රුපියල් තුන් කෝටියකට විකුණන්න ගිය ගජමුතු ඇල්ලූ පොලිස් මෙහෙයුම | සිළුමිණ

රුපියල් තුන් කෝටියකට විකුණන්න ගිය ගජමුතු ඇල්ලූ පොලිස් මෙහෙයුම

 

මිහිපිට සිටින සත්ත්වයකුගෙන් ලබාගන්නා ඉහළම වටිනාකමින් යුත් දෙයක් ලෙස සැලැකෙන්නේ ගජමුතුය. ඇතුන්ගේ දළ දෙකෙහි නිර්මාණය වන ගජමුතු සෑම ඇ‍ෙතකුගේම පිහිටන්නේ ද නැත. රුපියල් කෝටි ගණනින් මිල නියම වන ගජමුතු ජීවිතවලට වාසනාව, සැප සම්පත්, තනතුරු, ගරුබුහුමන් ළඟා කර ගැනීමේ අරමුණින් ඈත අතීතයේ සිටම ඇතැම් ධනවත් පුද්ගලයන් සන්තකයේ තබා ගැනීමට පෙලඹෙති. ගජමුතු ලබා ගැනීමේ අරමුණින් ලොව පුරා ජාවාරම්කාරයෝ ඇතුන් ඝාතනයට ද පෙලඹෙන්නේ සමස්ත ඇත් පරපුරටම තර්ජනයක් වෙමිනි.

එවැනි ගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට විකිණීමට තැත් කළ තිදෙනෙකු කොටුකර ගැනීමට ඉකුත් සැප්තැම්බර් 1 දා මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරින්ට හැකි වූයේ ක්ෂණිකව සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකිනි. රුපියල් තුන් කෝටි විසිලක්ෂයක මිල නියම කළ එම ගජමුතු තුන විකිණීමට තැත් කළ තරුණයන් තිදෙනෙකු ද ගජමුතු සමඟම අත්අඩංගුවට පත් විය. මේ ඒ කතාව පොලිස් පොතේ ලියැ වුණු අකාරයයි.

ඉකුත් සැප්තැම්බර් මස 01 වැනිදා පෙරවරු 10ට පමණ මාතලේ මූලස්ථාන පොලිසියේ පරිසර ආරක්ෂණ අංශයේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.කේ.බී. සෙනෙවිරත්නට තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.

“සර්... ගජමුතු තුනක් මාතලේ ටවුන් එකට ගේනවා විකුණන්න... ගාණ කෝටි තුනයි ලක්ෂ විස්සක් කියනවා... හැබැයි අදම ගේනවා... මං ඒ අයට බොරුවක් කිවුවා සර්... හාමුදුරු කෙනෙක් තමයි ඒවා ගන්නේ කියලා...“

තොරතුරුකරු පොලිස් නිලධාරින් ද මේ ගැන දැනුම්වත් නොකොට හාමුදුරුනමක් ගජමුතු තුන මිලදී ගන්නා බවට කියා තිබූ හෙයින් පොලිස් නිලධාරින් ගැටලුවකට මුහුණපෑවේය. ඒ එකී ජාවාරම්කරුවන් කොටුකර ගැනීම සඳහා හදිසියේම හිමිනමක් සොයා ගැනීමත් ඒ සඳහා විහාරස්ථානයක් සොයා ගැනීමටත් තිබූ අපහසුව නිසාවෙනි.

අනතුරුව පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න එම තොරතුර පිළිබඳව මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන දැනුවත් කෙළේය. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ බව එසැණින් මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක දැනුවත් කළේ අවැසි උපදෙස් ලබා ගැනීම සඳහාය.

ඒ වන විට ගජමුතු විකිණීමට ජවාරම්කරුවෝ මාතලේ නගරයට ළඟා වෙමින් සිටියෝය. වැටලීම සඳහා පොලිස් පරීක්ෂක සෙනෙවිරත්නගේ සහායට මාතලේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක තේමියදාස සහ තවත් නිලධාරියෙකු එක් විය.

