
සැකකාර දෙමිතුරෝ අත්අඩංගුවට
සින්දුවක් නිසා ඇතිවූ ගෝරියෙන් තිලකසේන අවසන් ගමනේ
හොඳම මිතුරා හොඳම හතුරා බවට පත් වන්නටත් පත් කරන්නටත් මධුවිතට හැකි බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මේ කතාවේ එන ප්‍රධාන චරිතයට පණ පොවන්නා ද මධුවිතට ලොල් වී ඒ නිසාම අවාසනාවන්ත ලෙස ජීවිත ගමනට සමු දුන් පුද්ගලයෙකි.
පී.එම්. තිලකරත්න බණ්ඩා කෝන්වැව, මහව ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. කාලයක් තිස්සේ බිරිය සමඟ ඇතිකර ගත් අමනාපකමක් හේතුවෙන් ජීවිතයට මීවිත එක්කර ගත් ඔහු පසුකාලීනව කට ගොන්නකට බී ගෙන සිටි පුද්ගලයකු බවට පත්විය.
කානුවක් කානුවක් පාසා බිම ඇද වැටෙන්නට තරම් මත්පැන් පානය කළ තිලකරත්නගේ ජීවිතයට ඒ වන විටත් කණ කොක් හඬන්නට පටන් ගෙන තිබිණි. කුසට අහරක් නැතත් බේබදුකමේ කිසිම අඩුවක් නම් දක්නට නොලැබුණ තරමටම තිලකරත්නගේ බීමත්කම ඉහ වහ ගොස් තිබිණි.
කාලය ගෙවී යද්දී තිලකරත්නගේ හොඳම මිතුරාගෙන් යෝජනාවක් එන්නේ ඔය අතරතුරය.
"මචං මම චමියා. උඹ කොහේද ඉන්නේ? හොඳ වැඩක් තියෙනවා සෙට් වෙලා කරමුද බං" යැයි අසන්නේ හොඳම මිතුරා වන චමියා ය. ඊට හූ මිටි තැබූ තිලකේ ද එක පයින්ම සිය කැමැත්ත ප්‍රකාශ කෙළේය.
"හරි මචෝ උඹ දන්නවනෙ මැරෙන්න හරි මම එනවා කියලා" යැයි තිලකරත්න මිතුරාගේ ඉල්ලීමට එකඟතාවය පළ කෙළේය.
“පුත්තලමේ වත්තක් තියෙනවා. හෙට උදේ අපි දෙන්නම ඒ වත්තට යමු“ චමියා තිලකරත්නට කියන්නේ එවැනි කතාවකි.
ඒ යෝජනාව එකඟ වූ තිලකේගෙ හිසේ මලක් පිපුනා සේ ආශාවක් ඇති වූයේ පුත්තලම් වත්තට ගොසින් තමන්ට රිසිසේ මධුවිත සප්පායම් වීමට ඉඩ කඩ සැකසෙන නිසාය.
පසුදා උදෑසන තිලකේ සහ චමින්ද පුත්තලම, මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඹ වගාවක සේවයට යන්නේ හා හා පුරා කියාය. එහි පැමිණි මේ 'අඹ යාළුවන්ට' එදිනම තවත් මිතුරකු මුණ ගැසෙන්නේ 'ජාඩියට මූඩිය' මෙනි. ගජ මිතුරුකමක් තිදෙනා අතර ඇති වන්නේ ඉන් අනතුරුවය.
එසේ තිදෙනාම එදින සිට සතුටින් වත්තේ සේවය කළහ. එහිදී වත්තේ හිමිකරු තිලකේට බාරදී ඇත්තේ රාත්‍රි කාලයේ මුර සේවයයි. චමින්දට ද එම රාජකාරියම පැවැරිණි. ඒ හා සමාන රාජකාරියක් 'ප්‍රේමෙ' නමැති තුන්වැන්නාට ද පැවරිණි.
පසුව තිදෙනාම අඹ වත්තේ සේවය කරන්නේ සතුටිනි. රාජකාරිය දේවකාරිය කර ගත් මේ තිදෙනා මධුවිත පළමු කොට සැලකීමට කිසිසේත් අමතක නොකළහ. මධුවිතට ලොල් වූ තිදෙනා රැයක් දවාලක් නොතකා පදමට 'සූර්' වන්නේ ඉන් අනතුරුවය.
දිනක් වත්තේ හිමිකරු පැමිණ මොවුන්ට මාසික වැටුප් ලබාදී වතු යාය හොඳින් රැක බලා ගන්නා ලෙස පවසා පිටව ගොස් ඇත්තේ මොවුන් තිදෙනා කෙරෙහි ඇති විශ්වාසය නිසාවෙනි.
එදින මේ තිදෙනාගේ අතමිට සරු විය. 'තිලකේ', 'චමියා', 'ප්‍රේමෙ' යන තිදෙනාගේ ප්‍රධාන අරමුණ වූයේ කනවටත් වඩා හොඳට බොනවා යන චේතනාවය. කෑම කෙසේ වුවත් බීම මුල් කර ගන්නා මොවුන් වැඩ හමාර කොට මිටින් හළ කුරුල්ලන් මෙන් ඇදී යන්නේ කසිප්පු විකුණන ස්ථානය බලාය.
