විදග්ධ ජනප්‍රිය නවකතා හටන | සිළුමිණ

විදග්ධ ජනප්‍රිය නවකතා හටන

ජනප්‍රිය සාහිත්‍යකරණයේ ඉන්න අයට තියෙන අඬෝවැඩියාව තමයි විදග්ධ සාහිත්‍යය තේරෙන්නෙ නෑ කියන එක
- එරික් ඉලයප්ආරච්චි

විචාරකයෙක්වත් අපේ නිර්මාණ විචාරය කරන්නෙ නෑ. හිතාමතා බැහැර කරනවා. නොතකා හරිනවා
- එඩ්වඩ් මල්ලවආරච්චි

වැඩියෙන් ම විකිණෙන කියන ශානරයට වෙන සම්මානයක් අවශ්‍ය නෑ. ඒ වැඩිම අලෙවිය තමයි සම්මානය
- එරික් ඉලයප්ආරච්චි

විදග්ධ ධාරාව සම්මානිත වෙන්නෙ විවිධ පන්තිවලින්, විශ්වවිද්‍යාලවලින් එන පිරිසගේ උදව්කරුවන් විනිශ්චය මණ්ඩලවල සිටින නිසා
- එඩ්වඩ් මල්ලවආරච්චි

ලොව පාඨක ප්‍රසාදය දිනාගත් ලේඛකයන්ගේ කෘති ජනප්‍රිය සාහිත්‍ය කෘති වශයෙන් හැඳින්වෙන බව පොදු පිළිගැනීමයි. මේ අනුව චාල්ස් ඩිකන්ස්, ඩී. එච්. ලෝරන්ස්, අර්නස්ට් හෙමිංග්වේ, මැක්සිම් ගෝර්කි, ලියෝ තොල්ස්තෝයි, රබීන්ද්‍රනාත් තාගෝර්, ආර්.කේ. නාරායන්, හර්මන් හෙස වැන්නන් රචනා කළ කෘති ලොව ජනප්‍රිය කෘති වශයෙන් එක් අතකින් හඳුනා ගැනෙයි. මේ ලේඛකයන්ගේ කෘති ලෝකය පුරාම ජනප්‍රිය ය. මේ අනුව ජන ප්‍රසාදය දිනාගත් කෘති ජනප්‍රිය සාහිත්‍යය බවට ද පත් වේ. ලංකාවේ ද පාඨක ආකර්ෂණය බෙහෙවින් දිනූ ජනප්‍රිය ලේඛකයෝ වෙති. ඒ අතරට පියදාස සිරිසේනගේ සිට නූතනය දක්වා ම ලේඛකයෝ අයත් වෙති.

විදග්ධ ධාරාව ද මේ හා සමානව ම පාඨක ලේඛක විචාරක අවධානය දිනාගත් ධාරාවකි. එය කතන්දරයට එහා ගිය දාර්ශනික, චින්තනමය හා පරිකල්පනීය ඉසව් ඔස්සේ සුමට කියැවීමක් වෙනුවට පුහුණු කියැවීමක් සම්පාදනය කරන්නකි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්, පාවුලෝ කොයියෝ, ඇලෙක්සැන්ඩර් සොල්සෙනෙත්සින්, හරුකි මුරකාමී වැනි ලේඛකයෝ මේ වර්ගීකරණයට වැටෙති. ලංකාවේ ද මේ ප්‍රභේදයේ නවකතාකරුවෝ සිටිති.

මෙවර සිළුමිණ සංවාදයට සම්මුඛ වෙන්නේ නවකතාව නම් සාහිත්‍යාංගය ඔස්සේ ජනප්‍රිය හා විදග්ධ ධාරා දෙක නියෝජනය කරන නිර්මාණකරුවන් දෙපළකි. ඒ එඩ්වඩ් මල්ලවආරච්චි සහ එරික් ඉලයප්ආරච්චි ය.

