මාවරලේ පියදාස එලොව යැවූ රහස | සිළුමිණ

මාවරලේ පියදාස එලොව යැවූ රහස

 

මාවරල පොලිස් වසමේ මාකඳුර බැරගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි ලොකුගේ පියදාස හෙවත් ‘පුංචි මහත්තයා‘ගේ මළසිරුර මාවරල පොලිස් වසමේ, මාකඳුර, බැරගම බටහිර, ‘වඩුගෙදර‘ සුවිසල් නිවෙසක ඉදි කෙරෙමින් පවතින පිහිනුම් තටාකයේ තිබියදී හමුවන්නේ පසුගිය සෙනසුරාදා (18) පෙරවරුවේය.

එම මරණය ගැන සැලවූ සැණින් මාවරල පොලිසිය මූලික විමර්ශන ඇරැඹීය. අනතුරුව මාවරල පොලිස් ස්ථානාධිපතිවරයා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මේ ගැන දැනුම්වත් කිරීමත් සමඟ මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් එහි පැමිණ සිදුකළ සියුම් විමර්ශනයේ දී හෙළි වී තිබුණේ පියදාසගේ මළසිරුර අඩි 33ක් දිගැති අඩි 17ක් පළල ඇති අඩි පහක් පමණ ගැඹුරැති ඉදි කරමින් පවතින පිහිනුම් තටාකයේ තිබුණත් එම සුවිසල් නිවෙස තුළද රුධිර පැල්ලම් කීපයක් ඇති බවයි.

ඒ අනුව පියදාසගේ මරණය පිළිබඳ මාවරල පොලිසියට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක විපුල ධම්මිකගේ ප්‍රධානත්වයෙන් යුත් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයේ නිලධාරින් ද විමර්ශන සඳහා එක් විය. ඉකුත් 18 වැනිදා සවස් යාමයේ මේ නිවෙස හිමි කෝටිපති ව්‍යාපාරික 37 හැවිරිදි බැරගමආරච්චිගේ මනෝජ් ප්‍රසංග හෙවත් 'රංග' පොලිස් බාරයට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කෙරුණේ පියදාසගේ මරණය පිළිබඳව හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණෙනි. මනෝජ් ප්‍රසංග මාතර දෙවුන්දර දේවාලයේ නිලමේගේ සහෝදරයාය. මනෝජ් ප්‍රසංග ඇතුළු පවුලේ අය 'සමඟි සමූහ ව්‍යාපාරය' නමින් එම ප්‍රදේශයේ ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයන්ය. එක් දරු පියෙකු වන මනෝජ්ගේ බිරිය සහ දරුවා එම නිවෙසේ වාසය කර නැත්තේ දරුවා බලා ගැනීමට තිබූ අපහසුතාව නිසා බවට සැල වේ.

පියදාසගේ මළසිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර රෝහලේදී ඉකුත් 19 වැනිදා සිදු කෙරිණි. මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සී.ටී. මහානාම සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ පියදාසගේ මරණය මොට ආයුධයකින් හිසට එල්ල කළ පහරදීමකින් සිදුවූවක් බවකි. ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙළේය. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් 19 දා සවස පියදාසගේ මරණය සම්බන්ධයෙන් සැකපිට මනෝජ් අත්අඩංගුවට ගත් අතර ඊට අමතරව තවත් සිවුදෙනෙකුගෙන්ම ප්‍රකාශද සටහන් කරගැනිණි.

ඝාතනය වූ පියදාස එක් දරු පියෙකි. ඔහු මාකඳුරේ, බැරගම නැගෙනහිර, මාවත්තේගේගෙදරහේන පදිංචිකරුවෙකි. පියදාස එම නිවෙසේ පදිංචිව සිටියේ ඔහුගේ එකම පුතු සමන්, ලේලිය සහ දරු මුනුපුරන් සමඟය. මුල් කාලයේ සංවර්ධන ලොතරැයි පත් අලෙවි කිරීමේ රැකියාව කළ පියදාස මීට වසර තුනකට පමණ පෙර සිය නිවෙසේ සිට කිලෝමීටර් දෙකහමාරක පමණ දුරකින් පිහිටි මනෝජ්ගේ සුවිසල් නිවෙසේ රැකියාවකට ගොස් තිබුණේය. ඒ, එකී නිවෙසේ විසූ සුනඛයාගේ වැඩ කටයුතු සහ ගවයින් බලාකියාගෙන වත්තපිටියේ ද වැඩපළවල නිරත වීම සඳහාය. ඒ සඳහා ව්‍යාපාරිකයා ඔහුට වැටුපක් ගෙවා තිබිණි.