එදින කසිප්පු තිප්පළට පැමිණි මේ තිදෙනාම එකවරම පවසන්නේ "අද නම් අපිට නෑ බෑ නොකියා හොඳම බඩු වලින් දෙන්න" යැයි කියාය. මොවුන් එම ස්ථානයේදීම මධුවිත සප්පායම් වී අඩු හරිය සපුරාලීමට තවත් මත්පැන් බෝතල් කීපයක් රැගෙන වත්තට පැමිණියේ ඉන් පසුවය. ඒ වන විට මධ්‍යම රාත්‍රි 12.00 පසුවී තිබිණි.
එසේ වත්තට පැමිණි මොවුන් තිදෙනා අන්දුන්කුන්දුන් වී ඒ මේ අත ගමන් කරන්නේ මධුවිත පානය වැඩි වී තිබූ නිසාය. හරි හැටියට කෙළින් කටින් ඉන්න බැරි තරම් මත්වූ මොවුන් තව තවත් සප්පායම් වන්නේ ඔය අතරේය. එහිදී තිලකේ චමින්දට සහ ප්‍රේමෙට මෙසේ යෝජනාවක් ගෙන ආවේය.
"චමියා, ප්‍රේමයා අනන් මනන් වානා මට සින්දු තමයි ඕනා" යැයි කියන්නේ ගීතයක කොටසක් කියමිනි. එකඟ වූ චමින්ද පැරණි ගීතයක කොටසක් ගායනා කරන්නට පටන් ගත්තේය.
ටික වේලාවක් ගත වෙද්දී තිලකේ, චමින්ද කියන ගීතවලට උසුළු විසුළු කරන්නට පටන් ගත්තේ එක අතකින් සරම අල්ලාගෙන ඇඟිල්ලක් ද දිගු කරවමිනි. මේ අතරතුර සාදය මාරයි බීම හමාරයි කියන තැනට පත්වන ලකුණු ඉස්මතු වන්නට විය.
එයින් ආවේගයට පත් චමින්ද සහ තිලකේ අතර ගැටුමක් හට ගන්නේ ඉන් අනතුරුවය. අසල තිබූ ඉදල් මිටක් රැගෙන ආ තිලකේ චමින්දගේ පිට හරහා වැරෙන් පහර කිහිපයක් එල්ල කරන්නේ ආරවුල අතරතුරදීය.
කෝපයට පත්වූ චමින්දගේ ද ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. තිලකේගෙ අත තිබූ ඉදල් මිට උදුරා ගත් චමින්ද තිලකෙට වැරෙන් පහර කිහිපයක් එල්ල කෙළේය. එම පහර වැදීමෙන් බරපතළ ලෙස අසාධ්‍ය වූ තිලකරත්න එම ස්ථානයේදීම අවසන් සුසුම් පොද වාතලයට මුසු කරන්නේ ඉන් අනතුරුවය.
පසුව කලබල වූ චමින්ද සහ ප්‍රේමරත්න මේ බව වත්තේ හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් 119 පොලිස් හදිසි දුරකථන අංකයට ද සිද්ධිය සම්බන්ධයෙන් කළ දැනුම් දීමකට අනුව මහකුඹුක්කඩවල පොලිසියේ එහි පැමිණෙන්නේ මේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහාය.
එහිදී නිරීක්ෂණය වී ඇත්තේ අඹ වත්තේ මුර සේවය සඳහා පැමිණ සිටි සේවකයින් තිදෙනෙකු අතර, ඇතිවූ බහින් බස්වීමක් දිග දුර යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවය.
මේ තිදෙනාගෙන් ප්‍රධාන සැකකරු වන චමින්ද සහ තිලකරත්න වත්තේ ඉදිකර තිබූ කන්ටේනර් පෙට්ටියක් තුළ රැඳී සිට ඇති බවත්, ප්‍රේමරත්න ඊට තරමක් දුරින් පිහිටා තිබූ ගසක් මුදුනේ ඉදිකර තිබූ පැලක් තුළ රාත්‍රිය ගත කරන බවත්, මේ තිදෙනාම අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසුව මෙම ගැටුම හට ගෙන ඇති බව ද විමර්ශනවලදී හෙළි විය.
මෙසේ ඝාතනය කැරුණේ කෝන්වැව, මහව පදිංචි 54 හැවිරිදි පී.එම්. තිලකරත්න බණ්ඩා නැමති එක්දරු පියෙකු බව හෙළිවිය. ඔහුගේ මෘත දේහය සම්බන්ධයෙන් පුත්තලම මූලික රෝහලේදී සිදු කැරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත්තේ පහරදීමක් හේතුවෙන් ඔහුගේ උගුරු දණ්ඩ කැඩී යාම සහ පපුවේ ඉළ ඇට පේළියේ ඇතිවූ අස්ථි බිඳීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රධාන සැකකරු ලෙස ඉහළ ගිරිබාව, ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එච්.එම්. චමින්ද සරත් කුමාර සහ දෙවන සැකකරු ලෙස උස්ගල, සියඹලන්ගමුව, ගල්ගමුව පදිංචි 48 හැවිරිදි බී.එම්. ප්‍රේමරත්න ද මේ ඝාතනයට අදාළව මහකුඹුක්කඩවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.
මහකුඹුක්කඩවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ.ඒ.ඒ. දීප්ති කුමාරගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක ගුණසේන, සැරයන්වරුන් වන (29567) සිරිවර්ධන, (46488) චන්ද්‍රසේන, කොස්තාපල් වරුන්වන (86844) අලහකෝන්, (76234) ජයතිලක යන නිලධාරිහු විමර්ශන සිදුකරති.