දෙමටගොඩදී ඇල්ලූ ලෝක හොරා | සිළුමිණ

දෙමටගොඩදී ඇල්ලූ ලෝක හොරා

යම් පුද්ගලයකුගේ ජීවන ගමනේ දිශානතිය වෙනස් කිරීමට ඔහු/ඇය ආශ්‍රය කරනු ලබන මිතුරු මිතුරියන්ට ඇත්තේ පුදුමාකාර බලයකි. වැදූ මවටත්, හැදූ පියාටත් වඩා තම යහළු යෙහෙළියන්ගේ කීම විශ්වාස කර ඔවුන් දේවත්වයෙන් අදහන මේ සමාජයේ ඇතැමුන්, සිය ජීවිතයම තමන් වෙනුවෙන් කැපකළ එවන් මාපියන් වෙනුවෙන් කිරීමට මැළි වන කැපකිරීම් සිය අතිජාත මිතුරන් වෙනුවෙන් කිරීමට දෙවරක් සිතා නොබලන අයුරු විටෙක පුදුමසහගතය.

එවන් වූ පුදුම සහගත බලයකින් හෙබි මිතුරු ඇසුරකින් යමකු යහපත් මාර්ගයට මෙන්ම නිරයට ඇද දැමීමටත් හැකි බවට වූ අපූර්ව උදාහරණයක් පසුගියදා අසන්නට ලැබුණේ දෙමටගොඩ පොලිස් වසමෙනි.

තවමත් 31 හැවිරිදි වියේ පසුවන මේ කතාවේ නායකයාගේ පදිංචිය දෙමටගොඩ, ආරාම පෙදෙසයි. විවාහයකට කොටු නොවී තනිකඩ දිවියක් ගෙවන මෙම තරුණයා අධ්‍යාපනය ලබා තිබුණේ ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ විදුහලකිනි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කළ ද එතැනින් පසු ඔහුගේ දිවිය සම්පූර්ණයෙන්ම කණපිට හැර වීමට එවන් වූ මිතුරු සමාජයකට ලැබුණු හැකියාව හේතුවෙන් එදා ඔහුගේ පාසල් ගමනට තිත වැටුණා සේම, අද වන විට සමස්ත ගම් ප්‍රදේශයේම කප් ගැසූ හොර කප්පිත්තෙකුගේ නම්බු නාමයද ඔහුට ලබා ගැනීමට හැකියාව ලැබුණි.

"රත්තරං" යනුවෙන් පැවසූ කල අහල ගම් හතක ඔහු නොදන්නා කෙනෙක් සිටියේ නැත. නි‍ෙවසක සිදු වන සොරකමක්, වෙළඳසැලක වූ කොල්ලයක්, මහමඟ ගමන්ගත් අයෙකුගේ දේපළ පැහැර ගැනීමක් වැනි මෙකී නොකී ඕනෑම වර්ගයක සොරකමක් සඳහා කොහේ හෝ කොනක "රත්තරං"ගේ නම ගෑවී තිබුණි. ෙ

අපරාධ වලටම සුප්‍රසිද්ධ මෙම චරිතයෙහි යටගියාව සොයා බැලීමේදී අනාවරණය වූ කරුණු වලට අනුව හෙළිව තිබුණේ සැකකරුගේ දිවි පෙරළිය පටන්ගෙන තිබුණේ ඔහුගේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පසුව යන්නයි.

සාමාන්‍ය පෙළින් පසු නැවතත් පාසල් යාමක් පිළිබඳ අවශ්‍යතාවක් හෝ ඒ ගැන ආශාවක් ඔහුට නොමැති වූයේ මිතුරු ඇසුරින් ලද 'මහඟු දායාදයක්' වූ මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙනි.

පාසල් කාලයේදී නිවසින් වියදමට ලැබෙන මුදල් ප්‍රමාණය මත්කුඩු සඳහා ප්‍රමාණවත් නොවුණු කල මුදල් සොයා ගැනීමේ විකල්පය වශයෙන් ඔහු යොදාගත්තේ මංකොල්ල කෑමයි.

