
අලුත්ගම, බොන්දුපිටිය, වරාපිටිය. දර්ගා නගරය සහ දන්වත්ගොඩ ආදි ප්‍රදේශවල වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශ ඉබ්බන්ගේ රජ දහන් බවට පත්ව තිබෙන්නේ කාලයක සිටය.
"උඹටයි මටයි කරනවනං හොඳ බිස්නස් එකක් තියෙනවා."
අලුත්ගම නගරයේ පදිංචි මිතුරන් දෙදෙනෙකුගෙන් වැඩිමලා බාල මිතුරාගේ කනට කර එසේ යම් දෙයක් පවසන්නේ කට කොනකට හිනාවක් නගා ගන්නා අතරය.
"මොකක් ගැනද උඹ ඔය කියන්නෙ? තේරෙන සිංහලෙන් කියපංකො." බාලයා විමසා සිටියේ කුතුහලයෙන් යුතුවය.
"මේ පැත්තෙ දැං රෑවෙන කොට කිරි ඉබ්බො වැහි වැහැල. බලමුද ට්‍රයි එකක් දාල."
"එහෙනං මොන ට්‍රයිද අයියා. කුඩ්ඩො දෙතුන් දෙනෙකුට කීයක් හරි දුන්න නං වැඩේ ගොඩනෙ."
මිතුරන් දෙදෙනා කතිකා කර ගත් පරිදිම මත් කුඩු වලට ඇබ්බැහි වූ කොලු ගැටවුන් කීප දෙනෙකුට ඔවුන් ‘ඇම‘ එළුවේ කුඩු ඉරීමට වුවමනා මුදල් සොයා ගැනීමේ මාර්ගයක් පාදා දෙන මුවාවෙනි. අඳුර වැටිගෙන එන විට කල්ලි ගැසෙන කුඩ්ඩෝ වැඩි වෙහෙසක් නොමැතිවම ඉබ්බන් අල්ලා මොවුන්ට ලබා දීමට කටයුතු කළේ ලබා දෙන සන්තෝෂම් මුදල මහමෙරක් තරමට සලකමිනි.
දර්ගා නගරයේ ප්‍රධාන විදියේ ගාලු පාරට මුහුණ ලා ඇති වැඩිමහලු මිතුරාගේ නිවෙස ඉබි ඝාතකාගාරයක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. නිවෙස අසල පදිංචි මිතුරාද ගෙන්වා ගන්නා මොහු ජයටම මේ ව්‍යාපාරය කරගෙන ගියේ කිසිම බාධාවකින් තොරවය. එක ඉබ්බෙකු සඳහා රුපියල් දෙසීයක් හෝ තුන්සීයක මුදලක් කුඩ්ඩාගේ අත මිට මොලවන මොවුන් දිනකට ඉබ්බන් දහපහළොස් දෙනෙකුගේ මරණ වරෙන්තුව ලියා තබන්නේ කිසිදු හිතක් පපුවක් නොමැති උන් ලෙසමය.
"සර් දර්ගා ටවුන්වල ගෙදරක අලුත්ම අලුත් මාර බිස්නස් එකක් යනවනෙ."
අලුත්ගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට මෙම තොරතුර ලබා දෙන්නේ ඔත්තුකරුවෙකු විසිනි.
මේ ප්‍රදේශයේ සිදු කෙරෙන බිස්නස් කුමනාකාරයේ වුවත් ඒවා නීති විරෝධි ඒවා බව හොඳින්ම දන්නා පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තව දුරටත් ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටියේ අලුත් තාලයේ බිස්නස් එක කුමක්දැයි දැන ගැනිමේ කුහුලින් යුතුවය.
"සර් එතන කෙරෙන්නෙ ඉබි මස් බිස්නස් එකක්. ටක් ගාල බඩු ඉවර වෙනවා. කොහෙන් ගියාද කියල නෑ."