එඩ්වඩ් මල්ලවආරච්චි නවකතාකරුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, ගුවන්විදුලි නාට්‍ය රචකයකු, ටෙලි නාට්‍ය පිටපත් රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වශයෙන් කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් ඉටු කෙරූවෙකි. 1970 දී ප්‍රාර්ථනා නවකතාව ලියමින් නවකතා ක්ෂේත්‍රයට පිවිසි එඩ්වඩ් මල්ලවආරච්චි මේ වනවිට නවකතා 110කට වඩා පාඨකයන් වෙත තිළිණ කර තිබේ. හේ මෙවර වාදාභිමුඛ වන්නේ ජනප්‍රිය සාහිත්‍යය පාර්ශ්වයේ සිටිමිනි.

එරික් ඉලයප්ආරච්චි කවියකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු මෙන්ම චිත්‍රපට තිරනාටක රචකයෙක් හා ඔපෙරා රචකයෙක් ද වෙයි. හේ රාජ්‍ය, ස්වර්ණ පුස්තක හා විද්‍යෝදය සම්මානලාභියෙකි. කලා විචාරයකු වශයෙන් නූතනවාදී මෙන් ම පුරාතන සාහිත්‍යය කෙරෙහි ද ස්වකීය නිර්මාණ කලා ආස්ථානය නොපැකිල ව විග්‍රහ කරන ඔහු මේ සංවාදයේදී සිය මතය ගෙනහැර දක්වන්නේ විදග්ධ පාර්ශ්වය නියෝජනය කරමිනි.

එරික් ඉලයප්ආරච්චි පවසන්නේ සාහිත්‍යයට මේ ධාරාමය බෙදීම අත්‍යවශ්‍යය බව ය.

‘ ජනප්‍රිය විදග්ධ ධාරා බෙදීම සාහිත්‍යයට අවශ්‍යයයි. නමුත් මේ දෙකේ යුගල ප්‍රතිපක්ෂ හැටියට නාමකරණයේ ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව විදග්ධ කෘතියක් ජනප්‍රිය වෙන්නත් පුළුවන්. නමුත් මේ බෙදීම අවශ්‍යයයි. මේ දෙක ෂානර දෙකක්. අපි ජනප්‍රිය සාහිත්‍යය මූලික වශයෙන් කතා රසය පාදක කරගන්නක්. විදග්ධ සාහිත්‍යයේ කතා රසය තියෙන අතරේ ඊට අතිරේක ව ප්‍රබන්ධමය අතිරික්තයක් තියෙනවා. ඒක උඩින් ගෙනල්ල දැම්ම එකක්. කතා රසයට අමතර ව ප්‍රබන්ධමය අතිරික්තයක් තියෙනවා‘

ජනප්‍රිය හා විදග්ධ යනුවෙන් සාහිත්‍ය වර්ගීකරණය කරමින් ධාරාගත කිරීම ගැනත් ජනප්‍රිය ධාරාවේ ලක්ෂණ පිළිබඳවත් ජනප්‍රිය ලේඛක එච්වඩ් මල්ලවආරච්චිට තිබෙන්නේ මෙවැනි අදහසකි.

‘කතාව කියන එක ජනප්‍රිය නොවු‍ණොත් සමාජය වැලඳ ගන්නෙ නෑ. ජාතක කතා ඉතිහාසයේ තියෙන බොහෝ කතන්දර ජනප්‍රියයි. අද අපි කතා කරන බොහෝ කතාවල අන්තර්ගතය තමයි ඒ කතන්දරවල තියෙන්නේ. ඒක ජාතක කථා ස්වරූපයේ බෞද්ධ කතා නිසා කවුරුත් කතා කරන්නෙ නෑ. ඒවායේ තියෙන්නෙ වෙනත් සෞන්දර්යාත්මක ප්‍රවේශයක්.

