
කසිප්පු ජාවාරමකුගෙන් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලලා
පොලිසියට කොටුවුණේ හොරණදී
ඉකුත් සැප්තැම්බර් 18 වැනිදා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් නිලධාරි කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් සොයා දෛනික වැටලීම් සිදු කරමින් සිටියේය.
එදින දහවල් කාලයේ පාදුක්කේ නිවෙසකට ගිය වලාන පොලිස් නිලධාරින් මේ නිවෙසේ තිබූ හොර මත්පැන් වටලා තිබිණි. අනතුරුව ඒ මොහොතේම ලද තොරතුරක් ඔස්සේ තවත් නිවෙසකට ද එම නිලධාරින් යන්නේ හොර මත්පැන් වැටලීමකටය. එහෙත් එම නිවෙසේ හිමිකරු නොසිටියේය. නිවෙසේ ඒ වන විට සිටියේ හිමිකරුගේ පුත්‍රයායි.
"පුතා අපිට ගේ බලන්න ඕනේ... තාත්තව ඉක්මනටම එක්කගෙන එන්න..." නිලධාරියෙක් එලෙස කියන්නේ කසිප්පු ජාවාරම්කරුගේ පුත්‍රයාටය.
ඒ අනුව පුත්‍රයා විසින් දුරකථන ඇමැතුමක් දී පියා ඉක්මනින්ම නිවෙසට ගෙන්වා ගත්තේය. එම පුද්ගලයා පැමිණි සැණින් දැනගත්තේ 'වලාන' පොලිස් නිලධාරින් පැමිණ ඇති වගකි.
"ඇයි සර් මගේ කසිප්පු රේඩ් ආවේ... 'වලානේ පොලිසියෙ අයිපී ජයරත්න‘ කියලා කෙනෙක් මට කතා කළානේ. එයා රුපියල් ලක්ෂ පහක් දෙනව නම් මගේ කසිප්පු රේඩ් කරන්නේ නෑ කිව්වනේ... මං සල්ලි දුන්නෙ නැති නිසාද සර්ලා ආවේ... හැබැයි සර් මීට ඉස්සරලා නම් වලාන පොලිසියෙන් කියලා මගෙන් කවුරුත් සල්ලි ඉල්ලලා නෑ... මම දීලත් නෑ... ඒ කතා කරපු කෙනා සර්... සල්ලි දුන්නෙ නැත්නම් බෝම්බයක් හරි දාලා උඹට නඩුවක් දානවා කියලත් තර්ජනය කළානේ..." යැයි නිවසේ හිමියා පැවසුවේ මත්පැන් වැටලීමට ගිය වලාන පොලිස් නිලධාරින් ද 'කවුද මේ අපි නොදන්න අයිපී ජයරත්න' යන්න වික්ෂිප්ත කරමිනි.
අනතුරුව වලාන පොලිස් නිලධාරින් ඒ පිළිබඳව නිවෙස් හිමියාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී එසේ සඳහන් කරමින් දුරකථන ඇමැතුමක් පැමිණි වග සත්‍යයක් බව හෙළිවිණි. එහෙත් කසිප්පු ජාවාරම්කරුගේ කතාව ද විශ්වාස නොකළ වලාන පොලිස් නිලධාරින් එම නිවෙස පරීක්ෂා කළෝය. ඒ අතරේ නැවතත් නිවෙස් හිමියාට දුරකථන ඇමැතුමක් ලැබුණේ පොලිස් වෙස්ගත් තැනැත්තාගෙනි.
"සර්... මෙන්න අර 'අයිපී ජයරත්න' කියපු කෙනා ආයෙත් කතා කරනවා..."
"එහෙනම් තමුන් පොඩි වැඩක් කරන්න... අපිට ඔය මිනිහාව කොටුකරගන්න වැඩක් කරලා දෙන්න..." යැයි වැටලීමට ගිය වලාන පොලිස් නිලධාරින් නිවෙස් හිමියාට කීවේය. එම ඇමැතුමෙන් ද එම පුද්ගලයා කෙළේ කසිප්පු ජාවාරම්කරුගෙන් කප්පම් මුදලක් ඉල්ලා සිටීමයි.
