හොර වැඩ කර ලංකාව හොල්ලන නයිජීරියානුවෝ | සිළුමිණ

හොර වැඩ කර ලංකාව හොල්ලන නයිජීරියානුවෝ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් පසුගිය 20 වැනිදා ගල්කිස්ස හෝටල් මාර්ගයේදී පරීක්ෂාවක් සිදු කර නයිජිරියන් ජාතිකයකු අත්අඩංගුවට ගත්තේය. ඔහු 29 හැවිරිදි උසෙනි චිකුවා මාජි නමැත්තාය. මෙරට රැඳී සිටීමට අවශ්‍ය කිසිම වලංගු අනන්‍යතා සහතිකයක්ද නොමැතිව සිටි මාජි සතුව ඒටීඑම් කාඩ්පත් සහ දුරකථන සිම්පත් විශාල ප්‍රමාණයක්ද තිබිණි.

2013 වසරේදී නයිජිරියාවේ සිට ගම්පහ තිහාරියේ පාපන්දු ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුම්ගතව පාපන්දු ක්‍රීඩා කිරීමට පැමිණ ඇති මාජි එම කාල සීමාව අවසන් වීමත් සමඟ මෙහි නීති විරෝධිව රැඳී සිටිමින් විවිධාකාරයේ ජාවාරම්වලට එක්ව ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය උපයෝගීකොට ගෙනයි. ඔහු සිදුකළ නීති විරෝධී ක්‍රියා නිසා මීට පෙර දෙවරක්ම අත්අඩංගුවට පත්වී ඇත.

මාජිට අමතරව ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනියගේ උපදෙස් මත එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නුවන් පත්මසිරිගේ මෙහෙයවීමෙන් නිලධාරි කණ්ඩායමක් මහරගම - පිළියන්දල මාර්ගයේ මූල්‍ය ආයතනයක් අසලදී තවත් නයිජිරියන් ජාතිකයකු අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු නෙමිකා නමුදු නමැත්තෙකි. ඔහුද අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කරමින් නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි අයෙකි.

රහස් පොලිසියට කොටුවූ ආසන්නතම නයිජිරියානුවන් වන්නේ මොවුන් දෙදෙනාය. 2021 වසරේ මාර්තු මාසයේදී අන්තර්ජාලය ඔස්සේ සිදු වන අපරාධ වැඩි වීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව අන්තර්ජාල අපරාධ විමර්ශනයටම සුවිශේෂී කොට්ඨාසයක් පිහිටුවනු ලැබීය. එහි වත්මන් අධ්‍යක්ෂවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනියයි. එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නුවන් පත්මසිරිය. එහි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. වී. ඉෂාර ගයාශ්‍රිය. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ පහන්තුඩාව දියඇල්ල අසල නිරුවත් ඡායාරූප ලබා ගැනීමේ සැකකරුවන් කොටුකරගත්තේ පොලිස් පරීක්ෂක ගයාශ්‍රී ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පසුගිය කාලය පුරාවට අත්අඩංගුවට ගෙන ඇති නයිජිරියානුවන් සංඛ්‍යාව 19කි. ඉන් 18 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ උපපොලිස් පරීක්ෂක නුවන් පත්මසිරි ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

රෙදිපිළි ව්‍යාපාරිකයන් ලෙසටද මෙරට විශ්වවිද්‍යාලවල ඉගෙනීමට පැමිණෙන සිසුන් ලෙසින්ද නැතිනම් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයන් ලෙසටද ලංකාවට පැමිණෙන නයිජිරියන් තරුණයන් වීසා බලපත්‍ර කාලය අවසන් වූ පසුවද නීති විරෝධි ලෙස මෙරට රැඳි සිටිමින් ජාවාරම්හි නිරතව සිටින්නේ වසර හත අටක පමණ කාලයක සිට බව පසුගිය කාලය පුරාවට පොලිසිය සිදුකළ වැටලීම්වලදී අනාවරණය විය.

මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින් සිදුකර ඇති විමර්ශන අනුව පෙනී යන්නේ මෙරට ඇතුළත නීති විරෝධීව රැඳී සිටින නයිජිරියානුවන් සංඛ්‍යාව 80ක් පමණ වන බවයි. ඒ සියලු දෙනාගෙන් බහුතරයක් ගැවසෙනුයේ දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, කඩුවෙල, පිළියන්දල, අත්තිඩිය, බොරලැස්ගමුව, මහරගම, බෙල්ලන්විල, මීගමුව, මාතර ආදි ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනය. කොළඹ නගරයට අවට ප්‍රදේශවලට පමණක් සීමා වී සිටි නයිජිරියන් ජාතිකයන් වර්තමානය වන විට මීගමුව, වත්තල, ගම්පහ, ගාල්ල, මාතර ආදි පෙදෙස්වලටද ව්‍යාප්ත වෙමින් බොහෝ සේ මූල්‍ය වංචාවන්හි නිරතව වෙමින් සිටී.

මේ වංචනික නයිජිරියානුවන් පිළිබඳ විමර්ශන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට අමතරව ඉකුත් වසර දෙක තුනක පමණ කාලය තුළදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ඇතුළු පොලිස් ඒකකවලින් සිදුවිය. එහිදී අත්අඩංගුවට ගැනුණු නයිජිරියානුවන් සංඛ්‍යාව 50කට අධිකය. මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති නයිජිරියානුවන් 45 දෙනෙකු රඳවා සිටින්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු බාරයේ පවත්වාගෙන යන වැලිසර නාවික කඳවුරට යාබද සිවිල් ආරක්ෂක බළකාය ආරක්ෂාව සපයන කඳවුරකයි. එම නයිජිරියානුවන් 45 දෙනා ඇතුළු එහි සිටින විදේශිකයන් සංඛ්‍යාව 80කට අධිකය. එකී විදේශිකයන් පිරිස නඩත්තුව සඳහා පමණක් මසකට වැය වන මුදල රුපියල් මිලියන 22ක් බව ඉකුත්දා අප කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී. ජී. ගයාන් මිලින්ද පැවැසීය.

ඒසා මුදල් කන්දරාවක් වැය කරමින් මෙකී විදේශිකයන් මෙරට රඳවාගෙන සිටිමද රටට මහත් බරකි. එසේම නයිජිරියානුවන් ඇතුළු එම විදේශිකයන් මුලින් සිටි මිරිහාන කඳවුරු මධ්‍යස්ථානයේදී මෙන්ම මෙකී වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයෙන්ද නයිජිරියානුවෝ නොයෙක් කූට උපක්‍රම ඔස්සේ එළියට පැමිණ ජාවාරම්වල නිරත වන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එම නිසා මීට පෙරදී අත්අඩංගුවට ගෙන එම රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකළ නයිජිරියන් ජාතිකයකු නැවත අත්අඩංගුවට පත්වීමද ඉකුත් දා සිදුවූ බව වැටලීම් සිදුකළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරියෙකු කීවේය.

මෙරට ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස රැඳී සිටින එම නයිජිරියානුවන් සිදුකරන වංචාවන් අතර අන්තර්ජාලයෙන් හමුවන කාන්තාවන්ට කෙටි පණිවිඩ ඔස්සේ ඔවුහු යුරෝපය, ඇමෙරිකාව වැනි ධනවත් බටහිර රටවල වෙසෙමින් වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරිවරුන් වැනි සුවිශේෂ රැකියාවන්හි නිරත වන පුද්ගලයන් බව අඟවති.

අනතුරුව ඔවුහු මෙරට එකී කාන්තාවන් සමඟ දින කිහිපයක් කෙටි පණිවිඩ ඔස්සේ අදහස් හුවමාරු කරගනිති. ඒ සමඟම නයිජිරියන් වංචාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දෙන්නේ තම බිරිය මියගොස් ඇති බව වැනි බොරු බේගල් කතාන්දරයි. එම නිසා ශ්‍රී ලාංකේය ඔබ විවාහ කරගැනීමට කැමැති බව සඳහන් කරමින් එම කාන්තාවන් සූක්ෂ්ම ලෙස රවටා ගන්නා බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එසේ දින කීපයක් ගතවෙද්දී එම කාන්තාවන්ට ත්‍යාග පාර්සලයක් එවා ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළට නැතිනම් භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට එවා ඇති බවත් සඳහන් කරමින් කෙටි පණිවිඩ එවනු ලැබේ. අනතුරුව ජාවාරම්කරුවන් විසින් එකී කාන්තාවන් රවටමින් ජාවාරමට අරඅඳින්නේ එකී ත්‍යාගය ලබා ගැනීමට මුදලක් තැන්පත් කරන ලෙස සඳහන් කරමින් මුදල් කූට ලෙස වංචා කරමිනි.

