. ඒ අතර සිටි කිහිප දෙනකුම සියදිවි හානි කර ගැනීමට පෙලඹීමේ තත්ත්වයක සිටි බව ප්‍රතිකාර ලබා දීමේදී අනාවරණය වී තිබේ. මේ තුළින් වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පත්ව සිටින තත්ත්වය අවබෝධ කර ගැනීමට පුළුවන.
නව වැඩපිළිවෙළ හා වර්තමාන විශ්වවිද්‍යාල සිසුවා මුහුණ දී සිටින අභියෝග සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් මෙසේ පැවසුවාය.
‘ලංකාවේ සංස්කෘතිය තුළ අපි පුරුදු වෙලා ඉන්නේ දරුවා දැඩි පාලනය යටතේ හදන්නයි. පොඩි කාලේ ඉඳලා මේ වගේ පාලනයක් යටතේ හැදෙන දරුවා මවුපිය ඇසුරෙන් මිදිලා විශ්වවිද්‍යාලයට ආවම අලුත් පිරිසරයට අනුගත වෙන්න ඒ දරුවට කාලයක් ගත වෙනවා. මානසික සෞඛ්‍ය පැත්තෙන් බැලුවම අවුරුදු 18-25 කියන්නේ පුද්ගලයකුගේ බොහොම අවදානම් කාලයක්. මේ කාලයේදී දරුවෝ ගොඩක් ආතති තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. අවුරුදු 18-25 අතර දරුවන් අතරින් සමාජයේ ඉන්න අයට වඩා විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන වල ඉන්න දරුවන්ගේ ආතති මට්ටම වැඩියි කියලා පර්යේෂණ මඟින් සොයා ගෙන තිබෙනවා. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව දියුණු රටවල් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ මෑතක මාව හමුවන්න දරුවෙක් ආවා. එයා හරියට පසු තැවෙනවා ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ආපු එක ගැන. මේ දියණිය විශ්වවිද්‍යාලයට තේරෙන්න කලින් ගමේ පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වලා තියෙනවා. එයා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මවුපියෝ දැන් අර පිරිමි ළමයා එයාට ගැළපෙන්නේ නැහැ කියනවලු. මේ පීඩනය තුළ දරුවා ආතති තත්ත්වයට පත්වෙලා හිටියේ. කැම්පස් එකට එවන්න මවුපියෝ කරපු කැපවීම එයා දන්නවා. අනිත් පැත්තෙන් එයාගේ හිත ඉල්ලන තරුණයව අමතක කරන්න බැහැ. මේ ප්‍රශ්නය නිසාම ඒ දරුවා දැඩි පීඩනයකට ලක්වෙලා. හොඳට ඉගෙන ගෙන කැම්පස් ආව ළමයා අන්තිමට මනසින් රෝගී වෙලා ප්‍රතිකාර ගන්න තත්ත්වයකට පත්වෙලා. නවක වදය සමයේත් ළමයින්ගේ ඔළුවට ලොකු පීඩනයක් දෙනවා‘
මේ ආකාරයෙන් සිසුවකුගේ මනස රෝගී වී ඇත්නම් එය කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. එවැනි අය හඳුනාගන්නා ආකාරය පිළිබඳව මනෝ වෛද්‍ය විශේෂඥ සයුරි පෙරේරා දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් මේවන විට විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරමින් සිටින්නීය. මනෝ උපදේශන සේවාවේ පිහිට සොයන සිසුන්ගේ ගණන ඉහළ යෑමට මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් වලින් ලැබී තිබෙන දායකත්වය අති මහත්ය.
කලකට පසු මාර්ගගත ක්‍රමයෙන් මිදී අධ්‍යාපනය ලැබීමේ වරම විශ්වවිද්‍යාල සිසුන්ට දැන් හිමිව තිබේ. වෙනදා සිසුන් නොමැතිව පාළුවට ගොස් තිබුණු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය දැන් සිසුන් ගෙන් පිරී ඉතිරී ගොසිනි. මේ සම්බන්ධව අදහස් දැක්වූ පුස්තකාලාධිපති ආචාර්ය ආර්.මහේෂ්වරන් මෙසේ කීවේය.
‘ ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කළාට ළමයින්ට පුස්තකාලය පරිහරණය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පැවරුම් ආදිය කරන්න අවශ්‍ය පොත් සොයා ගන්න ක්‍රමයක් නැතුව ළමයි අසරණ වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ මාර්ගය පෙන්නලා දුන්නම තමන් දැනුම හොයාගෙන යන්න ඕන එකක්. ඒකට පොත්පත් නැතුව බැහැ. මේකත් සිසුන්ට තිබුණු ලොකු ප්‍රශ්නයක්. මේ නිසාත් සිසුන් තුළ ආතතියක් නිර්මාණය වෙන්න ඇති කියලා මම හිතනවා‘
මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඒ.එල් වික්‍රමසිංහ මෙසේ පවසයි.