කතාකරුවා හරි නිර්මාණ ශිල්පියා හරි ඇත්තටම උත්සාහ කරන්නෙ තමන්ගෙ පණිවිඩය ගෙනියන්න. දැන් නලිනි ජාතකය ගත්තොත් ඒකෙ කතන්දරය ලිංගිකත්වය තේමා කරගත්තක්. හැබැයි ඒ වගේ කතාවක් අපි අද ලිව්වොත් ඒක ලිංගික කතාවක් බවට පත්වෙනවා. වඩා වැදගත් වෙන්නේ ඒ තැනැත්තා හෝ තැනැත්තා ගෙනියන සමාජ පණිවිඩය. බොහෝ කතාවල තියෙන්නෙ ඒ සමාජ පණිවිඩය. ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගන්නා ක්‍රමයට කතාව ලිවීමයි වැදගත්. අද බොහෝවිට පණිවිඩය නොවෙයි තියෙන්නේ‘

ජනප්‍රිය හෝ විදග්ධ යනුවෙන් කරන මේ බෙදීම ගැන ඇතුළාන්ත විග්‍රහයක් කරන එරික් ඉලයප්ආරච්චි ලේඛකයා මෙය කොටස් දෙකක් ඔස්සේ විග්‍රහ කරයි.

ජනප්‍රියයි කියන සාහිත්‍යය නිතරම කියවන්නාගේ වියමනක්. විදග්ධ සාහිත්‍යය කියවන්නාගේ වියමනක් පමණක් නොවී ලේඛකයාගේ වියමනක් බවටත් පත් වෙනවා.

පාඨකයා වෙනුවෙන් ම ලියන ලද්දක පාඨකයාට පහසු ප්‍රවිෂ්ඨයක් තියෙනවා. ලේඛකයාගේ වියමන ගත්තම ඒක පාඨකයා වෙනුවෙන් වගේම තමාගේ ආත්ම සංතෘප්තිය සඳහාත් එය රචනා කරනවා. ඒනිසා එය ලේඛකයාගේ වියමනක්. ඒකට ප්‍රවිෂ්ඨය අපහසුයි.

ජේම්ස් ජොයිස්ගෙ යුලිසීස් වගේ නවකතාවක් ගත්තොත් ඒක ලේඛකයාගේ වියමනක්. ඒ වෙනස මේ දෙක අතර තියෙනවා‘ මේ බෙදීම ගැන ජනප්‍රිය ධාරාවටත් පරිකල්පනීය ලේඛක ප්‍රවිෂ්ටයක් තිබෙන බව එඩ්වඩ් මල්ලවආරච්චි ලේඛකයා පවසයි.

‘නවකතාකරුවන් හැටියට මම ඒක පිළිගන්නෙ නෑ. මිනිසුන් ග්‍රහණය කරගන්න නම් සෞන්දයාත්මකව ජනප්‍රිය වෙන්න ඕන.

1970 ගණන්වල ඉඳලා විශ්වවිද්‍යාලෙ ඉද්දි දැන් තියෙන රැල්ල තිබුණා. අපිට රැකියා නැතිව හිටියා. අපේ ප්‍රාර්ථනා බිඳ වැටිලා තිබුණෙ. අපි උපාධිය ගත්තට අපිට රස්සා තිබුණෙ නෑ. අපිත් ඒකාලේ වාමාංශික ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒනිසා අපට රස්සා නැතිවුණා. ප්‍රේම කළ ගැහැනු ළමයා එක්ක සම්බන්ධතා තියාගන්න විදියක් නෑ. අපිට මවුපියන්ට උදව් කරන්න ක්‍රමයක් නෑ. අපිට ගුරු පත්වීම් ගන්න බැරි වුණේ ඒ කාලෙ පැවැති ආණ්ඩු පක්ෂයට අපි වැඩ නොකිරීම.

අපිට අපේ මේ අත්දැකීම් බලපෑවා. ඒවා අපි අමුවෙන් ලිව්වෙ නෑ. ඒ යුගයට සරිලන ආකාරයෙන් සරල ව අපි ලිව්වා. අපේ ඉන්නෙ බහුතරයක් පාඨක ජනතාව පැත්තේ‘

එඩ්වඩ් මල්ලවආරච්චි ලේඛකයා එසේ පැවසුව ද එරික් ඉලයප්ආරච්චි ලේඛකයා පවසන්නේ ජනප්‍රිය සාහිත්‍යය දෟෂ්‍යමානයෙන් නතර වෙන බවකි.