අනතුරුව පොලිස් පරික්ෂකවරයා තොරතුරුකරු හරහා ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වූයේය. ඔහු ජාවාරම්කරුවන්ට දැන්වූයේ විහාරස්ථානයේ ජනතාව ගැවසෙන හෙයින් ගනුදෙනුව විහාරස්ථානයේ සිදු කිරීමට නොහැකි බවත් ඒ සඳහා හිමිනමගේ ලේකම්වරයකු සම්බන්ධ කරන බවයි. එසේම ගජමුතු දැකබලා ගැනීමෙන් පසුව මුදල් ගෙවීමට හිමිනම සම්බන්ධ වන බවයි. එහිදී ජාවාරම්කරුවෝ පැවැසුවේ ගජමුතු තුන තිබෙන්නේ පේරාදෙණියේ බවයි.

“මෙහෙමයි... අපිට පේරාදෙණියට එන්න බෑ... මොකද අපි බඩු ‘චෙක්‘ කරන්න ඕනෙ... අපිට තවම ඔය බඩු ඔරිජිනල්ද කියලා සැකයි... අපේ ගාව තියෙන්නෙ ඔරිජිනල් සල්ලි...“ පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න තොරතුරුකරු ඔස්සේ ජාවාරම්කරුවන්ට එලෙස කීවේය.

“හාමුදුරුවෝ ළඟ සල්ලි තියෙන නිසා කෙළින්ම හාමුදුරුවෝ අපේ ගාවට වඩිනවනම් අපි මාතලේට එන්නම්...“ යනුවෙන් ගජමුතු රැගෙන එන ජාවාරම්කරුවෝ පැවැසූහ.

ජාවාරමුන් එසේ පැවැසීමත් සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සෙනෙවිරත්නම එසැණින් හාමුදුරු නමකගේ වෙස් ගත්තේ ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට වෙනත් කළ යුතු කිසිවක් නොමැති හෙයිනි.

අනතුරුව සංඝයා වහන්සේ නමක වෙස් ගත් පොලිස් පරීක්ෂකවරයා ජාවාරම්කරුවන් ඇමැතීය.

“මම දැන් දානෙකට වඩිනවා... ගිහින් එන වෙලාවට ඔය පිරිස මෙහෙට එන්න... මම ඔබතුමාලා හමුවෙන්න එන්නම්“ යැයි කීය.

ඒ සමඟම පිරිස ගෙන්වා වැටලීමට පහසු, සැකකරුවන්ට පැන යාමට නොහැකි ස්ථානයක් පොලිස් නිලධාරිහු සොයන්නට වූහ. එහිදී එවැනි ස්ථාන හතරක් සූදානම් කෙරිණි. ඒ සියල්ල පිළිබඳව තොරතුරුකරු දැනුවත් කළේය.

පසුව පිරිස මාතලේට පැමිණ සිටින බව තොරතුරුකරු පොලිස් නිලධාරින් දැනුවත් කළේය.

“සර්... කට්ටිය ඇවිල්ලා ඉන්නේ... එයාලා අපි පරක්කු වෙනවනම් යනවා කියනවා... මොකද ටිකක් බයවෙලා ඉන්නෙ...“

ඒ අතරේ පොලිස් පරීක්ෂකවරයාද කඩිමුඩියේ සංඝයා වහන්සේ නමක ලෙස වෙස් වළා ගෙන සූදානම් වූයේ පොලිස් ස්ථානයට යාබද පාළු මාර්ගයකට ගොසිනි. ඒ වන විට වැටලීම සඳහා පෞද්ගලික වාහනයක්ද පොලිසියට ලැබි තිබිණි.