ඒ වන විට වැටලීමට ගිය වලාන පොලිස් නිලධාරින් ද උභතෝකෝටිකයකට මුහුණ දී සිටියේය. ඒ, එකී පුද්ගලයා සත්‍ය ලෙසටම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරියෙක් ද නැතිනම් වංචාකාරයෙක් ද යන්න ඉක්මනින්ම දැනගත යුතු බව සිතමිනි. ඒ අනුව සැණින් වැටලීමට ගිය නිලධාරීහු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එම පුද්ගලයා පිළිබඳව දැනුවත් කරමින් ඔහු කොටුකර ගැනීමට අවැසි උපදෙස් පැතීය.
අනතුරුව එම පුද්ගලයා කොටුකර ගැනීමට පොලිස් නිලධාරින් විසින් සැලැසුමක් සකස් කරන ලදි. මත්පැන් ජාවාරමේ නිරත නිවෙස් හිමියාට පොලිස් නිලධාරින් කීවේ එම පුද්ගලයාට දුරකථන ඇමැතුමක් ගන්නා ලෙසටයි. පොලිස් නිලධාරින් ඉදිරියේ ජාවාරම්කරු පොලිස් පරීක්ෂක ලෙස පෙනී සිට කප්පම් ඉල්ලන පුද්ගලයාට ඇමැතුමක් ගත්තේය.
"මෙහෙමයි... මට සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්. ඒත් මං ඔයාව දැකලවත් නෑනේ... මට එකපාරටම සල්ලි දෙන්න බෑ... ඉස්සෙල්ලා මට ඔයාව දකින්න ඕන..." ජාවාරම්කරු අයිපී අමතා කීවේ එවැනි කතාවකි.
ජාවාරම්කරුගේ එම ඇමැතුමට පිළිතුරු ලෙස 'පොලිස් පරීක්ෂක' පවසන්නට වූයේ ඒ සඳහා හොරණට එන ලෙසය. තමන් ද හොරණ නගරයේ විද්‍යාරත්න පිරිවෙන අසලට එන බව කීමත් සමඟ එම වංචාකරු කොටුකර ගැනීමට එහි ගිය පොලිස් නිලධාරින් කීප දෙනෙකුම එහි රැකවල්ලා සිටියෝය.
ඒ අතරේ කසිප්පු ජාවාරම්කරු පාදුක්කේ සිට වලානේ නිලධාරින් සමඟ හොරණ නගරයට එමින් සිටියේය. "මම දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ... ඔයා මොකක්ද ඇඳගෙන ඉන්න ඇඳුම..." යැයි විමසීමත් සමඟ පොලිස් පරීක්ෂක ලෙස පෙනී සිටි පුද්ගලයා කීවේ ටීෂර්ටයක් සහ කළු පැහැති දිග කලිසමක් ඇඳ විද්‍යාරත්න පිරිවෙන අසලට තමන් පැමිණ සිටින බවයි. එම ස්ථානයේ රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් ඒ වන විටත් විටෙන් විට දුරකථන ඇමැතුම් ගන්නා එම පුද්ගලයා ඉලක්ක කරගෙන සිටියේය.
"මේ නම් ඔය කියන 'අයිපී ජයරත්න' තමයි..." රැකවල්ලා සිටි නිලධාරියෙක් කීවේය. එසැණින් ක්‍රියාත්මක වූ නිලධාරින් එම පුද්ගලයා පොලිස් බාරයට ගත්තේය. පොලිස් බාරයට ගත් සැණින් එම පුද්ගලයා ද පැවැසුවේ තමන් පොලිස් නිලධරයකු බවය.
අනතුරුව ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිරුර පරීක්ෂාවකට ලක්කරද්දී හෙරොයින් ග්‍රෑම් 12 ක්ද ළඟ තිබී හමුවිය. එතැනින්ම මේ ‘හොර අයිපී‘ගේ රඟපෑම නිම විය.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස වෙස් ගෙන සිටියදී මෙලෙස පොලිසියට කොටු වූයේ පිළිමතලාවේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි හේමාල් උදාර අබේසිංහ නමැත්තාය. ඔහු හෝටල් සහ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කර ඇති අතර කලක් යාන්ත්‍රික අවි අංශයට අනුයුක්තව රාජකාරි කළ නාවික හමුදා සෙබළෙකි. විවාහකයකු වන හේමාල්ගේ බිරිය සහ දරුවන් දෙදෙනා ද මේ වන විට ඔහු අත්හැර ගොසිනි.