‘තුන්වැනි එක තමයි ජනප්‍රිය සාහිත්‍යය දෘෂ්‍යමානයෙන් නවතිනවා. ලෝකය පිළිබඳ ජනප්‍රිය ලේඛකයා විසින් තෝරා ගනු ලබන විෂයයේ පැහැදිලිව පෙනෙන දෘශ්‍යමානයෙන් නවතිනවා. විදග්ධ සාහිත්‍යයේ තමන් තෝරාගන්නා විෂයයේ ගැඹුරට කිදා බහිනවා‘

ජනප්‍රිය සාහිත්‍යය යන්න බොළඳ සාහිත්‍යයක් සේ ගෙන බැහැර කළ යුතු වූවක් ද, විවේචනය කළ යුතු වූවක් ද යන්නට එරික් ලේඛකයා පැහැදිලි පිළිතුරක් සම්පාදනය කරයි. ඔහු පවසන්නේ ජනප්‍රිය සාහිත්‍යය යන්න සරල සේ ම ගැඹුරු වන්නක් ද බවයි. එමෙන් ම ලංකාවේ ජනප්‍රිය සාහිත්‍යය ලෙසින් අප කරන මේ වර්ගීකරණයේ පදනම් සාධක ගැන තමාගේ එකඟත්වයක් නැති බව ද ඔහුගේ අදහසයි.

‘ජනප්‍රිය සාහිත්‍යය කියන එක බොළඳ සාහිත්‍යයක් නොවෙයි. එය සරල වගේම ගැඹුරු වෙන්න පුළුවන්. අපි මේ අර්ථමය වශයෙන් වැරදි තැනක ඉන්නේ. වැඩියෙන් අලෙවි වන පොත් තමයි ජනප්‍රිය කියන්නේ. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර අරභයා ලියවුණු කෘති තියෙනවා. සමහර විට යුද්ධයක් පසුබිම් කරගෙන, එහෙමත් නැත්නම් යුගයක් පසුබිම් කරගෙන, එක්කො චරිතයක් සැඟවුණු පැත්තක්, එක්කො කුමන්ත්‍රණයක්, නැත්නම් ඝාතනයක් වගේ දේවල් පාදක කරගෙන බටහිර ජනප්‍රිය සාහිත්‍යය විශාල වශයෙන් ලියැවෙනවා. ඒකයි මේක බොළඳයි කියන්න බැරි. මේවා පර්යේෂණ අරමුණු කරගත් සාහිත්‍ය. ඒකෙදි වැදගත් වෙන්නේ කලාත්මක අනුභූතිය නොවෙයි; දත්ත. ජනප්‍රිය සාහිත්‍යය හැමවිටම බොළඳ නැහැ, සරල නැහැ. ඒකත් පරිණත වියත් එකක් වෙන්න පුළුවන්. නවකතා නොවන ජනප්‍රිය ඒවා තියෙන්න පුළුවන්‘

ඒ මොන දේ සාමාජීය වශයෙන් පැවසුවත් පසුගිය කාලාන්තරයක් පුරා ජනප්‍රිය නවකතාකරුවන් වශයෙන් තමන්ට විසල් අසාධාරණයක් වූ බව එඩ්වඩ් මල්ලවආරච්චිගේ අදහසයි.