කුඩා ප්‍රමාණයෙන් අත්පොත් තැබූ සොරකම් ක්‍රමයෙන් මහා පරිමාණ කොල්ල කෑම් දක්වා වර්ධනය වීමට මෙන්ම, තවෙකෙකු සතු යමක් පැහැර ගැනීමට සිතේ චකිතයක් මෙන්ම බියක් නොමැති වීමටත් පාසල් කාලයේ පටන් ලබා තිබූ පන්නතරය ඔහුට මහඟු පිටිවහලක් විය. බොහෝ විට මේ සැකකරුගේ ඉලක්කය වූයේ තනි පුද්ගලයකු හෝ කිසිවෙක් නැති නිවෙස් සහ මහමඟ තනිව ගමන්ගත් පුද්ගලයින්ය. ඔහුට නිශ්චිත ඉලක්කයක් නොවූ අතර අතට හසු වූ ඕනෑම භාණ්ඩයක් සොරා ගැනීමට මේ පුද්ගලයා දෙවරක් සිතුවේ නැත.

ජංගම දුරකතන, ඔරලෝසු, රූපවාහිනී, ලැප්ටොප්, රන් භාණ්ඩ ආදිය මෙන්ම සංගීත උපකරණද සොරාගත් භාණ්ඩ ලැයිස්තු වල ඉහළින්ම කැපී පෙනුණි.

දවසකට අවම වශයෙන් නිවාස හතරකට හෝ පහකට ඇතුළු වී ඒවායේ ඇති බඩු සොරා ගැනීමට තරම් සුපිරි සොර දෙටුවෙකු වූ මෙම තරුණයා සොරා ගත් භාණ්ඩ අලෙවියට යොදාගෙන තිබුණේද අපූරු ක්‍රමයකි‍ෙ

අනෙක් සොරුන් මෙන් ඕනෑම වෙළඳසලක් හෝ පුද්ගලයකු වෙත ගොස් අදාළ භාණ්ඩය අලෙවි කර අතට ලැබෙන මොන යම් මුදලකින් හෝ සැනසීමට පත් වන පුරුද්දක් මොහුට තිබුණේ නැත.

දිනක් ඇතුළත භාණ්ඩ තොගයක් සොරාගත්තද ඒ සෑම භාණ්ඩයකම ගබඩා ස්ථානය වූයේ එක් නි‍ෙවසක් පමණි. මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ පදිංචිව සිටියේ එක් පුද්ගලයෙකි. ඔහුද මෙම ස්ථානය ලබාගෙන තිබුණේ කුලී පදනමකටය.

තැන් තැන්වලට නොගොස් එක් ස්ථානයක් පමණක් තෝරා ගැනීමෙන් සැකකරු සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා ගැනීමට තිබූ අවස්ථා බොහෝ විට ඇහිරී ගිය වාසිය ඔහුගේ ක්‍රියාන්විතයන්හි දීර්ඝ කාලීන පැවැත්මට රුකුල් දුන් සාධකයක් විය.

දෙමටගොඩ පොලිස් වසමින් පමණක් නොව මාලිගාවත්ත, බොරැල්ල, මරදාන, පිටකොටුව, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, වැල්ලම්පිටිය ආදී පොලිස් බල ප්‍රදේශ ගණනාවකම සිදු වූ ගිණිය නොහැකි තරම් සොරකම් සමූහයක වගඋත්තරකරු වූ "රත්තරං"ගේ නාමය පොලිස් පොතේ ඉහළින්ම ලියැවී තිබුණද ඔහු අත්අඩංගුවට ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.

නීතියේ රැහැනට හසු නොවී තැනින් තැන කට්ටි පනිමින් සිටි සැකකරු පොලිසියට හිසරදයක් වන තරමටම ඔහුට එරෙහිව තිබූ පැමිණිලි ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පැවතුණි.

දහවල් රෑ කිසිම වෙනසකින් තොරව නිවෙස් වලට ඇතුළුව භාණ්ඩ සොරා ගත් "රත්තරං"ට එවන් නිවෙස් වල තිබූ කුඩා සිදුරක් වුවද ඒවාට ඇතුළුවීමට අවශ්‍ය පමණටත් වඩා ප්‍රමාණවත් විය.