මත්කුඩු සමඟ හසුවීමෙන් 2018 වසරේ සිට වසර එකහමාරක පමණ කලක් බන්ධනාගාරගතව සිට ඇති හේමාල් මෙවැනි වංචාවන්ට පෙලඹී ඇත්තේ සිරගෙදරදී ලත් අත්දැකීම් ඔස්සේය. ඒ මෙවැනි ජාවාරම්හි බන්ධනාගාරයේ සිටම සිරකරුවන් නිරත වන ආකාරය දැකීමෙනි.
මොහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ වෙස්ගෙන සිදුකර ඇති වංචාවන් අතර පුවත්පත්වල පළ වන මංගල දැන්වීම්වල දුරකථන අංක අමතා සිදුකළ වංචාන් ද වන බව වලාන නිලධාරින් විසින් අනාවරණය කරගැනිණි. ඒ මංගල දැන්වීම්වල පළ වන දුරකථන අංක අමතා මෙම සැකකරු පවසන්නේ මංගල දැන්වීමට අදාළ පුද්ගලයාගේ හැඳුනුම්පත් කොපියක් හරහා තවත් පුද්ගලයකු වංචාවක් සිදුකොට හසුවී ඇති බවයි. එම නිසා දැන්වීමට අදාළ පුද්ගලයා පොලිසියට හෝ අධිකරණයට පැමිණ රස්තියාදු විය යුතු නිසා එය 'ගොඩින්' බේරා ගැනීමට 'උදවුවක්' කරන ලෙස පවසමින් මුදල් ගරා ගන්නේ දැන්වීම දැමූ අය බියට පත් කරමිනි. තවද මොහු පොලිස් නිලධාරියකු ලෙස රඟපාමින් මංගල දැන්වීම්වල දුරකථන අංකවලට අමතා එම දුරකථන අංක ඔස්සේ අන්තර්ජාලයට අසැබි වීඩියෝ 'අප්ලෝඩ්' කර ඇති බවට 'බොරු' කියමින් දැන්වීම් දැමූ අය බිය පත්කොට මුදල් ගරාගෙන ඇති බවත් මේ වන විට සිදුකොට ඇති විමර්ශනවලින් අනාවරණය වන බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරියෙක් අපට කීවේය.
වලාන දූෂණ මර්දන නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා පසුගිය කාලය පුරා එවැනි වංචා රැසක් සිදුකොට රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයා ඇති අතර මොහු අරගල භූමියේ ද රැඳී සිටිමින්ද වංචාවන් රැසක්ම කර ඇත. ඒ කාලය තුළදී අරගලයේ නායකයකුගේ ගිණුමකට ද මොහුගේ වංචාවන්ට හසුවූ පුද්ගලයන් මුදල් බැරකොට ඇති බව මේ වන විට සිදු කරන විමර්ශනවලින් හෙළිවී ඇත. ඊට අමතරව මේ පුද්ගලයා ගෝල්ෆේස් අරගලභූමියේදී හඳුනාගත් තැනැත්තන් සතු දුරකථන අංක ලබාගෙන ටික දිනකට පසුව එම අංකවලට කතා කර ඔවුන් බිය ගන්වා මුදල් ලබාගෙන ඇත්තේ තමන් වලාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමිනි. එහිදී ඔහු එම අරගලකරුවන්ට කියා ඇත්තේ පොලිසිය අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින බවත් එම නිසා ඔවුන් ඉන් ගලවා ගැනීම සඳහා තමන්ට මුදල් ලබා දෙන ලෙසත්ය. මේ පුද්ගලයාගේ කතාවට රැවටුණු අරගලකරුවන් රැසක් නීතියෙන් බේරීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇති බවද හෙළි විය. එක් අරගල නායකයකු රු. 40,000ක් දී ඇති බවත් ඔහුගේ ප්‍රකාශවලින් හෙළිවිණි. සැකකරු රඳවා ගැනීමේ අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ජනිත, සැරයන්වරුන් වන 428 ජයලාල්, 1445 බටුවත්ත, කොස්තාපල්වරුන් වන 31868 රාජගුරු, 84889 උදය කුමාර, 94009 සියන්ත, 75056 ඉන්දික, 26823 පෙරේරා, 10677 ලක්ෂිත, කොස්තාපල් රියැදුරු 80134 පද්මසිරි යන නිලධාරිහු වැටලීමට එක් වූහ.