දීග 7යි-දරුවෝ 8යි හොර දොස්තර නෝනා නිසා කොන්දොස්තර පරලොවට | සිළුමිණ

දීග 7යි-දරුවෝ 8යි හොර දොස්තර නෝනා නිසා කොන්දොස්තර පරලොවට

දරය හැම හිතකටම සුවදායී වන්නේ නැත. ආදරයට මුවාවී පැමිණෙන ඇතැම් අය ජීවිතය සුසානය කරා ගෙන යන්නෝ වෙති. බදුල්ල කුට්ටියගොල්ල ප්‍රදේශයේ සුසන්ත ප්‍රනාන්දු නම් තරුණයාට අත් වූයේ ද එවැනි අවාසනාවන්ත ඉරණමකි.

ඒ දිමුතු සෙව්වන්දි නැමැති වංචනික කාන්තාවක නිසාය. ඇය වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් තරුණයන් රවටා මේ වන විට හොර විවාහ හතක් පමණ කරගෙන ඇති බවත් ඇයට දරුවන් අට දෙනකු සිටින බවටත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඇය සොරකමටත් වංචාවටත් පුරුදුව ඇත්තේ කුඩා අවධියේදී එනම්, වයස අවුරුදු 15දී පමණ පොල්ගස්ඕවිට සිය පුංචි අම්මාගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සොරා ගෙන පලා යෑමෙන් බව ද හෙළි වී ඇත. මේ වන විටත් ඇය ගැබිනියක වී සිටින බවට ද තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

දිමුතු සෙව්වන්දි නිසා අකාලයේ දිවි අහිමි වූ සුසන්ත ප්‍රනාන්දු, ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කුට්ටියගොල්ල නමැති දුෂ්කර ගම්මානයේ පදිංචිව සිටි ගමේ කා අතරත් හොඳ හිත දිනාගත් 26 හැවිරිදි අහිංසක තරුණයෙකි. ඔහුගේ මවුපියන් ගොවිතැන් බතින් ජීවිකාව සරි කරගත් ගැමියන්ය. කුඩා කල සිටම අගහිඟකමින් මිරිකුණු දුෂ්කර දිවියක් ගත කළද මවුපියන් තම දරුවා පිළිබඳ දහසක් බලාපොරොත්තු තබාගෙන කුඩා සුසන්ත හුඹහමඩ විදුහලට ඇතුළත් කළේ අකුරු කරන්නටය. එහෙත් ආර්ථික අපහසුතා නිසා ඔහුට 6 ශ්‍රේණියේදී පාසල් අධ්‍යාපනයට සමු දෙන්නට සිදු විය. ඉන් පසු සුසන්තගේ මවුපියෝ ඔහු සසුනට පූජා කළහ. මාස තුනක පමණ කාලයක් පැවිදි දිවියේ ගත කළ සුසන්ත සිවුර හැර දමා යළි ගිහි ජීවිතයට ඇතුළත් විය.

දරිද්‍රතාව දිනෙන් දින ඉහළ යද්දී සුසන්ත රැකියාවක් සොයා කොළොම්පුරයට යෑමට තීරණය කළේය. ලැජ්ජා බයට හැදුණ වැඩුණු ගැමි තරුණයකු වූ සුසන්තට කොළොම්පුරය අමුතු ලෝකයක් විය. කොළඹට පැමිණි සුසන්තට කැලණිමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තර රැකියාවක් ලැබිණි. එම රැකියාවේ නිරත වෙන අතරේ ඔහු රියදුරු බලපත්‍රය ද ලබා ගත් අතර, පසුව ඔහුට කොළඹ ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයකට අයත් ලොරියක රියැදුරු රැකියාවක් ලැබිණ. එහෙත් රැකියාව අතරතුරදී සිදුවූ අනතුරකින් ඔහුට එම රැකියාව අහිමි විය. රැකියාව අහිමි වූ සුසන්තගේ ඉරණම් ගමන තීන්දු වන්නේ ඔහු රත්නපුරයට පැමිණ එහි තේ කොළ ගබඩාවක සේවයට බැඳීමත් සමඟය.

මුල් කාලයේ පොල්ගස්ඕවිට, සියඹලාගොඩ වාසය කළ 31 හැවිරිදි දිමුතු සෙව්වන්දි රූමත් කතකි. ඇය ද සුසන්ත සේවය කළ තේ කොළ ගබඩාවේ සුළු රැකියාවක නිරතව සිටියාය. සෙව්වන්දිගේ ඇලුම් බැලුම් සුසන්ත වසඟයට ගත්තේ දින කිහිපයක් ගත­‍ෙවද්දී පෙම් සබඳතාවකට ද මුල පුරමිනි. සෙව්වන්දිට වඩා සුසන්ත වසර පහකින් බාල වුවද දෙදෙනාගේ ආදරයට එය බලපෑමක් නොවිණි.