පියදාස එම නිවෙසේ නැවතී රාජකාරි කළ අතර ඔහු දිවා කාලයේ තම නිවෙසට ගොස් නැවත ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණෙන්නටද අමතක නොකළේය. එලෙස පියදාස අවසන් වතාවට සිය නිවෙසට ගොස් තිබුණේ ඉකුත් 16 වැනි සිකුරාදාය. ඒ පිළිබඳව පියදාසගේ එකම පුතු සමන්ගේ බිරිය අෂානි දිල්කා කියන්නේ මෙවැනි කතාවකි.

“මම සිකුරාදා හැන්දෑවේ වැඩ ඇරිලා එද්දී තාත්තා ගෙදර හිටියා. ඒ වෙලාවේ ගෙදර වෙන කවුරුත් හිටියේ නෑ. තාත්තා මං ආවට පස්සෙ ‘මං යනවා පුතේ වඩුගෙදර රංග මහත්තයලගේ ගෙදර යන්න‘ කියලා ගෙදරින් පිටවෙලා ගියා. පහුවදා සෙනසුරාදා මම වැඩට ගියා. අපේ ගෙදර දවල්ට කවුරුත් නැති නිසා තාත්තා හැමදාම දවල්ට ගෙදර ඇවිල්ලා බල්ලට බත් දීලා යනවා. තාත්තා සෙනසුරාදා ගෙදර ඇවිල්ලා තිබුණේ නෑ. මම තාත්තා ආපු නැති එක ගැන මගේ මහත්තයටත් කතා කරලා කිව්වා. අවට අයගෙනුත් විපරම් කරලා ඇහුවා ‘තාත්තා එදා දවල් ගෙදර ආවද‘ කියලා.

ඒ අතරේ හැන්දෑවේ ඔය රංග කියන කෙනා වාහනෙන් ආවා ඉන්දික කියන පුද්ගලයත් එක්ක. එයා හොඳටම බීලා හිටියේ. මට එකපාරටම කිව්වා, ‘මගේ ගෙදර හිටපු වස්සෝ දෙන්නත් නෑ... පියදාසයා බයිසිකලෙත් අරන් කොහේ ගිහින්ද දන්නෙ නෑ... කියලා. මං කිව්වා, වස්සෝ දෙන්න නෙවෙයි, ඔහෙලගේ ගෙදරනේ තාත්තා හිටියේ... කෝ දැන් ඒ මනුස්සයා කියලා. මූ කොහේ ගිහින්ද දන්නෙ නෑ බයිසිකලෙත් අරගෙන... හිටපං මට ඕකව අහුවුණොත් මරලා දානවා කියලා තර්ජනය කරමින් ගියේ...“

අනතුරුව පියදාස ගැන සොයා බැලූ අෂානි පියදාසගේ ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක්ම ගත්තාය. එය නාද වූවත් කිසිවෙක් ඊට පිළිතුරු දුන්නේ නැත. පසුව අෂානි එදින රාත්‍රී අටත් නවයත් අතර දෙවරක්ම 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය අමතා මේ සිද්ධිය දැනුම් දුන්නාය. එම ඇමැතුම් අනුව ක්‍රියාත්මක වූ මාවරල පොලිසිය එදින රාත්‍රියේම අෂානිද මුණගැසී පැමිණිල්ලක්ද සටහන් කරගෙන වඩුගෙදර නිවෙසටද ගොස් පියදාස ගැන සොයා බැලුවත් රාත්‍රිය නිසා ඔහු ගැන නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීය.

