කෘතිය - යක්ඛරාජ
කර්තෘ - චන්දික අබේවික්‍රම
Grantha.lk ප්‍රකාශනයකි
මිල - රු. 1,300/=
පිටු ගණන - 248
විමසීම් - 071 385 0272
“ලංකාවේ විශ්වාස සහ ඇදහිලි අනුව භයානක සහ ප්‍රචණ්ඩ යක්ෂයකුගේ ස්වරූපය හා ස්වභාවය වෙනස් නොකර ප්‍රකෘති ස්වභාවයෙන් අදහනු ලබන්නේ නම් ඒ එකම එක චරිතයක් පමණි. ඒ රිටිගල ජයසේන හෙවත් මහසෝනා ය.”
යක්ඛරාජ නමින් සිංහල සාහිත්‍යයට නව හැදෑරීමක් සහිත නිර්මාණාත්මක ආඛ්‍යානයක් එකතු කරන චන්දික අබේවික්‍රම ඊට නිමිති වූ චරිතය හා පුරාවෘත්තය ගැන පවසන්නේ එසේය. ලංකාවේ යක්ඛ පුරාවෘත්ත සහ තොරතුරු ඇදහීම් සහ විස්තර කොතෙකුත් පැවතුණද ඒ හඳුනා ගැනීම් නිතරම අපට හමු වන්නේ යක්ෂයා යන ප්‍රාථමික නිර්වචනය තුළිනි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය ලංකාවට වැඩම වූ පසුබිමේ ප්‍රවාදගත ප්‍රබන්ධයක් වන බුදුන්වහන්සේගේ ලංකාගමනය හා බැඳුණු යකුන් මහියංගනයට පලවා හැරීම යන්න යක්ඛ යන නාමය ප්‍රාථමික තත්ත්වයට ඇද දැමීමට හේතු වී තිබේ. කෙසේ හෝ වේවා මෙම කෘතියේ කතුවරයා රිටිගල ජයසේන හෙවත් මහසෝනා පුරාවෘත්තය සමඟ සමීපව සම්බන්ධ වෙමින් ලියා ඇති මේ ආඛ්‍යානය ඉහත කරුණට අදාළව යම් හැදෑරීමක් මෙන්ම විමසීමක් ලෙසින් ද සැලකිය හැකිය. විශේෂයෙන්ම මහසෝනා සමඟ ලේඛකයා දක්වන සමීප සංවේදිතාව මෙම කෘතියට උත්තේජනයක් ඇති බවක් පෙනී යතත් ඒ නිසාම “යක්ඛරාජ” ඊට අදාළව හුදු රොමාන්තික ලිවීමක් යැයි සිතන්නට කතුවරයාගෙන් අපට අවසරයක් නොලැබේ. වැදගත් කරුණ වන්නේ ඔහු ඒ වෙනුවෙන් දක්වා ඇති අධ්‍යයනය මුල් කොට ගත් ප්‍රවේශයයි. නිදසුනක් ලෙස යක්ඛරාජ හා යක්ඛදේව සංකල්පය පිළිබඳ ඔහුගේ වීමංසනය දැක්විය හැකිය.
“සූනියම් දෙවියන් හෙවත් කබලෑ දෙවියන් මංගල දෙවියන් මෙන්ම විභීෂණ දෙවියනුත් අර්ධ යක්ෂ හා අර්ධ දේව වශයෙන් සැලකුණත් ඔවුන්ගේ වැඩිමනක් යෙදීම හා ඇදහීම සිදුවන්නේ දේවත්වය සමඟ ය. එමෙන්ම ඔවුන්ගේ යක්ෂ ස්වරූපය හා දේව ස්වරූපය ද එකිනෙකට යම් තරමකින් හෝ වෙනස් ය. මහසෝනා සම්බන්ධයෙන් එසේ නොවේ. ඔහු කොතැනත් ඉන්නේ යක්ෂ ස්වරූපයෙන්ම පමණි. ඔහුට දේවතාවා නමින් ආමන්ත්‍රණය කිරීම ම විශේෂත්වයකි.”
මෙම කෘතිය ලිවීමේදී කතුවරයා ගෙන ඇති අවංක වෙහෙස ඇඟයීමකට ලක් විය යුතු යැයි සිතමි. වෙසෙසින්ම ප්‍රාදේශීය ව්‍යවහාරගත භාෂා භාවිතය ගැන වසර කිහිපයක සිටම තමන් විසින් අධ්‍යයනයට ලක් කළේ යැයි ඔහු පවසයි. ඒවායේ ආවේණික අනන්‍ය ලක්ෂණ හඳුනාගැනීම සහ අවබෝධ කරගැනීම හැදෑරීම් තුළින්ම සිදු කළ යුත්තක් වේ. කතුවරයා මෙහිදී ඒවායේ උපරිම නිරවද්‍යතාව ගැන වෙහෙස වෙමින් ඇතැම් දුරවබෝධ මෙන්ම භාවිතයේ නැති ගැමි වදන් සඳහා ගැට පද විවරණයක් සපයා තිබීම ද සැලකිය යුතු තත්ත්වයක් වේ.
“සෑම පරිච්ඡේදයක්ම ලංකාවේ කුමන හෝ ප්‍රදේශයක සිදු වූ හෝ පවතින හෝ ජනප්‍රවාදයක් හෝ ජනශ්‍රැතියක් හෝ ඓතිහාසික ස්ථානයක් හෝ ඓතිහාසික චරිතයක් මත පදනම් වී නිර්මාණය වීම” යන්න කතුවරයාගේ වෙසෙස් අවධානයට ලක්වීම සැලකිය යුතු තත්ත්වයකි.
“සැබෑවටම ධම්මචාරීහි ප්‍රධාන චරිතය බැලූ බැල්මට ජයසේන හෙවත් මහසෝනා නොවේ. වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රදේශයේ, දේවගිරිපුර නම් ගමේ වෙසෙන - සසිරා - නම් පුද්ගලයකු මේ කතාවේ ප්‍රධාන චරිතය වේ. නමුත් ඔබ සියුම්ව කියවා බලන්නේ නම්, සියුම්ව අධ්‍යයනය කරන්නේ නම් සසිරාගෙන් ඉස්මතු වී පෙනෙන්නේ මහසෝනා යන චරිතයම බව ඔබට පෙනෙනු ඇත. මෙහි සැඟවුණු ප්‍රධාන චරිතය මහසෝනා හෙවත් යක්ෂරාජයාම බව ඔබට දකිනු හැකිය. පොතේ නම ‘යක්ඛරාජ’ වන්නේ එහෙයිනි.”