ඒ අනුව නයිජිරියන් ජාතිකයන්ගේ මෙවැනි ජාවාරම්වලට බොහෝ සේ හසුවී ඇත්තේ දහවල් කාලයේ නිවෙස්හි තනිව වෙසෙන මැදි වියේ කාන්තාවන්ය.

එම කාන්තාවන්ගෙන් වැඩිදෙනා සැමියා, දරුවන් නිවෙස්වලින් පිටව ගිය පසු නිවෙස්හි දිවා කාලය තනිව ගතකරද්දී අන්තර්ජාලයේ සැරිසැරීම පුරුද්දක් කරගත් අයයි. ඒ බොහෝ කාන්තාවන් වයස අවුරුදු අවුරුදු 30 - 40 අතර පසුවන මුහුණුපොත හෝ ඉන්ස්ටග්‍රැම් ගිණුම් හිමි කාන්තාවන්ය. එම කාන්තාවන් වැඩිදෙනා නයිජිරියන් ජාතිකයන් සමඟ සබඳතා පවත්වා ‘අමාරුවේ‘ වැටි ඇති බව හෙළි වේ. එහෙත් නයිජිරියන් ජාතිකයන්ගෙන් අමාරුවේ වැටුණු කාන්තාවන් පොලිසියට පැමිණිලි නොකිරීම ඉදිරි විමර්ශන සඳහා බාධාවක් යැයි පොලිසිය සඳහන් කරයි.

පසුගිය දිනෙක දෙහිවල ගුවන් පාලම අසල ඒටීඑම් යන්ත්‍රයක් අසලදී සහ ගල්කිස්ස සුපිරි වෙළෙඳසලක් අසලදී නයිජීරියානුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට පත්වෙද්දී තවත් අයෙක් ඔවුනගේ පාපෝච්චාරණයන් මත බෙල්ලන්තර නිවෙසක සිටියදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ සමාජ මාධ්‍ය විමර්ශන අංශ නිලධාරිහු සමත් වූහ. මේ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ලක්ෂ ගණනක මූල්‍ය වංචාවක් නිසා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ කොළඹ ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයෙන් අනතුරුව තිදෙනා අත්අඩංගුවට ගැනිණි. එම නයිජිරියානුවන් තිදෙනා වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන ක්‍රිස්ටෝපර් රිචිනි, යුචි කොලින්ස් සහ එමිකා වික්ටර්ය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක නුවන් පත්මසිරි ප්‍රමුඛ කණ්ඩායම අත්අඩංගුවට ගැනුණු වික්ටර් සතුව බැංකු පොත් 12ක්, ඒටීඑම් කාඩ් 42ක් සහ දුරකථන සිම්පත් 16ක්ද තිබිණි. ඔහු ඊට පෙරද පොලිස් අත්අඩංගුවට පත් වූවෙකි.

මෙකී නයිජිරියානුවන් නීති විරෝධි ලෙස මෙරට රැඳි සිටිද්දී ඒටීඑම් කාඩ්පත් තමන් සතු කරගන්නේද කූට උපක්‍රමයකිනි. ඔවුහු උපක්‍රමශීලීව මාලිගාවත්ත, මරදාන, වැල්ලවත්ත වැනි පෙදෙස්වල සිටින කුඩුකාරයන් සමග සම්බන්ධතා ගොඩනඟා ගනිති. අනතුරුව ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් ඔස්සේ බැංකු ගිණුම් විවෘත කරගන්නේ කුඩු ගැසීමට මුදල් ලබා දෙමිනි. ඒ අනුව විවෘත කරන බැංකු ගිණුම් සඳහා ලබා දෙන ඒටීඑම් කාඩ්පත් නයිජිරියානුවන් ලබාගන්නේ කූට ලෙසිනි.

මීට වසර දෙකකට පමණ පෙරදී 36 හැවිරිදි වියේ පසු වූ නයිජිරියන් ජාතික එම්බුවා ඔගස්ටිනි නමැත්තා සහ තවත් නයිජිරියන් ජාතිකයන් දෙදෙනෙක් සිදුකළ වංචාවක් අනාවරණය කර ගත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසිනි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරක් විමර්ශනය කළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර ඇතුළු කණ්ඩායම එම්බුවා ඔගස්ටිනි නමැති නයිජිරියානුවා අත්අඩංගුවට ගත්තේ බොරලැස්ගමුව ප්‍රධාන පෙළේ බැංකුවක් අසල ඒටීඑම් කුටියකින් මුදල් ලබා ගැනීමට පැමිණ සිටියදියි. එම නයිජිරියානුවාට සිංහල බසද මනා ලෙස හැසිරවිය හැකි වීම විශේෂත්වයකි. ඔහුගේ සිංහල බස හැසිරවීම කෙනෙකුගේ සිත් ඇදගන්නාසුලු විලාසයකි.