එක් නි‍ෙවසක වහලෙයෙන් ඇතුළු වන ඔහු තවත් නි‍ෙවසක ජනේලයකින් ඇතුළු වේ. මිනිසුන් නින්දට ගිය පසුව මෙන්ම අවදිව සිටින දහවල් කාලයේදීත් තමන්ගේ නි‍ෙවසට පැමිණෙනවාක් මෙන් ඒවාට ඇතුළු වන සැකකරු එම කිසිම අවස්ථාවක කොටුකර ගැනීමට කිසිවකුටවත් හැකියාවක් නොතිබුණි.

විටෙක "ආඳෙකු" මෙන් ලිස්සා යාමටත්, තවත් විටෙක චීටෙකු මෙන් පැන දිවීමටත් "රත්තරං"ට තිබුණේ අපූරු හැකියාවකි.

නිරන්තරයෙන් ඔහු අත රැඳුණු බෝම්බයක් මෙන්ම ඉතා දිගු තියුණු කඩුව නිවෙස් මංකොල්ලකෑම් වලදී අවශ්‍ය වුවහොත් නිවැසියන් බිය ගැන්වීමට යොදාගත් කදිම ආයුධ දෙකක් වූ අතර, වැඩිදුර විමර්ශන වලදී හෙළිව තිබුණේ මෙම බෝම්බය ඔහු කලකට ඉහතදී තවත් පුද්ගලයකුගෙන් මිලට ගත් එකක් බවයි.

පොලිස් බාරයට පත්වන විටත් මනා ක්‍රියාකාරිත්වයකින් යුතුව සක්‍රිය තත්ත්වයේ එය පැවතුණද සැබවින්ම "රත්තරං"ට එය සෙල්ලම් බඩුවක් තරමට හුරුපුරුදුය.

තමන් මංකොල්ලකෑ නිවෙස් වල හිමියන්ට මෙකී ආයුධ දෙකින්ම සිදු වූ අනතුරු පිළිබඳ කිසිම පැමිණිල්ලක් මේ වන තෙක් ලැබී නැතුවා වුවද, තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඒවා දෙවතාවක්ම පාවිච්චියට ගැනීමට ඔහු පසුබට නොවුණි.

එම දෙවතාවෙහිදිම පොලිස් නිලධාරීන්ට කඩුවෙන් පහර දුන් "රත්තරං" පොලිසියෙන් ගැලවී පලා යාමට තරම් එඩිතරව තිබුණු අතර, නීතිය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් ඔහුට තැකීමක් තිබුණේ නැත.

සොරාගත් භාණ්ඩ විකුණා ලත් මුදල් නිසා නිතර යහමින් අතමිට සරු පුද්ගලයෙකු වූ සැකකරු එම මුදල් නොමසුරුව වියදම් කිරීමට කිසිම ලෝබකමක් නොදැක්වූ බවට හොඳම උදාහරණය වන්නේ ඔහු දිනකට වියදම් කර තිබූ මුදල් ප්‍රමාණයයි.

මුදලින් ගත් කළ එය රුපියල් හතළිස් දහසකි. ඉන් රුපියල් විසිදහසක් මත්කුඩු වෙනුවෙන්ද, අනෙක් විසිදහස තමන් නතරව සිටි සුපිරි හෝටල් කාමරය මෙන්ම කාන්තා ඇසුර වෙනුවෙන්ද වියදම් කර තිබුණි.

දෙමටගොඩට පමණක් නොව අනෙකුත් ප්‍රදේශ වලටත් පිළිලයක් වූ "රත්තරං" පිළිබඳ වැදගත් තොරතුරක් දිනක් නිලධාරීන්ට ලැබුණි. ඒ සැකකරු අංගොඩ ප්‍රදේශයේ පිහිටි යම් නි‍ෙවසක් කරා ගමන් කරමින් සිටින බවයි.