‘එදා මෙදා තුර අපි සාකච්ඡා කළාට මේ දේවල් මතු කළාට අපේ ලේඛකයන්ට අසාධාරණයක් වුණා. මේ කාටවත් චෝදනා කරනවා නොවෙයි. ඇතැම් ප්‍රකාශකයන් පිරිසක් ඉන්නවා. ඒ අයගේ ප්‍රකාශනවලට තමයි සම්මාන ලැබෙන්නේ. සම්මාන ලැබෙන්නේ එක්තරා පිරිසකට විතරයි. මම දකින විදියට ඒ අයගේ නිර්මාණ අමුවෙන් ලියන්නෙ. අපි සුමට ශෛලියකින් ලියන්නෙ. පසුගිය කාලය ගත්තොත් නිරුවත් ගැහැනු සහ ලිංගික දර්ශන බහුලව යෙදූ සිනමාපට ජනප්‍රිය කරවන්න බහුජාතික සමාගම්වල ආශීර්වාදයත් ලැබුණා. ඒවාට සම්මාන පිට සම්මාන පිටරටවලින් ලැබුණෙත් එහෙමයි.

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා වගේ පොතක් ගත්තොත් ඒවායේ කතා වුණු දේවල් සම්මානයට පාත්‍ර වුණා. අපි වාගේ කෙනෙක් ඒ වගේ එකක් ලිව්වොත් බණිනවා. ඒ ආශ්‍රයෙන් හා එයින් උද්දීපනයට පත්වෙලා ලියපු ගුණදාස අමරසේකරට වුණත් අගය කිරීමක් ලැබුණා‘

මේ සංවාදයේදී එරික් ලේඛකයා දිගින් දිගටම පවසන්නේ එවැනි අසාධාරණයක් ගැන පැවසීමට වඩා මේ ධාරා ද්විත්වයෙහි වෙනස හඳුනාගැනීම වැදගත් බවකි.

‘උදාහරණයක් විදියට පිටරට සාහිත්‍යය ත්‍යාග තියෙනවානෙ. නොබෙල්, බුකර්, සර්වාන්ටේ වගේ. දැන් බෝහෙස්ට නොබෙල් ත්‍යාගය ලැබෙන්නෙ නෑ, සර්වාන්ටේ ත්‍යාගය ලැබෙනවා. එතකොට මේ සාහිත්‍යවලදී මූලික වශයෙන් අයින් කරන කෘති දෙවර්ගයක් තියෙනවා. ඒ තමයි ආගමික සාහිත්‍යය හා වැඩියෙන්ම අලෙවිවන ජනප්‍රිය සාහිත්‍යයත් අයින් වෙනවා. සාහිත්‍ය කියන්නෙම මේ වෙනස පදනම් කරගත් එකක්. ඒනිසා කිසියම් ත්‍යාගයක් මේක සැලකිල්ලට ගන්නෙ නැත්නම් ඒක සාහිත්‍ය ත්‍යාගයක් හෝ සාහිත්‍ය සම්මානයක් වෙන්නෙ නෑ. නමුත් ඒක ජනප්‍රිය එහෙමත් නැතිනම් වැඩියෙන් ම අලෙවි වන කියන තැනේදී, පර්යේෂණ නිර්මාණවලදී, වාර්තාමය නවකතා වගේ ඒවා මේ සියල්ල අගය කළ යුත්තේ ඒ ක්ෂේත්‍රවලට අනුකූලවයි. මේ බෙදීම අවශ්‍යයයි.

වැඩියෙන් ම විකිණෙන කියන ශානරයට වෙන සම්මානයක් අවශ්‍ය නෑ. ඒ වැඩිම අලෙවිය තමයි සම්මානය. වැඩි අලෙවිය, ජනප්‍රිය බව වගේ ඒවා. අපි දැන් ජනප්‍රිය නළුවා හා නිළිය තෝරන්නෙ, ඒවගේ. චරිතාංග ගැඹුරින් කරන හොඳම නළුවා හා නිළිය වෙනම ඉන්නවානෙ‘

මේ පිළිබඳ සිය සවිඥානිකත්වය ගොඩනැඟෙන්නේ තමා නියෝජනය කරන ධාරාවේ ලේඛකයන්ට සිදුවූ අසාධාරණයත් සමඟ බැව් එඩ්වඩ් ලේඛකයා පවසයි.