එම්බුවා ඔගස්ටිනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත බස්නාහිර පළාත් බුද්ධි ඒකකයෙන් ලද තොරතුරක් ඔස්සේ උපපරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර ඇතුළු කණ්ඩායම සිදුකළ විමර්ශනයකින් පසු දෙහිවල ගුවන් පාලම අසල රැඳි සිටි තවත් නයිජිරියන් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි. එම දෙදෙනාද මෙරට රැඳි සිටියේ නීති විරෝධි ලෙසිනි. අත්අඩංගුවට පත් දෙදෙනා ඊට පෙරද අත්අඩංගුවට ගෙන එවකට රැඳවුම් මධ්‍යස්ථානය වූ මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය තිදෙනෙකි.

මේ නයිජීරියානුවන් වංචනික ක්‍රියා සිදුකර ඇත්තේ ඉතා සූක්ෂම සැලැසුමකට අනුවය. ඔවුන් මුලින්ම සිදුකර තිබුණේ සමාජ මාධ්‍ය විශේෂයෙන්ම වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් ඔස්සේ කාන්තාවන් හඳුනාගෙන මුලදී හිතවත්කමක් ගොඩනඟා ගැනීමයි.

"මම නයිජීරියාවේ විශාල කොම්පැනියක අයිතිකාරයෙක්... මට විශාල දේපළක් තියෙනවා... ළඟදීම මං ලංකාවට පැමිණ ඔයා ‘මැරි‘ කරනවා. මම ලංකාවට ආවට පස්සෙ වියදම් කරන්න ඔයාගේ නමින් ගිණුමක් ආරම්භ කරන්න. ඒ ගිණුමට ඒටීඑම් කාඩ්පතකුත් ගන්න. ඒ එකවුන්ට් එකට මම සල්ලිත් දාන්නම්. ඔයාගේ නමින් මගේ පාවිච්චියට දුරකතන සිම්පතකුත් අරන් දෙන්න. මං ලංකාවට එනකල් ඔය හැම දෙයක්ම ලංකාවේ ඉන්න මගේ නියෝජිතයාට දෙන්න. මං එයාව එවන්නම් ඔයා හමුවෙන්න..." ආදි වහසි බස් කියමිනි.

හැබැයින් නොදුටු එම පුද්ගලයාගේ කීම මත ඔහුගේ නියෝජිතයා ලෙස පැමිණෙන තැනැත්තාට එම කාන්තාවන් විවෘත කළ ගිණුමේ ඒටීඑම් කාඩ්පත සහ දුරකථන සිම්පතද ලබා දී තිබුණාය.

එම වංචාව පිළිබඳව පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ කෝටිපතියාත්, නියෝජිතයාත් එකම පුද්ගලයකු බවත් ඔවුහු මෙරට රැඳි සිටින බවයි. එම නයිජිරියානුවා බැංකු ගිණුම මෙන්ම දුරකථන සිම්පතද භාවිත කරමින් සමාජ ජාලා දුරකතන මාධ්‍ය ඔස්සේ පණිවිඩ, ඊමේල් මෙන්ම දුරකතන පණිවිඩද මෙරට ඇතැම් දෙනාට යවමින් සඳහන් කරන්නෙ, මෙවැනි දෙයකි.

"මං අහවල් කොම්පැනියෙන් කතා කරන්නෙ... ඔයාට ලක්ෂ ගාණක දිනුමක් ඇදිලා තියෙනවා...නැතිනම් ඔයාට ත්‍යාගයක් එවලා තියෙනවා... අහවල් තැන තියෙන්නෙ... ඒක ඔයාට ලැබෙන්න සලස්වන්නනම්... හැබැයි අපට මුදලක් එවන්න ඕනෙ..."වැනි ප්‍රකාශයි.