වහා ක්‍රියාත්මක වූ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.කේ.අබේපිටිය, සහකාර පොලිස් අධිකාරී නලීන් ජයසුන්දර යන නිලධාරීන් මේ ගැන දැනුම්වත් කිරීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.බී.එම්.රත්නායක, සැරයන් (33336) ජයපත්ම, කොස්තාපල් (94094) සංජීව යන නිලධාරීන් වහා අංගොඩ බලා පිටත්ව ගියේ දීර්ඝ කාලයක සිට තමන්ට කට්ටි පනිමින් හැංගිමුත්තන් සෙල්ලමෙහි යෙදුණු මෙම සැකකරුගේ ක්‍රීඩාව අවසන් කිරීමේ අරමුණින් යුතුවය.

"රත්තරං"ගේ මාපියන්ට අයත් නි‍ෙවසක් වූ අංගොඩ පිහිටි මෙම නි‍ෙවසට සැකකරු ඉතා කලාතුරකින් යාම් ඊම් කළද එම සෑම ආගමනයක්ම ඉතා සූක්ෂ්මව කිරීමට තරම් ඔහු උපායශීලී විය. නමුත් ඒ සියලු උත්සාහයන් නිෂ්ප්‍රභ කරමින් අවසානයේදී දෙමටගොඩ පොලිස් ග්‍රහණයට "රත්තරං" කොටු වූයේ ඔහු සිහිනෙන්වත් නොසිතූ අයුරිනි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ඔහු සොරාගත් භාණ්ඩ ගබඩා කළ මාලිගාවත්ත නි‍ෙවසට ගිය පොලිස් නිලධාරීන්ගේ දෑස් නළලට ගියේ සුපිරි වෙළඳසැලක හෝ නොමැති තරමින් එහි තිබූ සුවිසල් භාණ්ඩ එකතුව දුටු පසුවය.

ඒ අනුව ජංගම දුරකතන 125ක්, ලැප්ටොප් 10ක්, ඔරලෝසු 520ක්, රූපවාහිනී යන්ත්‍ර 03ක් පමණක් නොව පියානෝවක් මෙන්ම ගිටාරයක්ද ඔහුගේ සොර බඩු ගොන්නෙහි ඉහළින්ම තිබූ අතර ඊට අමතරව රන් භාණ්ඩ මෙන්ම තවත් විද්‍යුත් උපකරණ සහ ඉලෙක්ට්‍රොනික මෙවලම් රාශියක්ම ඊට ඇතුළත් විය.

මුර පදයන් යොදා නොතිබූ ජංගම දුරකතන සහ පරිගණක ඍජුවම අලෙවි කිරීමෙහි යෙදුණද, මුරපද යොදා තිබූ ඒවා කොටස් කර විකිණීමට කටයුතු කර තිබුණු බව පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි විය.

අදාළ නි‍ෙවසේ පදිංචිකරු වන "රත්තරං"ගේ සොරබඩු අලෙවිකරු ඒ වන විට ඉන් අතුරුදන්ව තිබුණි.‍ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු වලට අනුව සැකකාර තරුණයා විසින් සොරාගෙන තිබූ ජංගම දුරකතන ප්‍රමාණය 400 ඉක්මවා තිබූ අතර, සොරාගත් භාණ්ඩ වල වටිනාකම රුපියල් කෝටියද ඉක්මවන්නට සමත්ය.

එම නි‍ෙවසේ තිබූ භාණ්ඩ ප්‍රමාණයට අමතරව තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති අතර, එම භාණ්ඩ සොයා ගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුවෙමින් පවතී.

අනුන් දුක්මහන්සියෙන් උපයා සපයාගත් වස්තුවෙන් කිසිම දුක්මහන්සියකින් තොරව හෝටලයක සුඛෝපභෝගී වායුසමනය කළ කාමරයක ලලනාවන්ද පිරිවරා දිගු කාලයක් සුරලොව සැප අත්විඳි "රත්තරං" අවසානයේ බන්ධනාගාරයේ අඳුරු කුටියකට සීමා කිරීමට දෙමටගොඩ පොලිසියට හැකි වූයේ එලෙසිනි.

 

Comments