‘විදග්ධ ධාරාව සම්මානිත වෙන්නෙ විවිධ පන්තිවලින්, විශ්වවිද්‍යාලවලින් එන පිරිසගේ උදව්කරුවන් විනිශ්චය මණ්ඩලවල සිටින නිසා. දැන් කුමාර කරුණාරත්න වගේ ලේඛකයෙක් ගත්තොත් බොහෝ ඉසව් ආවරණය කරමින් ලිව්වා. ඒත් කවදාවත් ඒ අය ඇගයීමට ලක් වුණාද? අපි කොච්චර මහන්සි වෙලා ද නිර්මාණ කරන්නෙ. අපි බොහෝ වෙලාවට මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන ලියමින් තමයි නිර්මාණකරණයේ යෙදෙන්නෙ‘

එඩ්වඩ් ලේඛකයා මේ වැනි සිය ධාරාවේ ලේඛකයන්ට සිදු වූ අසාධාරණය ගැන සිය මතවාදය යොමු කරද්දී මේ තත්ත්වය මුළුමණින් ම එසේ යැයි කිව නොහැක්කේ කරුණාසේන ජයලත් වැනි ලේඛකයකු නියෝජනය කළ ධාරාවකට ද රාජ්‍ය සම්මානය වැනි පිළිගැනීමක් ලැබුණු බැවින් නොවේද යනුවෙන් අපට ගැටලුවක් මතු වේ. 1962 වසරේ වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සම්මානය හිමි වෙන්නේ කරුණාසේන ජයලත් ලියූ ගොළු හදවත නවකතාවට ය. මේ පිළිබඳ එඩ්වඩ් ලේඛකයා පැවසුවේ මෙවැන්නකි.

‘ ඔව් ගොළු හදවතට සම්මාන ලැබුණා. ඒක වෙනසක් වුණේ මෙතනදි විතරයි. කතාවක වටිනාකම රඳා පවතින්නේ ඒවායේ නිර්මාණකරුගේ අනුභූතිය මත. කිසියම් කලා නිර්මාණයක් පාඨකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හේතුවන සාධක තියෙනවා.

ගොළු හදවත අතිශයින් ජනප්‍රිය වුණු කතාවක්. ඒත් එහි ඇති ගැඹුරු සමාජ පණිවිඩය මොකක්ද? එයට රාජ්‍ය සම්මාන හිමි වුණා. හැබැයි මේ කියන ගැඹුර හෝ ප්‍රබන්ධමය අතිරික්තය එහි තියෙනවාද? ඕනෑම කතාවක් කියවා රසවිඳීමට අයිතියක් පාඨකයාට තිබිය යුතුයි. ඒ ඒ මතවලට ගැළපෙන පොතපත නිර්මාණය විය යුතුයි. විචාරකයන් නිසා පොතපත කියවීමේ පෙරළියක් මෙතෙක් සිදුවෙලා නෑ. ජනප්‍රිය සාහිත්‍යයක් බිහි වීම එමඟින් නවත්තන්නත් බෑ, නැවතිලත් නෑ

ජයලත්ට සම්මාන ලැබුණා නම් සෞන්දර්යාත්මක කතාවකට සම්මානය දෙන්න අද විනිශ්චය මණ්ඩල පැකි­‍ෙළන්නෙ ඇයි? විචාරකයෙක්වත් අපේ නිර්මාණ විචාරය කරන්නෙ නෑ. හිතාමතා බැහැර කරනවා. නොතකා හරිනවා. ‘

ඒ පිළිබඳ එරික් ලේඛකයා පවසන්නේ ජනප්‍රිය යන්න තීරණය කරන සාධක කුමක්ද යන්න ගැන අපට නිසි අවබෝධයක් නැති බවෙකි.