“මම කලින් වෛද්‍යවරියක්. මට රැකියාව අහිමි වුණා.” සෙව්වන්දි එලෙස සිය ජීවන කථාව සුසන්ත හමුවේ දිග හරින්නට වූවාය. සියල්ලටම සාවධානව ඇහුම්කන් දුන් සුසන්ත අවසානයේ සෙව්වන්දි විවාහ කරගැනීමට තරම් ඇය කෙරෙහි පෙමින් බැඳී සිටියේය. සුසන්තගේ යෝජනාව සෙව්වන්දිට ගෙන දුන්නේ ‘ඉහෙ මලක් පිපුණාක්’ බඳු සතුටකි. සුසන්ත සෙව්වන්දි සමඟ බදුල්ලට පැමිණ සුසන්තගේ මාපියන්ගේ ආශිර්වාදය මැද පසුගිය ඔක්තෝම්බර් මස 18 වැනිදා බදුල්ල රිදීපාන විවාහ ලේකම් කාර්යාලේදී විවාහ ගිවිස ගත්හ. සිය පුතා වෛද්‍යවරියක විවාහ කර ගැනීම ගැන සුසන්තගේ මවුපියන් ද පසු වූයේ නිම්හිම් නැති සතුටකිනි. බදුල්ලේ නිවෙසට ආ ගිය සෙව්වන්දි සුසන්තලාගේ ගමේ විහාරයට ධාතු පරිත්‍යාගයක් ද සිදු කරන බව පවසා තිබුණි.

යළි රත්නපුර තේ ගබඩාවේ රැකියාවට නොගිය සුසන්ත නව යුවළ සුසන්තගේ නිවසේ කල් ගෙව්වේ සතුටිනි. ඒ අතරේ සුසන්ත බදුල්ලේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස බදුල්ල ප්‍රදේශයේ යළි රැකියාවක් කරන්නට විය. එහෙත් සෙව්වන්දිගේ හැසිරීම් රටාව සුසන්තගේ පියා, අනුර ලාල් සිල්වාට නොරිස්සීම හේතුවෙන් මාමණ්ඩිය සහ ලේළිය අතර අඬදබර ඇති වන්නට විය.

ඒ නිසාම සුසන්ත සිය බිරිය සමඟ යළි කොළඹ පැමිණියේ සිය පවුල් දිවියේ අනාගතය ගැන සිතමිනි. ඒ අතරේ සුසන්ත පියාට දුරකථන ඇමතුමක් දී යළි රත්නපුරේ පෞද්ගලික රෝහලක බිරියට වෛද්‍ය රැකියාව ලැබුණු බව ද කීවේය. එසේම තමාට ද හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක රියැදුරු රැකියාව ලැබුණු නිසා දෙදෙනාම පුවක්පිටිය ප්‍රදේශයේ කුලී නිවෙසක නතර වී සිටින බවත් සුසන්ත සිය මවුපියන්ට දැන්වීය.

කලක් ගත විණි. සුසන්ත සෙව්වන්දි සමඟ බදුල්ල කුට්ටියගොල්ල සුසන්තගේ නිවෙසට පැමිණියේය. සුසන්තගේ මවුපියෝ දෙදෙනාට ආදරයෙන් සැලකූහ. ඒ අතරේ සෙව්වන්දිගේ සහෝදරයකු යැයි කියූ අයෙක් ද එම නිවෙසට පැමිණි අතර, දින කිහිපයක් සුසන්තගේ නිවසේ ගත කළ තිදෙනා යළි කොළඹ බලා යන බව පවසා නිවෙසින් පිටව ගියහ.

සුසන්ත දිනක් හදිසියේම සිය මාපියන්ට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ, “අනේ අම්මේ... සෙව්වන්දි අර ගෙදර ආපු කොල්ලා එක්ක පැනලා ගිහින්...ඒකි අපි දෙන්නගේ විවාහය මෙතැනින් ඉවරයි, වැඩිය දැඟලුවොත් මරනවා කියලා මට තර්ජනෙත් කළානේ...” කියාය.

සුසන්ත සැණින් බදුල්ලේ නිවෙසට පැමිණියේය. සෙව්වන්දි කළ තර්ජනය ගැන ඔහු කහටරුප්ප පොලිසියට ද පැමිණිලි කළේය. ඒ වන විට සුසන්තගේ බිරිය, සහෝදරයා යැයි පවසා නිවෙසට කැන්දාගෙන ආ තරුණයා සමඟ තවත් විවාහයකට සූදානම්ව සිටියාය. එම පුද්ගලයා ඇඹිලිපිටියේ අයෙකි.

මේ සිදුවීම නිසා මහත් සිත් තැවුලට පත්ව සිට යළි කොළඹ ආ සුසන්ත, හෝමාගම ප්‍රදේශයේ අධිවේගී මාර්ගය ආසන්නයේ ආයතනයක රියැදුරු රැකියාවේ නිරතව සිටියේය. ඔහු සේවයට පැමිණ මාස තුනක පමණ කාලයක් ගත විය. ආයතනයේ දෙවැනි මහලේ නතරව සිටි සුසන්ත ඉකුත් 28 වැනිදා ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන තිබිණ.