එම රථයේ රියැදුරු උපපොලිස් පරීක්ෂක තේමියදාසයි. හිමිනමගේ ලේකම් ලෙස පෙනී සිටියේ සැරයන් ගාමිණිය.

පසුව තොරතුරුකරු පොලිස් නිලධාරින් දැනුවත් කළේ ගජමුතු රැගෙන පැමිණි පිරිසෙන් එක් අයකු සහ පැමිණි රථය වැටලීම සඳහා යොදාගත් ස්ථාන හතරෙන් එක් ස්ථානයකට රැගෙන ගිය බවයි.

ඒ වන විට වේලාව එදින දහවල් 1.50ට පමණය. ජාවාරම්කරුවන් කොටුකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් අවට ස්ථානගත කෙරිණි. අනතුරුව සංඝයා වහන්සේ නමක ලෙස වෙස් වළා ගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න ජාවාරම්කරු සිටි ස්ථානයට ළඟා විය. ඒ වන විට ස්මාර්ට් ජංගම දුරකථනයක් ආධාරයෙන් ජාවාරම්කරුවන් සමඟ සිදුවන කතාබහ වැටලීමට එක්වූ පොලිස් කණ්ඩායම් තුනටද ඇසෙන ලෙස සැලැස්වීමට කටයුතු කෙරිණි.

එහිදී එම කණ්ඩායම් තුන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න විසින් දැනුවත් කළේ ‘කිසියම් වචන මාලාව‘ක් කියනවාත් සමඟම ජාවාරම්කරුවන් වටලන ලෙසටයි.

වැටලීමට යොදාගත්තේ මාතලේ, මංදණ්ඩාවෙල, විජයසුන්දරාරාම මාර්ගය නමැති විහාරස්ථානයට යන පටු මාර්ගයයි. ජාවාරම්කරුවන්ගෙන් කෙනෙකු මෝටර් රථයෙන් එම මාර්ගයට පැමිණ සිටියේය.

සංඝයා වහන්සේ නමක සේ වෙස් ගත් පොලිස් පරීක්ෂක රැගත් රථය එම ස්ථානයට ගියේය. පැමිණ සිටි පුද්ගලයා සමඟ හාමුදුරුවෝ කතාබහ කළහ. අනතුරුව එම පුද්ගලයා ඔහුගේ සගයනට දුරකථන ඇමැතුමක් ගත්තේය.

“ලොකු හාමුදුරුවෝ ඇවිත් ඉන්නේ... කිසිම අවුලක් නෑ... බඩු අරගෙන එන්න...“

මඳ වේලාවක් යද්දී දෙදෙනෙකු පැමිණියෝය. ඒ පා ගමනිනි. එක් අයකු හාමුදුරුවෝ සිටි වාහනයට නැඟ ඔහු අතේ තිබූ ගජමුතුව පෙන්වීය.

“මේවා ඔරිජිනල් ගජමුතු ද...? මොකද ‘ඇට කෑලි‘වලින් හදපුවත් තියෙනවානේ...“ හාමුදුරුවෝ පවසන්නට වූහ. පසුව දන්නා කියන තාක්ෂණය යොදාගෙන එම ගජමුතුව පරීක්ෂා කරන්නට වූයේ දුරකථනයේ ‘ප්ලෑෂරය‘ දල්වාගෙනයි.

“කෝ... තුනක් තියෙනවා කිවුවනේ... අනිත් දෙක...“ හාමුදුරුවන් විමසූහ.

“ඒවා හාමුදුරුවනේ... අනෙත් දෙන්නා ගාව තියෙනවා...“ හාමුදුරුවන්ගේ රථයට නැඟුණු තැනැත්තා කීහ.

ඒ සමඟම හාමුදුරුවන් තවත් උපක්‍රමයක් යෙදීය.