පසුදා එනම් 18 වැනි ඉරිදා පෙරවරු 6.55 පමණ වෙද්දී අෂානිගේ සැමියාගේ දුරකථනයට ඇමැතුමක් ලැබී තිබුණේ මනෝජ් ප්‍රසංගගෙනි.

“රංග මහත්තයා කතා කරලා, ‘බයිසිකලේ තියෙනවා...මම යනවා පියදාස රබරෙවත් ඉන්නවද කියලා බලන්න‘ කියලා කිව්වා. ආයෙත් විනාඩි ගාණකින් ඒ ෆෝන් එකෙන්ම මහත්තයට කතා කරලා කිව්වා, ‘බල්ලන්ට කන්න දාන්න ගිහිල්ලා ස්වීමින් පූල් එකේ වැටිලා පියදාස මැරිලා ඉන්නවා... මම පොලිසියට යනවා... උඹලා පලයං ග්‍රාමසේවක හම්බ වෙන්න‘ කියලා. ඒත් එක්කම අපි ගියා මරණේ තිබුණ තැනට බලන්න. ඒ ස්වීමින් පූල් එකේ අයිනකට වෙන්න තාත්තාගේ සිරුර තිබුණා. ඒ වෙලාවේ නැතිවෙලයි කියපු හරක් දෙන්නත් මිදුලේ ගැට ගහලා හිටියා...”

අනතුරුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක විපුල ධම්මික ඇතුළු කණ්ඩායම විසින් පියදාසගේ මරණ පරීක්ෂණයේ වාර්තාව නිකුත් කිරීමත් සමඟ අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරික මනෝජ් ප්‍රසංගගෙන් ප්‍රශ්න කැරිණි. ඒ අනුව මේ වන විට පොලිසිය හෙළි කර ගෙන ඇත්තේ මෙවැනි කතාවකි.

නිවෙස් හිමිකරු මනෝජ් සිය වඩුගෙදර නිවෙසේ ඉකුත් 16 වැනිදා දහවල් 11 පමණ සිට රාත්‍රි හත පමණ වනතුරු තවත් කිහිප දෙනෙකු සමඟ මත්පැන් සාදයක් පවත්වා තිබේ. ඒ අතර පියදාස සමඟ කිසියම් ආරවුලක් හටගත් බව මනෝජ්ගේ ප්‍රකාශවලින් පැවැසේ. එම ආරවුල අතරතුරදී 16 වැනිදා රාත්‍රියේ පියදාසගේ හිසට කුරුඳු පොල්ලකින් පහර දීමත් සමඟ පියදාස දිව ගිය බව මනෝජ් පවසයි.

අනතුරුව ඔහුගේ මළසිරුර ඉදිවෙමින් පවතින පිහිනුම් තටාකයේ ජලය නොමැති කොන්ක්‍රීට් ටැංකිය තුළ තිබෙනු දුටු බව ඔහුගේ ප්‍රකාශවලින් කියැවේ. විමර්ශන නිලධාරින් කෝටිපති ව්‍යාපාරික මනෝජ්ගේ ප්‍රකාශ මත පියදාසට පහර දුන් බව කියන කුරුඳු පොල්ලද ව්‍යාපාරිකයාගේ නිවෙසේ තිබියදී සොයා ගැනුණු අතර අස්ථානගත වූවා යැයි මනෝජ් මුලින් කී පාපැදියද නිවස තුළම තිබී සොයා ගැනිණි.

මෙකී ඝාතනයට නිශ්චිත හේතුව කුමක්ද යන්න සෙවීම සඳහා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව මේ විමර්ශන බාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මාතර-තංගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න සහ මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්.එස්. කල්දේරාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විපුල ධම්මික ඇතුළු උපපොලිස් පරීක්ෂක මිහිරංග, සැරයන්වරුන් වන 55868 තුෂාර, 15314 සමන්ත, 52590 සමන්ත, 34912 පියරත්න සහ 84716 රුක්මන් යන නිලධාරිහු විමර්ශන සිදු කරති.

 

ඡායාරූප - ඒ.පී. දයාචන්ද්‍ර

ඌරුබොක්ක විශේෂ

Comments