
මනුෂ්‍ය ආත්මයක් ලැබ මෙලොව එළිය දැකීමට වාසනාව ලැබීම ආත්ම ගණනක පෙර පින් මහිමයක ප්‍රතිඵලයක් බව බෞද්ධ දර්ශනය අනුව සඳහන් වන්නකි.
එවන් පෙර පින් බලයෙන් මෙලොව එළිය දකින සියයට දශම ගණනක් වන කීප දෙනෙක් උත්පත්තියෙන්ම ආබාධිතයන්ය. ඒ අතරේ කිරිකැටි බිලිඳුන් මෙලොව එළිය දැකීමට පෙරුම් පුරද්දී ඇතැම් වෙදැදුරන්ගෙන් සිදුවන අතපසු වීම් නැතිනම් නොසැලකිලිමත් බව නිසා ඇතැම් කිරිකැටි බිලිඳුන් සිය ජීවිත කාලයට පුරාවටම ආබාධිතයන් වන්නේ අවාසනාවන්ත ලෙසිනි.
පසුගිය සැප්තැම්බර් 29 වැනිදා කොළඹ දිසා අධිකරණයේ වසර අටක් පුරා දිග හැරුණු හද කම්පා කරවන නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. එම තීන්දුව වූයේ 2012 වසරේ මැයි මස 15 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා පූර්ණ කාලීනව ආබාධිත වූ දැරියකට රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙසට නියෝග කිරීමයි. සඳුනි නතාශා නම් මේ වන විට 10 හැවිරිදි අදාළ දැරියගේ මව වන දොම්පේ පදිංචි ගුරුගේ තුෂාරා ප්‍රියංගනී 2013 වසරේදී ගොනුකර තිබූ නඩුවක තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය විසින් එම නියෝගය ලබා දුන්නාය.
වසර 9කට පෙර ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ රෝහලකට ඇතුළු වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ යුතුකම සහ වගකීම වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලය වෙත පැවැරී ඇති බවයි. රජයේ රෝහලක් වන ගම්පහ මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ පුරවැසියන්ගෙන් අය කර ගනු ලබන බදු මුදලින් බවද විනිසුරුවරිය සිය තීන්දුවෙන් පෙන්වා දුන්නාය. නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ එම දරුවා පූර්ණ කාලීන ආබාධිත වී සිටින්නේ පෙකණිවැල ගෙලෙහි එතීම නිසා බවය. කෙසේ හෝ අදාළ මොහොතේ එම තත්ත්වය නිරාකරණයට වෛද්‍යවරුන් අවශ්‍ය පරීක්ෂණ සිදුකොට පියවර ගෙන නොමැති බවද නඩු විභාගයේදී අනාවරණය විය.
එම නිසා මේ වන විට එම දැරිය සිය ජීවිත කාලය පුරාවටම ආබාධිත වී සිටින බවත් ඇගේ එදිනෙදා කටයුතු වෙනත් පුද්ගලයන් මත සිදු කර ගැනීමට සිදුව ඇති බවද නඩු විභාගයේදී හෙළි විය. එසේ හෙයින් මේ වන විට දැරිය ජීවත් කරවීමට අවශ්‍ය කළමනා සඳහා දැරියගේ මාපියන්ට අවම වශයෙන් මාසයකට රුපියල් පනස් දහසක මුදලක් වැය වන බවද එහිදී හෙළි විය. දැරියගේ ආයු අපේක්ෂා කාලය වසර 50ක් ලෙස ගණනය කළහොත් එම කාල සීමාව ජීවත් වීම සඳහා අවම ලෙස රුපියල් මිලියන 30ක පමණ මුදලක් වැය කිරීමට සිදු වන බවද නඩු තීන්දුව මඟින් ගණනය කෙරිණි.
එසේම දැරියගේ මාපියන් නොමැති කලකදී එම ආබාධිත දැරිය රැක බලා ගැනීමටද වගකිවයුත්තන් නිසි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද පෙන්වා දුන් විනිසුරුවරිය එම නිසා ඇය වෙනුවෙන් වැය කළ හැකි මුදලක් තිබිය යුතු බවත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව අදාළ නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට විනිසුරුවරිය නියෝග කළේ අගතියට පත් දැරිය වෙනුවෙන් රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙසටයි.
තුෂාරා ප්‍රියංගනී සිය දෙවැනි දරු උපත සඳහා 2012 වසරේ මැයි මස 14 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු වී තිබුණේ එදින දහවල් කාලයේ සිටම ඇයට පැමිණි අපහසුතා නිසාවෙනි. ඇයට දරු ප්‍රසූතිය සඳහා දින දී තිබුණේ 2012 මැයි මස 15 වැනිදායි. 14 වැනිදා සවස රෝහලට ඇතුළු වූ සැණින් ඇයට උහුලාගත නොහැකි තරමින් ‘විලිරුදාව‘ උත්සන්න වී තිබිණි. ඇය විසින් ඒ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරු දැනුම්වත් කෙරිණි. එහෙත් ඊට කිසිවකු නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම නිසා අද වන විට තම දියණියට මෙම අවාසනාවන්ත ඉරණම අත්වීමට මූලිකව හේතු වී ඇතැයි ඇය පවසන්නීය.