“එහෙනම් ඩ්‍රැයිවර් මහත්තයා මේකේ පොටෝ එකක් අරගෙන අපේ රත්නපුරේ මහත්තයට යවලා තව චෙක් කරමු... ඒ මහත්තයා ඕකේ මිලත් හරියටම කියයි...“

සංඝයා වහන්සේ නමක ලෙස වෙස් ගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න එසේ කීවේ, “රත්නපුරේ මහත්තයා පිළිතුරක් එවනකල් ඉන්න... සල්ලි තියෙන්නෙත් පන්සලේ“ කියායි. තමන් කී බොරුවට සැකකරු රැවටුණු බව පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න ඒ වන විට දැන සිටියේය. ඔහු රත්නපුරේ යැයි පවසමින් රත්නපුරේ හඟවා තිබුණේ රත්නපුරේ මැණික්වලට ප්‍රචලිත හෙයින් සැකකරුවන්ට කිසිම සැකයක් නොසිතෙන ලෙසටය.

ඒ සියලු දේ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් ජංගම දුරකථන ඔස්සේ අසා සිටියෝය. සැණින් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න ඔවුන්ට කී ‘වචන මාලාව‘ පවසනවාත් සමඟ අවට සිටි පොලිස් නිලධාරිහු එම ස්ථානයට කඩා වැදුණි.

ඒ සමඟ සැකකරුවන් තිදෙනාම පොලිසියට කොටු වූහ. ඔවුහු ගජමුතු තුන එකම පෙට්ටියක බහා රැගෙනවිත් එම ස්ථානයට ළඟා වෙද්දී එක බැගින් තිදෙනාගේ කලිසම් සාක්කුවල දමාගෙන තිබුණේ ලේන්සුවල ඔතාගෙනය. ගජමුතු තුන එම ස්ථානයට රැගෙන ඒමට පෙර බහා තිබූ පෙට්ටියද පසුව සැකකරුවකුගේ ලැප්ටොප් පරිගණකය බහාලන බෑගයක තිබී හමු විය.

එලෙස අත්අඩංගුවට පත් වූ තිදෙනා අතර අකුරැස්සේ පදිංචිකරුවෝ දෙදෙනෙක් සිටිති. ඒ දෙදෙනා වනුයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක තාක්ෂණවේදය උපාධිය හදාරන අවසන් වසර සිසුවෙක් වන 25 හැවිරිදි ලහිරු සහ ඉංජිනේරු පීඨයේ උගත් 31 හැවිරිදි කමල්ය. අත්අඩංගුවට පත් සෙසු සැකකරු අහුන්ගල්ලේ ව්‍යාපාරිකයෙක් වන 29 හැවිරිදි අසංකය. ඔහු විවාහකයෙකි. කමල් මේ වන විට රැකියාවක් නොමැතිව නිවෙසට වී සිටී. කමල්ගේ සහ ලහිරුගේ නිවෙස් ආසන්නයේ පිහිටා ඇත. ලහිරු අගහිඟතාවලින් පෙළෙන පවුලක අයෙකි.

මේ තිදෙනා ගජමුතු විකුණා ඉක්මනින් ධනවතුන් වීමට කළ සැලැසුම පොලිසිය හෙළි කරගන්නේ ඉන් අනතුරුවය.

‘සීනා‘ යාපනයේ පදිංචි දමිළ තරුණයෙකි. ඔහු කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබයි. ලහිරුට ‘සීනා‘ මුණ ගැසෙන්නේ මීට මාස පහකට පමණ පෙරදී කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු සඳහා යන එන අතරතුරදීය. ලහිරුගේ මවුපියන් ඔහුගේ ඉගෙනීමට වියහියදම් කරන්නේ අපහසුතා රැසක් මධ්‍යයේය.

ගජමුතු ජාවාරමට සති දෙකකට පමණ පෙරදී සීනා, ලහිරුට යෝජනාවක් කළේය.