ඊට කාන්තාවගෙන් ලබාගත් ගිණුම් අංකය එකී උපක්‍රමයට කොටු කරගන්නා පුද්ගලයාට ලබා දෙයි. එසේ ඔහු තව තවත් අයට පවසන්නෙ,

"ඔයාට තෑග්ගක් එවලා තියෙනවා... පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙනවා... ඒක මං මේ කියන ගිණුමට දාන්න.... එතකොට අපට තෑග්ග ගෙදරටම එවන්න පුළුවන්“ ලෙසිනි. ඒ අනුව තිදෙනා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනක් වංචා කර තිබිණි. මෙවැනි වංචාවන් රැසක්ම පසුගිය කාලයේ මෙරට රැඳි සිටින නයිජිරියන් ජාතිකයන් විසින් සිදුකර තිබිණි.

මාධ්‍ය මඟින් කෙතරම් ජනතාව දැනුවත් කළද මේ නයිජිරියානුවන්ට රැවටෙන ජනයාගේ අඩුවක්නම් නොමැති බව විමර්ශන අංශ පෙන්වා දෙති. එසේම නයිජිරියානු ජාවාරම්කරුවන්ගේ වංචාවන්ට බොහෝ අවස්ථාවලදී හසුවී සිටින බවට සැලවෙන්නෙ සමාජයේ වැදගත් රැකියාවන්හි නිරත වන වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් වැනි මෙකී නොකී යමක්-කමක් තේරෙන ඇති-හැකි උදවිය වීම විශේෂත්වයකි.

නයිජිරියන් ජාතිකයන් ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව මෙවැනි වංචාවන් සඳහා තෝරගෙන ඇත්තේ අපරාධයකට, වංචාවකට හසු වූ පසු එම අධිකරණ කටයුතු අවසන් වන තෙක් මෙරටින් නොයවා තබාගන්නා නිසාය. ඒ අනුව ඔවුන් හොඳාකාරවම දැන සිටින කාරණාව නම් මෙරට අධිකරණවල නඩු වසර ගණනාවක්ම විභාග වන බවටයි.

ඒ අතර මෙකී නයිජිරියානු වංචාකාරයන් වෙනුවෙන් එකම නීතිඥ කණ්ඩායමක් නඩු කටයුතු සඳහා ඉදිරිපත් වන බවත් ඒ අනුව නීතිඥවරුන් සහ සැකකරුවන් අන්තර්ජාලය ඔස්සේ පවත්වන සම්බන්ධතා පරීක්ෂාවේදී එම නීතිඥයන්ද එවැනි වංචාවන් පිළිබදව යම් දැනුවත්කමක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. වංචාකාර නයිජිරියානුවන් ඇප මත මුදා හැරියද කිසිදු බියකින් තොරව නැවත නැවතත් නොයෙක් කූට ක්‍රම ඔස්සේ වංචාවන් සිදුකරන බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට නිරීක්ෂණය වී ඇත.

මෙකී නයිජිරියානුවන් සිදුකරන තවත් වංචාවන් අතර යුරෝපීය නැතිනම් ඇමෙරිකන් ජාතිකයන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට කාන්තාවන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනඟා ගනිති. අනතුරුව එකී කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින්ද ලක්ෂ ගණනින් මුදල් ‘ගරා‘ ඇත.

ඊට අමතරව යුරෝපීය ජාතිකයන් ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකේය කොටස්කරුවකු ලෙස බඳවාගන්නා බව සඳහන් කරමින් බැංකු විස්තර සහ පෞද්ගලික තොරතුරු ලබාගෙන මූල්‍ය වංචාවන් සිදුකර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වේ.

තවද මේ දිනවල මෙරට වැසියන් මුහුණ දෙන බරපතළ ගැටලුවක් වන ජංගම දුරකථන මිල ගණන් ඉතා ශිඝ්‍ර ලෙස ඉහළ යාම නිසා අන්තර්ජාලය හරහා ජංගම දුරකථන අඩු මිලට ලබා ගත හැකි බව දැන්වීම් ප්‍රචාරය කරමින් පාරිභෝගිකයන් රැවටීම නයිජිරියන් ජාතිකයන් විසින් බහුලවම සිදු කරන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

එම නිසා කළු ජාතික නයිජිරියානුවන්ගේ ‘කළු‘ වැඩවලින් මෙරට ජනයා පරෙස්සම් විය යුතු බවත් දැනටමත් නයිරිජියානුවන්ගේ කූට වංචාවන්ට හසුවී ඇත්නම් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය හෝ ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස පොලිසිය දන්වා සිටී. එසේම එවැනි පැමිණිලි [email protected] යන විද්‍යුත් ලිපිනයටද යොමුකළ හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

 

Comments