පසුව තුෂාරා දරු ප්‍රසූතිය සඳහා සූතිකාගාරය වෙත රැගෙන ගියද එහිදී ද ඇය විඳවමින් සිටි අධික වේදනාව ගැන වෛද්‍යවරු දැනුම්වත් කළත් කිසිවකු ඒ පිළිබඳ ‘තුට්ටුව‘කට මායිම් කර නැත. බස් කොන්දොස්තර රැකියාවක නියුතුව සිටි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පී. ඩී. සුසන්ත සමඟ 2008 වසරේදී විවාහ වුණු තුෂාරාගේ වැඩිමහල් දරුවා පුතෙකි. ඇය දෙවැනි දරුවා ලෙස දියණියක අපේක්ෂාවෙන් සිටියාය. එම බලාපොරොත්තු මල්පල ගන්වමින් ඇයට ලැබෙන්නට සිටියේ දියණියක් බව වේලාසනින්ම ඇය දැන සිටියාය. එහෙත් අවාසනාවක මහිමය කියා පාමින් දියණිය මෙලොව එළිය දැකීමට යාමේදී එදා තමන් මුහුණ දුන් ඒ අමිහිරි මතකය යළි ආවර්ජනය කළ තුෂාරා මෙලෙස කීවාය.
“එදා මගේ බඩ රිදෙන්න ගත්තා. ගොඩක් ලේ යන්න ගත්තා. මම නර්ස් කෙනෙකුට කිවුවා, ‘අනේ මිස් මගේ බඩ රිදෙනවා... ලේ යනවා...‘ කියලා. නර්ස් මට කිවුවා, ‘අම්මා දන්නැද්ද මේ දෙවැනි දරුවනේ... පීවී කළාම ලේ යන බවක් දන්නැද්ද?‘ කියමින් මට දොස් කිවුවා. මම එතැනින් ආවා. ඒත් මට ඉන්නම බෑ. මං ආයෙත් ගිහින් ඩොක්ටට කිවුවා. ඒ වෙලාවේ ඒ ඩොක්ට කිවුවා, ‘මෙයා ලේබර් රූම් දාන්න‘ කියලා. ඊට පස්සේ වෛද්‍යවරියක් ආවා... එයා කිසි දෙයක් බැලුවේ නෑ. ඔළුව තියාගෙන නිදි වගේ හිටියා. මං ගැන කිසිම තැකීමක් කළේ නෑ. එදා පාන්දර එක... දෙක වෙද්දි මට ගොඩාක් අමාරු වුණා. අන්තිමට පාන්දර 3.40ට ළමයා ගත්තා. කියන්න දුකයි... දරුවා ගන්නකොට එයාගේ බෙල්ල කඩා වැටිලා... ඇස් ඇරියේ නෑ... ඇඬුවේ නෑ... මුකුත්ම කළේ නෑ. ඔන්න ඊට පස්සෙ හැමෝම ඇවිත් ළමයගේ පපුවට ගහලා ඉන්කියුබේටරයක් ගෙන්නලා ළමයා අරන් ගියා. දරුවගේ හැමතැනම මැෂින් ගහලා තිබුණේ...“
එලෙස වෛද්‍ය සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා සඳුනි දැරිය පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයකට ලක් වූවාය. සඳුනිට අත්වූ එකී ශෝචනීය ඉරණමට වන්දි වශයෙන් රුපියල් මිලියන 50ක් වගකිවයුත්තන්ගෙන් අය කර දෙන ලෙස ඉල්ලමින් තුෂාරා මීට වසර අටකට පමණ පෙර කොළඹ දිසා අධිකරණයේ පිහිට පැතුවාය. මේ වන විට එම නඩු කටයුත්තේ තීන්දුව ප්‍රකාශයට පත්කර හමාරය.
සඳුනි දියණියට අත්වූ ශෝචනීය තත්ත්වයට එරෙහිව 2013 වසරේදී තුෂාරා ඇතුළු පවුලේ අයවලුන් අධිකරණයේ පිහිට පැතීය. සඳුනි දියණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතායි.
“මේ නඩුවේදී අපි බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා... මොකද මේ දැරිය වෙනුවෙන් සාක්ෂි දීමට විශේෂඥ වෛද්‍යවරු සොයා ගැනීමට යාමේදී. කොහොමහරි ඒ දුෂ්කරතාවන් ජය ගත්තා. අන්තිමට අධිකරණය තීන්දු කළා නොසැලකිල්ල හේතුවෙන් තමයි මේ දැරිය අද සිටින ආබාධිත තත්ත්වයට පත් වුණේ කියා. ඇත්ත වශයෙන්ම මේ දැරිය අද වන විට නඩත්තු කරන්නේ ඇයගේ ආච්චි. ආච්චි පාර අයිනේ එළවළු, පලතුරු, බුලත් විකුණලයි ඇයව බලාගන්නෙ. දැරියගේ මවටත් රැකියාවක් කරන්න හැකියාවක් නැහැ. ඒ මවට තිබෙන ආබාධිත තත්ත්වයක් නිසා. මෙය රජයේ සහ පෞද්ගලික ඇතුළු සෑම රෝහලකම කාර්ය මණ්ඩලය තම රාජකාරිය ඉටු කිරීමේදී ඉතාම සැලකිලිමත්ව අවධානයෙන් කරන කාර්යභාරය ඉටු කළ යුතු ය යන්න පිළිබිඹු වන අවස්ථාවක්. මෙය වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳව අධිකරණ ඉතිහාසයේ දුන් ඉතාම වැදගත් තීන්දුවක් ලෙස සැලකිය හැකියි...“
දැරියට සිදු වූ අසාධාරණයට කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට අධිකරණය හමුවේ අභියාචනයක්ද ඉදිරිපත් කර ඇත. ඉකුත් දා එම දැරිය වෙසෙන දොම්පේ නිවෙසට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරද ගොඩ වැදුණේ දැරියගේ සුවදුක් විමසීමටය. එහිදී ඇමැතිවරයා ද අවධාරණය කළේ දැරියට අත්වූ ඉරණම නිසා අසරණව සිටින මෙකී පවුලට සාධාරණයක් විය යුතුම බවයි.