“මචං... උඹලට පුළුවන්නම් කරන්න නියම දෙයක් තියෙනවා... ජැෆ්නාවල ගජමුතු තුනක් තියෙනවා...මම ‘බඩු‘ ගෙනත් දෙන්නම්... මට කෝටි එකහමාරක් දීපන්...උඹලා ඕන ගාණකට විකුණ ගනිල්ලා...“

ලහිරුට සිහිපත් වූයේ තමන් ගෙවන දුක්ඛිත දිවිය ගැනයි. ඔහු මේ පිළිබඳව දස අතේ කල්පනා කරන්නට වූයේ ගජමුතු තුන විකුණාගතහොත් ලේසියෙන්ම ධනවතකු වීමට මඟ පෑදෙන බව සිතමිනි. ඔහු ඒ ගැන කියන්නේ අසල්වාසි නිවෙසක රැකියාවක් ද නොමැතිව ජීවත්වන විශ්වාසවන්තම මිතුරෙක් වන තම විශ්වවිද්‍යාලයේම උගත් කමල්ටය. කමල් ද ඊට එකපයින්ම කැමැති විය. කමල් මේ බව කියන්නේ ඔහුගේ වැඩිමල් සහෝදරයාටය. ඔහුට මිතුරෙක් සිටී. ඒ අහුන්ගල්ලේ වෙසෙන අසංකය. අසංක කොළඹ ව්‍යාපාරවල නිරතව සිටින මෝටර් රථයක ද හිමිකරුවෙකි. කමල්ගේ සහෝදරයා අසංකට දුරකථන ඇමැතුමක් දී මල්ලිගේ අවශ්‍යතාව කීවේය.

“මචං... මගේ මල්ලි පොඩි වැඩකට ඒවි උඹව හම්බවෙන්න... උඹටත් ගාණක් හම්බවෙන වැඩක්... උඹ දන්න කෙනෙක් ඉන්නවනම් කතා කරලා දීපන්...“

ඒ අතරේ කමල් සහ ලහිරු තවත් කීපදෙනෙකුටම ගජමුතු විකිණීමට තැත්කර තිබිණි.

දින කීපයක් ගත විය. අසංක, කමල්ගේ සහෝදරයාට කියා තිබුණේ මාතලේ හිමිනමක සිටින බවත් මල්ලිගේ අවශ්‍යතාව ද ඉටුකර දිය හැකි බවයි. ඒ මාතලේ සිටින අසංකගේ මිතුරෙක් වන රංජි හරහාය. පොලිස් ඔත්තුකරුවා රංජිගේ මිතුරෙකි.

රංජි එම ගජමුතු වෙළෙඳාම ගැන පොලිස් ඔත්තුකරුවාට කියා ඇත්තේ ඔහු පොලිස් ඔත්තුකරුවකු බව කිසිවක් නොදැනය. ඒ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනුණු දිනට දවස් දෙකකට පෙරදීය. ඔත්තුකරු ගත් කටටම රංජිට කියා ඇත්තේ ගජමුතු මිලදී ගැනීමට හිමිනමක සිටින බවයි.

එසැණින් රංජි ඒ බව කමල්ට දැන්වීය. කමල් කීවේ,

“එහෙනම් අපි වැඩේ කරන්න මාතලේට එන්නම්... දිනයක් දාගන්න... අපිට කෝටි තුනක් දෙන්න... ලක්ෂ 20ක් හාමුදුරුවෝ සෙට් කරන කෙනාට දෙන්න...“ කියාය.

ගනුදෙනුව සිදු කිරීමට හිමිනමක සිටින බව සඳහන් කිරිමත් සමඟ රංජි එම ගනුදෙනුවලින් ඉවත් වී තිබුණේ ඔහු එවැනි අවදානම් දෑ සඳහා අකැමැති බව පවසමිනි. පොලිස් ඔත්තුකරුවා කමල්ට පවසා ඇත්තේ හාමුදුරුවන්ට කී බවත් හිමිනම ගනුදෙනුවට කැමැති බවයි.