‘විශාදය හා ආතිතය කියන්නේ දෙයක්. ආතතිය නිසා හට ගන්නා සංකූලතා වලින් එකක් තමයි විශාදය. ආතතියට ප්‍රතිකාර නොකළහොත් යම් ආකාරයකින් විශාද තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ආතතිය රෝගයක් ලෙස සලකන්න බැහැ. ඒත් විශාදය මානසික රෝගයක්. උග්‍ර ආතති අවස්ථාවක ඖෂධ පාවිච්චි කරන්න වෙන අවස්ථාත් තිබෙනවා. දරා ගැනීමේ මට්ටම තීරණය කිරීමට මවුපියකරණයත් බලපානවා. දරුවන් එක් කෙනක් දෙන්නෙක් ඉන්න පවුල් තමයි අද අපිට හැමතැනම දකින්න ලැබෙන්නේ. දරුවන් අඩු නිසා මවුපියන් ඉන්නා දරුවා හෝ දෙන්නා ගැන දැඩි අවධානයක් යොමු කරනවා. පොඩි සිත්තැවුලක් වත් නොදැනෙන ලෙස තමයි මේ අය දරුවෝ හදන්නේ. මේවා තුළින් සිදුවන්නේ ළමයාගේ පෞරුෂය බිඳ කඩා වැටීමයි.
සියදිවි නසා ගැනීම් අතින් ශ්‍රී ලංකාව 1996 දී ලොව ප්‍රථම ස්ථානයට පැමිණියේය. ලක්ෂයක ජනගහනයක් සැලකූ විට සියදිවි නසා ගැනීමේ 45 ක් එම වසරේදී වාර්තා වී තිබිණි. ලෝක දර්ශක අනුව එය ඉහළම අගයකි. මේ වන විට එය 14.5 ක් දක්වා අඩු කර ගැනීමට හැකිව ඇති නමුත් ජත්‍යන්තරව පිළිගැනෙන සාමාන්‍ය මට්ටම වන 11.5 හා සැසඳීමේදී එය තරමක් වැඩිය. මේ ආකාරයෙන් ඉතා ඉහළ අගයක් දක්වා මෙරට සියදිවි නසා ගැනීම් ඉහළ යාමටත් පසුව සැලකිය යුතු ලෙස එම අගය පහළට ගෙන ඒමටත් මාධ්‍ය මගින් එල්ල කළ බලපෑම සුළුපටු නොවන්නේය.
ඒ සම්බන්ධව මනෝ වෛද්‍ය විශේෂඥ වික්‍රමසිංහ මෙසේ කීවේය.
‘සිය දිවි නසා ගැනීම් මාධ්‍ය මගින් පුන පුනා වාර්තා කිරීම එතරම් හොඳ දෙයක් නොවෙයි. මේවා දකින අය තුළ සිය දිවි නසා ගැනීම සඳහා යම් උත්තේජනයක් ඇති වෙන්න පුළුවන්. කාලයක් අපේ රටේ මිනිස්සු සිය දිවි හානි කරගන්න කණේරු කෑවා. මාධ්‍ය මඟින් කණේරු කාලා ඉක්මනට මැරෙන්න නම් කරන්න ඕන දේවල් පවා වාර්තා කළා. අන්තිමට රැල්ලක් වගේ කණේරු කාලා මැරෙන්න ගත්තා. මාධ්‍යවේදීන්ටත් ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක්ම සිය දිවි හානි කරගන්න කලින් ලිපි ලියලා තිබුණා. ඒ අය මියගිය බව තහවුරු කර ගන්නත් කලින් මේ ලිපිවල තිබූ අතිශයින් පෞද්ගලික තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය කළා. මේක කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි‘
ලොව විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ අතිශයින් සුන්දර පරිසරයකය. එක් අන්තයකින් හරිත පැහැයෙන් හැඩවූ හාන්තාන ය. අනෙක් පසින් මහවැලි ගඟය. උසස් පෙළ නිම කර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට පේරාදෙණියට එන්නට හීන දකින්නෝ බොහෝ සිටිති. ඒ අය අතරින් එම වරම හිමි වන්නේ ඉතා සුළු පිරිසකටය. තමන් අසීරුවෙන් දිනාගත් එම වරමට තවත් අභිමානයක් එක්කර කළු ලෝගුවකින් සැරසී මවුපියන්ගේ නෙත් සතුටු කඳුළෙන් පුරවනු වෙනුවට මාපියන්ගේ දෙනෙත් කඳුළින් පුරවා හිත මිතුරන්ගේ කර මතින් මෙළොව හැරයෑම පරාජිතයකුගේ ලක්ෂණයකි. දුක, වේදනාව මහවැලිය හා මුසුකර අභියෝග ජයගෙන රටට වැඩදායි පුරවැසියකු ලෙස සමාජගත වන ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට බලකර කියන්නට මෙරට ජනතාවට අයිතියක් ඇත. ඒ ඔවුන් අධ්‍යාපනය ලබන්නේ මහජන මුදලින් නිසාය.
ඡායාරූප- රුවන් මීගම්මන