එලෙස ඉබ්බාගේ ඉරණම ලියවී ඇත්තේ මස් වැද්දන්ගේ වධකාගාරවල අවසන් ගමන් යාමට නම් එයට ඉඩ දිය යුතුද? මස් මාළු වලට ගිජුකමක් දක්වන පින් පව් නොතකා කටයුතු කරන මෙම පුද්ගලයන් සිදු කරන මෙම ජාවාරම පිළිබඳව අලුත්ගම පොලිස් ස්ථානාධිපති නාලක මාගෙදරගම දැනුම්වත් කළ පොලිස් පරීක්ෂකවරයා වැටලීමට අවශ්‍ය කරන ක්‍රමෝපායන් සකස් කළේ ඉහළ නිලධාරින්ගේ උපදෙස් හා අනුදැනුම ද ඇතිවය.
අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂගේ මඟපෙන්වීම අනුව සැරයන් 44839 දුමින්ද, 51907 අනුප්‍රිය, 53663 කිංස්ලි, 8144 වික්‍රමරත්න, කෝස්තාපල්වරුන් වන 89497 උපාලි, 99507 රත්නායක හා 77790 ප්‍රභාත් යන නිලධාරින් පිරිස සමඟ නිශාන්ත ද සිල්වා අදාළ ස්ථානය වෙත ගියේ කිසිවෙකුටත් නොදැනෙන ලෙසය.
පොලිසිය එහි යන විටත් දෙමිතුරන් සිටියේ ඉබ්බන් මස් කරමින්ය. ඉබ්බන් හත් දෙනෙකුගේ උඩ හා යට කටු ඉවත් කර මස් ගුලි හෝදමින් මොවුන් සිටියේ නිවෙස පිටුපස එළියේ සවිකර ඇති වතුර කරාමයක් අසලය. කුඩ්ඩන් විසින් එකතු කරගෙන එන ඉබ්බන් විශාල ඇලුමිනියම් කොරහකට දමා තබා ගන්නා මොවුන් දහවල් වන විට නයිලෝන් නූලකින් තොණ්ඩුවක් සාදා ඒ අධාරයෙන් ඉබ්බාගේ බෙල්ල කඩා දමන්නේ මුදල් වලට ඇති කෑදරකම නිසාය. පිහි හතරක් ආධාරයෙන් කටු ඉවත් කර පාද හතර මෙන්ම හිසද ඉවක් කරන මෙම මස් වැද්දන් දෙපළ ග්රෑම් පන්සියේ හා කිලෝ එකේ පැකට් වලට දමා මෙම මස් අලෙවි කරන්නේ රුපියල් එක්දාස් පන්සිය හා තුන්දාහ බැගින් වන මිල ගණන් වලටය. ඔවුන්ට මෙම කාර්ය නිම කිරීමට පැයක්වත් ගත නොවන අතර මිලදි ගැනීමට පැමිණෙන ගැණුම්කරුවන්ගෙන්ද අඩුවක් නොමැත.
මේ නිසා ක්ෂනිකවම මෙම මස් අලෙවි වන බැවින් ඔවුන්ට දිනකට රුපියල් විසිහත් දාහක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වන්නේ කිසිම අපහසුවකින් තොරවමය. ඉල්ලුමට අනුව සැපයිම පවා අසීරු තත්ත්වයක තිබූ මෙම වධකාගාරයේ එදින ඝාතනය කරන ලද ඉබ්බන් හත් දෙනාගේ කිලෝ 07 ග්‍රෑම් 72 ක් පමණ බර මස් තොගය පොලිසිය බාරයට ගත් අතර විවිධ ප්‍රමාණයේ පිහි හතරක් මස් තැටි එකක් හා කොරහක් ද සැකකරුවන් දෙදෙනා සමඟ අත් අඩංගුවට ගත්තේ සිදු කර ඇති අපරාධයේ ආදිනව ද පහදා දෙමිනි.
දෙමිතුරන් එක්ව ඉබ්බන් මරා ඉවත දමන අපද්‍රව්‍ය උර වලට බහා නගර සභාවේ කුණු කඳු යට සඟවන බැවින් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුටත් නොදැනෙන ලෙස මෙම ජාවාරම කරගෙන ගියත් අවසානයේ එයට නිසි දඬුවම විඳීමට සිදු වුයේ අපරාධයක් සිදු කර ගැලවි යාමට නොහැකි බව පසක් කරමිනි.
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන රුපියල් ලක්ෂ දෙකක ඇප නියම කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හාල්පාන්නිය මහත්මිය නියම කළාය.