අනතුරුව අසංක ඔහුගේ මෝටර් රථයෙන් ඉකුත් අගෝස්තු මස 31 වැනිදා දඹුල්ලට පැමිණ එදින රාත්‍රිය ගත කළේ පසුදා ගජමුතු විකිණීමේ අරමුණෙනි. පසුදා එනම් ජාවාරම සිදු කරන්නට යෙදුණු ඉකුත් පළමු වැනිදා පාන්දර සීනාගේ මෝටර් රථයෙන් මොරටුවේ සිට ලහිරු සහ කමල් පැමිණියේ මහනුවරටය. එදින පෙරවරු 9 වෙද්දී නුවරට පැමිණි දෙදෙනා පොලිස් ඔත්තුකරුවා අමතා කියන්නේ ගනුදෙනුව සඳහා හිමිනම සම්බන්ධ කරගත යුතු බවයි.

එහෙත් ඒ වන විට ගජමුතු මිලදී ගැනීමට කිසිම ‘හිමිනමක්‘ සිටියේ නැත. අනතුරුව පොලිස් ඔත්තුකරුවා දිව ආවේ මාතලේ මූලස්ථාන පොලිසියේ පොලිස් පරික්ෂක සෙනෙවිරත්න මුණ ගැසීමටය. ඒ අනුව පොලිස් පරීක්ෂක සෙනෙවිරත්නට සංඝයා වහන්සේ නමක ලෙස වෙස් වළා ගැනීමට සිදු වූයේ ජාවාරම්කරුවන් කොටුකර ගැනීමටය.

පසුව ලහිරු සහ කමල් සංඝයා වහන්සේ කෙනෙකු ලෙස වෙස් ගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්නගේ ‘ගැටය‘ට හසුවී සීනාගේ මෝටර් රථයෙන් මාතලේ, කූඹියන්ගොඩ, තැන්න රජයේ ආයුර්වේද රෝහල අසලට පැමිණියෝය. එම ස්ථානයේදී සීනා දෙදෙනාට “මෙන්න බඩු ටික“ යැයි ගජමුතු දී නැවත මෝටර් රථයෙන් කොළඹ බලා ගියේය. ඒ අතරේ දඹුල්ලේ සිට පැමිණි අසංකට කමල් සහ ලහිරු මුණගැසී ඇත්තේ මාතලේ නගර මධ්‍යයේදියි. එහිදී තිදෙනා කතිකා කරගෙන ඇත්තේ ආරක්ෂාව පතා ගජමුතු තුන එක බැගින් තිදෙනා සන්තකයේ තබා ගනිමු යැයි පවසමිනි.

අනතුරුව තිදෙනා පොලිස් නිලධාරින්ගේ ගැටයට හසුවී අත්අඩංගුවට පත් වූයේ කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටත් නොහැකි පරිද්දෙන් මාතලේ පොලිස් නිලධාරින් සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමට කොටු වෙමිනි.

අත්අඩංගුවට පත් ගජමුතු තුන පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමට අදාළ අංශ වෙත යොමු කිරීමටද මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කටයුතු කරන බව ද පැවැසීය. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජී.යූ.අයි. ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් පරිසර ආරක්ෂණ අංශයේ ස්ථානාධිපති එස්.එම්.කේ.බී. සෙනෙවිරත්න ඇතුළු උපපොලිස් පරික්ෂක ආර්. තේමියදාස, සැරයන්වරුන් වන 21338 තුසිත, 32897 ඩී.ජී. ගාමිණි, 45156 අබේසිංහ, 57177 රත්නසිරි, කොස්තාපල්වරුන් වන 77105 සජිත්, 81395 පේමරත්න, 82378 වාසල, 86215 බන්දුල යන නිලධාරිහු වැටලීමට එක් වූහ.

ඡායාරූප - ප්‍රියන්ත සුමනසේන

Comments