සුසන්තගේ සහ සෙව්වන්දිගේ විවාහ සහතිකය

හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහගේ මෙහෙය වීමෙන් විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් 77813 තලවත්ත විසින් සුසන්තගේ මරණය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරිණ. පොලිස් කොස්තාපල්වරයා විසින් සුසන්තගේ මරණය පිළිබඳ ඔහුගේ මවුපියන්ට දැනුම් දුන්නද ඔහුගේ මළ සිරුර මවුපියන්ට භාර දීමේදී පොලිසිය ගැටලුවකට මුහුණ දුන්නේ සුසන්ත විවාහකයකු වූ නිසාය. හෝමාගම පොලිසිය මාපියන් දැනුවත් කර තිබුණේ සුසන්තගේ නීත්‍යනුකූල බිරිය කැඳවාගෙන එන ලෙසිනි. එහෙත් ඒ වන විට සුසන්තගේ විවාහක බිරිය සෙව්වන්දි ආගිය ඈතක් නැතිව සිටියාය.

සෙව්වන්දි සොයා ගැනීමට පොලිසිය මහත් වෙහෙසක් දැරුවේය. සුසන්ත ළඟ තිබූ සෙව්වන්දිගේ හැඳුනුම්ප‍ෙත් ඡායා පිටපතක තිබූ පොල්ගස්ඕවිට ලිපිනය සොයා සුසන්තගේ මවුපියන් සමඟ එම නිවෙසට ගියේය. එහි විසූවේ ඇගේ පුංචි අම්මා කෙනෙකි. ඇය පොලිසියට කීවේ සෙව්වන්දි කලකට පෙරදී එම නිවෙසින් පිටව ගිය බවත් එදින සිට නොදුටු බවයි. ඇගෙන් හෙළි වූයේ ඇය පුංචි අම්මාගේ මාතර නිවෙසකදී ලක්ෂ තුනක රත්රන් තොගයක් ද සොරාගෙන ගොස් ඇති බවයි. එහිදී සෙව්වන්දි පිළිබඳව පුංචි අම්මාගෙන් හෙළිදරව් වී තිබුණේ මෙවැනි කතාවකි.

සෙව්වන්දිගේ පියා පිළිබඳ සඳහනක් නැත. කුඩා වියේ සිටම පුංචි අම්මාගේ නිවෙසේ මව සමඟ හැදී වැඩුණු ඇය පාසල් වියේ සිටම ප්‍රේම සබඳතා කීපයක්ම පවත්වා තිබූ තැනැත්තියකි. කල්ක්‍රියාව හොඳ නැති වූ හෙයින් සෙව්වන්දිට වයස අවුරුදු 16ක් පමණ වෙද්දී මව සහ සෙව්වන්දි පුංචි අම්මා විසින් නිවෙසින් එළවා දමා ඇත. සෙව්වන්දි පළමු වරට විවාහ වී ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ අයකු සමඟ වන අතර එම විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකි. පසුව ඇය විද්‍යුත් මාධ්‍යයක සේවය කළ තැනැත්තකු හා නැවත විවාහ වී ඇත. මෙසේ ඇය කීප වතාවකදී ව්‍යාජ ලෙස හත් දෙනකු සමඟ පමණ විවාහ වී ඇති බව හෙළි වී තිබේ.

සෙව්වන්දිගේ මව ඔත්පළව ගල්කිස්ස ප්‍රදේශයේ හව්හරණක් නොමැතිව සිටියදී පුංචි අම්මා විසින් රැගෙනවිත් ඇති අතර, මීට වසර තුනකට පෙරදී ඇය මිය ගොස් ඇත. සෙව්වන්දි සිය මව ජීවත්ව සිටියදීම ඇය මියගිය බවට දානමාන දීමට තරම් නරුම දියණියක් වූ බවද පුංචි අම්මා විසින් පොලිසියට හෙළිකර තිබුණි. මේ වන විටත් සෙව්වන්දි ගැන නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකිය. එහෙත් ඇය පිළිබඳ අරලගංවිල පොලිසියේ ද පැමිණිල්ලක් ඇති බවට වාර්තා වේ.

කපටි කෛරාටි ගැහැනියක නිසා අකාලයේ විනාශ වූ සුසන්තගේ නිසල දේහය කොළඹ සිට බදුල්ල කුට්ටියගොල්ල ගම්මානයට රැගෙන ආ අතර, හිත මිතුරන්ගේ සෝ සුසුම් මැද ගමේ පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය. ඔහුගේ ජීවිතය මරණය වෙත කැඳවාගෙන ගිය සෙව්වන්දි ඉකුත් දිනවලදී ගලේවෙල ප්‍රදේශයේ සැරිසැරූ බවට ද වාර්තා වී ඇත. මෙකී කාන්තාවගේ බොරු බේගල්වලට රැවටී සිය ජීවිත අකාලයේ විනාශ කර ගැනීමෙන් පරෙස්සම් වන ලෙස තරුණයන්ට අවධාරණය කළ යුතුව තිබේ.

ඡායාරූප සහ පසුබිම් තොරතුරු  සී. ගමගේ - සොරණාතොට සමූහ

 

Comments