‘ලියෝ තොල්ස්තෝයිගෙ යුද්ධය හා සාමය ගත්තොත් ඒකට පාදක වෙන්නෙ නැපෝලියන් විසින් රුසියාව ආක්‍රමණය කිරීම වුණත් ඒ පිළිබඳ පර්යේෂණ පදනම් කරගෙන නෙවෙයි ගොඩනැඟෙන්නෙ. ඒක රුසියානු කලාත්මක අනුභූතියක් මත පදනම් කරගත් ප්‍රබන්ධයක්. නමුත් නැපෝලියන්ගේ ආක්‍රමණය පිළිබඳ යුද්ධය හා සාමයට වඩා ජනප්‍රිය ඕනතරම් දේවල් ලියැවිලා තියෙනවා. නමුත් ඒවා කලා කෘති බවට පත්වෙන්නෙ නෑ‘

බොළඳ ප්‍රේම කතා ලෙස කරන මේ නොසලකා හැරීම තවදුරටත් තමන් පිළි නොගන්නා බව එඩ්වඩ් ලේඛකයා පවසයි.

‘හැම දෙයක්ම වෙනස් වුණු යුගයක මේවත් වෙනස් විය යුතුයි. අපි හදන්නෙත් සමාජ පණිවිඩයක් දෙන්න. නිකම් ලියලා නෑ මේ වෙනතෙක්. ජනප්‍රිය රැල්ල කියන එක මම පිළිගන්නෙ නෑ. ඒක යම්කිසි පිරිසකට සම්මාන ලබා ගැනීමට කරන කටයුත්තක් විතරයි. ඒ හැරුණාම හැම කතාවක් ම ජනප්‍රිය වෙන්න ඕන. නැත්නම් සමාජය පිළිගන්නෙ නෑ‘

මේ බෙදුම සාහිත්‍යයට අත්‍යවශ්‍ය බව පවසන එරික් ලේඛකයා මේ වර්ගීකරණය වත්මනෙහි වඩාත් විද්‍යමාන වෙන්නේ මුහුණු පොත ඔස්සේ බව පවසයි.

‘පාඨකයන් දෙවර්ගයක් ඉන්නවා. ජනප්‍රිය සාහිත්‍යය කියවන පාඨකයන් සහ විදග්ධ සාහිත්‍යය කියවන පාඨකයන් ලෙස. මේක වැඩිපුරම පේන්නෙ ෆේස්බුක් සංවාදවලින්. මේ දෙවර්ගය එකිනෙකට හාත්පසින් වෙනස්. ජනප්‍රිය සාහිත්‍යකරණයේ ඉන්න අයට තියෙන අඬෝවැඩියාව තමයි විදග්ධ සාහිත්‍යයට තේරෙන්නෙ නෑ කියන එක. මේක තමයි බෙදුම. ඒ පාඨකයා සම්පූර්ණයෙන් වෙන පාඨකයෙක්. මේක බලන්න හොඳම තැන ෆේස්බුක් එක. කවුද මේ ජනප්‍රිය සාහිත්‍යය අගය කරන්නෙ. ඒ අය පූර්ණකාලීන කියවන්නන් නොවෙයි; අර්ධකාලීන කියවන්නන්. වෙන රුචිකත්වයන් තියෙන අතරේ තමයි සාහිත්‍ය දිහා බලන්නෙ. අරගොල්ලො එහෙම නොවෙයි. ඒඅයගෙ රුචිකත්වය සාහිත්‍යයට පූර්ණකාලීනයි‘

සෑම ජන සමාජයක ම, සෑම රටක ම ජනප්‍රිය සහ විදග්ධ වශයෙන් වන ධාරා ද්විත්වය සමාන්තර ව දැකිය හැකි ය. මේ ධාරා දෙකට ම පොදු පාඨක පිරිසක් සිටිති. එකක් නරක යැයි කියා හෝ එකක් හොඳ යැයි කියා හෝ වර්ග කිරිමට වඩා මේ ධාරා දෙකෙහි ම වන විශේෂතා ගැන අවධානය යොමු කිරීම විචාරක ප්‍රවේශයයි. මේ අදහස් සංකලනය හා ගැටීම අප කරන්නේ එකී ආධ්‍යාශය පෙරදැරි ව ය.

Comments